History

Friday, 25 December 2015

ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි (2015 දෙසැම්බර් 23 විදුසර ලිපිය)


ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙහි තමා කියවා ඇති පොත්පත්වලින් කරුණු උපුටා දක්වයි. ඒ මහතා එසේ කරන්නේ ජීවිතයේ අරුතක් හෝ අරමුණක් හෝ ගැන කීමට ද? මොන්ටිකාලෝ ක්‍රමය ගැන කීමෙන් ජීවිතයේ ඊනියා අරුත ගැන ලබාගත හැකි සාක්‍ෂි කවරේ ද? එය ප්‍රොටින නැමුම පිළිබඳ කතාකිරීමට ද? තම මතය තහවුරු කිරීමට නොහැකි අමරතුංග මහතා පොත්වලින් පරිවර්තනය කරන අදාළ නොවන කරුණු  කියමින් පත්තරයේ පිටු නාස්ති කරයි. ඒ මහතා ජීවිතයේ ඊනියා අරුත ගැන කියන්නේ එකි ලිපියෙහි ද කලින් ලිපි කිහිපයක ද සඳහන් පරිදි පහත දැක්වෙන දෙයයි. මෙය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙන් උපුටා ගත්තකි. 

“අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්යාුවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු පිළිබඳව ය. පසුගිය ලිපියේ ජීවිතයේ අරුත (Meaning) සහ ජීවිතයේ අරමුණ (Purpose) පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කළෙමි. ඒවායේ වෙනස සහ සම්බන්ධතාව සාකච්ඡා විය. මේ සම්බන්ධතාව ජීවිතයේ අරුත පිළිබඳ අප ඉදිරිපත් කොට ඇති මතවාදය තුළින් ලබාගත හැකි එකකි. අප පවසා සිටියේ ජීවිතයේ අරුත අප සඳහා සැකසුණු දෙයක්‌ නො ව විශ්වය/ස්‌වභාවධර්මය සඳහා සැකසුණු දෙයක්‌ විය හැකි බව ය. එහෙත් ජීවිතයේ අරමුණ අප සඳහා සැකසුණු දෙයක්‌ විය හැකි ය. මේ දෙක ම සකසනු ලැබ ඇත්තේ විශ්වය/ස්‌වභාවධර්මය විසින් බව පැවසිය හැකි ය. ඒවායේ අවසාන ප්රසතිඵලය අපට ලැබෙන ලාබයට වඩා විශ්වයට/ස්‌වභාවධර්මයට ලැබෙන සේවය වන්නේ ය. ජීවිතයේ අරමුණු කරා යන විට සිදු වන්නේ ජානවල වෙනසකි. ජාන වර්ධනය ජීවිතයේ අරුත යෑයි අප පවසමු. එම නිසා අරමුණු කරා යන විට සිදු වන්නේ ජීවිතයේ අරුත සාක්‌ෂාත් කරගැනීමට හෝ එම ක්රි යාදාමයට දායක වීම ය.”

ඊනියා අරමුණ හා අරුත පිළිබඳ ව අදහස් අමරතුංග මහතාගේ නො වේ. එහි වෙනසක් ඇති බව ඒ මහතා වෙනුවෙන් පඹයන් ඉදිරිපත් කළ අය පෙන්වා දීමෙන් පසුව අමරතුංග මහතා එහි වෙනසක් නැතැයි කීමට උත්සාහ කරයි. ඔහු ඒ බව “පෙන්වන්නේ” (ඔහු කවරදාවත් කිසිවක් පෙන්වා දී නැත. එහෙත් ඔහු තම ලිපිවල සෑම විටක ම මෙන් සඳහන් කරන්නේ ඔහු ඒ බව කලින් පෙන්වා දී ඇත යනුවෙනි!)  ජීවිතයේ අරමූණ අප සඳහා සැකසුණු එකක් විය හැකි බව  කියමින් (හැකි ය යනුවෙන් යමක් සඳහන් කරන්නේ තමන් ඒ බව හරිහැටි නොදන්නා බැවින් හා ඒ ගැන විශ්වාසයක් නොමැති කමිනි. අනෙක් අතට ජීවිතයේ අරමුණ අප සඳහා සැකසුණු එකක් යනුවෙන් කීමෙන් ඒ මහතා අදහස් කරන්නේ කුමක් ද? ) ඒ අරමුණ කරා යෑමේ දී ජාන වෙනස්වන බව කීයමිනි. ඔහු ජීවිතයේ ඊනියා අරුත සමග ඊනියා අරමුණ ගැට ගසන්නේ ජාන වර්ධනය ජීවිතයේ අරුත යැයි කියමිනි. මෙය ඔහු විශ්වාස කරන බටහිර විද්‍යාවේ ඉගැන්වීම් සමග සම්බන්ධ කරන්නේ කෙසේ දැයි ඔහු අපට පැවසිය යුතු ය. එය ඩාවින්ගේ පරිණාමවාදය සමග එකඟ වේ ද? ජාන වෙනස්වීම් ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ ද? විකෘති කිරීම් හා ස්වාභාවික වරණය ගැන අමරතුංග මහතා කියන්නේ කුමක් ද? ඔහු ලැමාර්ක් ගේ පරිණාමවාදය සමග එකඟ වන්නේ ද?  ආදී කරුණු ගැන අමරතුංග මහතාගෙන් දැන ගැනීමට අපි කුතුහලයෙන් බලා සිටිමු. එමෙන් ම ස්වභාව ධර්මයට සේවය කිරීමට අප ඇති වී තිබෙන්නේ යැයි කීම බුදුදහමට එකඟ වන්නේ ද? අප සසර සැරිසන්නේත් ස්වභාව ධර්මයට සේවය කිරීමට ද? එවිට නිවන් අවබෝධය සසරට සේවයක් කිරීමෙන් වැළකීම ද? ස්වභාව ධර්මය නිවන් දැකීමට සත්ත්වයන්ට ඉඩ දී ඇත්තේ ඇයි? එසේ සත්ත්වයන්ගේ නිවන් අවබෝධයෙන් ඊනියා ස්වභාව ධර්මයට පාඩුවක් සිදුවේ ද? යුදෙවු ක්‍රිස්තියානි සංකල්පවල හිරවූ ඊනියා බෞද්ධ බුද්ධිමතුන්ට (අශෝක අමරතුංග මහතා බෞද්ධ යැයි උපකල්පනය කරමි) නිවන් අවබෝධයක් වේ ද?

ඒ මහතා එකී ප්‍රශ්නවලට පිළිතුරු දෙන තෙක් අමරතුංග මහතා තම තර්ක ඥානයේ හෝ වෙනත් යමක හෝ මහිමයෙන් ලබාගෙන ඇති යමක් ගැන කිව යුතු ය. 2015 අගොස්තු 12 වැනි දා ලිපියෙහි ඒ මහතා මෙසේ කියයි. “හඳ නමැති වස්‌තුව අභ්යුවකාශයේ යම් කිසි දුරකින් පෘථිවිය වටා යම්කිසි වේගයකින් ගමන් කරන බව විද්යාමඥයින් විසින් සොයාගන්නා ලදී. එම දැනුම පිළිබඳ සියයට සියයක විශ්වාසයක්‌ නොමැති ව හඳ මතට මිනිසකු යවන්නට නොහැකි ය. එම විශ්වාසය පැරැන්නන් ගෙන් පටන්ගෙන වර්ධනය වූ විශ්වාසය ම ය. එම විශ්වාසය යථාර්ථයේ විශ්වාසය ය. හඳ ඇත්තේ විද්යාපඥයා ගේ මනසේ නම් ඒ මතට මිනිසකු යෑවිය නොහැකි ය.”  

මෙහි අර කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යැයි කීමට ළාමක උත්සාහයක් ද දරා ඇත. හඳ නමැති වස්තුව පෘථිවියේ සිට යම්කිසි දුරකින් යම්කිසි වේගයකින් චලනය වන බව පැරැන්නෝ දැන සිටියෝ ද? අනෙක් අතට ඒ පිළිබඳ සියයට සියයක විශ්වාසයක් වත්මන් බටහිර විද්‍යාඥයන්ට වේ ද? සියයට සියයක විශ්වාසයක් (අමරතුංග මහතාට දැනුමට වඩා විශ්වාස වෙයි) ඇත්තේ කාහට ද? එය යථාර්ථයේ විශ්වාසය යැයි අමරතුංග මහතා කියයි. සමහර විට ඒ මහතා කියන්නේ යථාර්ථය පිළිබඳ විශ්වාසය විය හැකි ය. ඒ කුමක් වුවත් මේ කියන යථාර්ථය කුමක් ද? හඳ කියන වස්තුව නිර්මාණය කරනු ලැබුයේ කවුරුන් විසින් ද? අමරතුංග මහතා බොළඳ ආකාරයකට එහෙත් සාවඥ ව කියන්නේ හඳ ඇත්තේ විද්‍යාඥයන්ගේ මනසෙහි නම් හඳ මතට මිනිසකු යැවිය නොහැකි බව ය. හඳ ඇත්තේ විද්‍යාඥයාගේ හෝ වෙනත් අයකුගේ හෝ මනසෙහි යැයි මේ විවාදයෙහි කියා ඇත්තේ කවුරුන් ද? 

අමරතුංග මහතාට අප විසින් හඳ නිර්මාණය කෙරෙන්නේ ය යන්න තේරුම් ගැනීමට අපහසු වී ඇත. මෙයින් කියන්නේ වඩු කාර්මිකයකු පුටුවක් නිර්මාණය කරන ආකාරයට අප හඳ නිර්මාණය කරන බවක් නො වේ. අනෙක් අතට අප හඳ නිර්මාණය කරන්නේ අපේ මනසෙහි නො වේ. මනස හඳ නිර්මාණය කරන්නේ ය යන්නෙහි තේරුම මනස විසින් අදාළ සංකල්පය, දැනුම නිර්මාණය කෙරෙන්නේ ය යන්න ය. හඳ අනෙක් වස්තූන්ගෙන් වෙන්කර දකින්නේ කවු ද? එය එසේ වෙන්කරන්නේ කවු ද? පෘථග්ජනයා යන්නෙන් වෙන්කරන්නා යන තේරුම ද ලැබෙන බව භාරතීය දර්ශනයෙහි සඳහන් වෙයි. එසේ වෙන්කිරීම ම නිර්මාණයකි. එලෙස හඳ අනෙක් වස්තූන්ගෙන් වෙන්කෙරෙන්නේ මනස විසිනි. මනස විසින් හඳ නිර්මාණය කෙරෙන්නේ ඒ ආකාරයෙනි. අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන්ගෙන් වෙන් වී සිටින පෘථග්ජනයෝ සසර සැරිසරති. දෙකක් නැත ඇත්තේ එකක් පමණක් (අද්වෛත) බව බ්‍රහ්මන් පමණක් බව අවබෝධ කරගත් විට සත්ත්වයෝ වෙන් නොකරති. ඒ සමග සංසාර ගමන ද නවතියි. 

මේ බව පැවසු විගස මා බෞද්ධයකු නොවන බව කීමට ඇතැමුන් සූදානම් වනු ඇත. එහෙත් පටිච්චසමුප්පදාය අනුව අප සංඛාර ඇතිකරගන්නේ අවිද්‍යාව නිසා ය. අද්වෛත වේදාන්තයේ අවිද්‍යාව යනු බ්‍රහ්මන්ගෙන් වෙන්වීම යැයි කෙනකුට සැලකිය හැකි ය. මම එය ප්‍රතික්‍ෂෙප කරමි. මා කියන්නේ පටිච්චසමුප්පදාය අනුව අවිද්‍යාව යනු ත්‍රිලක්‍ෂණ නොදැනීම බව ය. ත්‍රිලක්‍ෂණ අනවබෝධය හේතුකොටගෙන අපි දැනුම සංස්කරණය කරමු. එය මගේ ලෝකයෙහි හඳුන්වා දී ඇත්තේ දැනුම නිර්මාණය කිරීමක් ලෙස ය. නිර්මාණය කිරීම යන්නෙන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වැනි අදහසක් දිය හැකි බැවින් මින් මතු දැනුම සංස්කරණය කරන්නේ ය යන්න යොදාගැනීමට අදහස් කරමි. එවිට මගේ ලෝකයෙහි සඳහන් කියමන දැනුම ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියවලට) සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව මනස විසින් සංස්කරණය කෙරෙන්නේ ය යනුවෙන් සංශෝධනය කරගත හැකි ය. අප හඳ යන වස්තුව සංස්කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා ය. එය මනසෙහි සංස්කරණයකි. අප නැත්නම් හඳ ද නැත. හඳ ඇත්තේ නිරීක්‍ෂකයන්ට ය. නිරීක්‍ෂකයන් යනුවෙන් සසර සැරිසරන සත්ත්වයන් හැඳින්විය හැකි ය.  අප හඳ සංස්කරණය කරන්නේ ඒ අර්ථයෙනි. හඳ යනු බොරුවකි. අප විසින් නිර්මාණය කෙරී ඇති බොරුවකි. එය අපේ ප්‍රත්‍යක්‍ෂය ලෙස සැලකෙයි. එහෙත් අප පුටුව ගැන කියා ඇති අයුරෙන් හඳ යනුවෙන් වස්තුවක් ගෝචරවන ඉන්ද්‍රියයක් අප සතුව නැත. ඒ පංචෙන්ද්‍රිය ගෝචර ගුණ ඇසුරෙන් මනස විසින් සංස්කරණය කෙරෙන්නකි. හඳේ ඊනියා ගුණ ද පංවෙචන්ද්‍රිය සමග එකතුවන මනස විසින් සංස්කරණය කෙරෙයි. හඳේ පාට ආදී ඊනියා ගුණ මනස සංස්කරණය කරන්නේ පංචෙන්ද්‍රිය සමග එකතු වී ය. මනස හඳ නම් වස්තුව සංස්කරණය කරන්නේ පංචෙන්ද්‍රියවලින් ද ස්වායත්තව ය. එහි දී පංචෙන්ද්‍රිය ඇසුරෙන් සංස්කරණය කෙරූණු ඊනියා ගුණ ද යොදා ගැනෙයි. එහෙත් හඳ යන්න මනසේ සෘජු සංස්කරණයකි.

ගුරුත්වාකරෂණය ද එවැනි සංස්කරණයකි. එය නිවුටන් විසින් සංස්කරණය කෙරී දැන් බටහිර ලෝකය පමණක් නොව සිංහල බෞද්ධයන් ද ඊනියා යථාර්ථයක් ලෙස දකින පට්ටපල් බොරුවකි. අමරතුංග මහතා කලකට පෙර ගුරුත්චාකර්ෂණය තිබෙන බව කීවේ ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි තවමත් කියා නැත. බටහිර විද්‍යාවේ බොහෝ ක්‍ෂෙත්‍රවල විශාරදයකු වීමට අවුරුදු විසිපහක් පමණ ගතවෙයි. (ඒ බව මා පසුගිය ලිපියක සඳහන් කර ඇත. බටහිර භෞතික විද්‍යාවහි හෝ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හෝ විශාරදයන් වීම ඕනෑම අයකුට කළහැකි දෙයක් නො වේ. දුහුනන් දැනුම් උදෙසා මෙය තවත් පැහැදිලි කළ යුතු යැයි සිතමි.) මෙහි අවුරුදු විසිපහක් යනුවෙන් අදහස් කරන්නේ වයස ය. ඒ මිස තමන් අදාළ ක්‍ෂෙත්‍රය පමණක් ඉගෙනීමට ගතකල කාලය නො වේ. අයින්ස්ටයින් 1905 දී බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවට එකතු කිරීම් කරන විට ඔහුගේ වයස විසිහයක් පමණ විය. එවකට ඔහුට ආචාර්ය උපාධියක් නොතිබිණි. ඔහු බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට අවුරුදු විසිපහක් ගතකර නොතිබිණි. වයස විසිපහක් පමණ ගතවේය යන්නෙන් අදහස් කරන්නේ වයස ය. ඒ කාලය තුළ පාසල්වල (ජර්මනියේ ජිම්නේසියම්වල, එංගලන්තයේ ග්‍රැමර් ස්කූල්වල) හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ අවශ්‍ය දැනුම එක්රැස් කරගිනිති. 1905 අයින්ස්ටයින්ගේ විශ්මිත වර්ෂය ලෙස සැලකෙයි. එකල ඔහුගේ වයස විසිහයක් පමණ විය. ඒ වයස මිස ඔහු ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට ගතකල කාලය නො වේ. 

ඇතැමුන් පඬියන් මෙන් පවසන්නේ බටහිර විද්‍යාවෙහි දැනුම ඕනෑම අයකුට ලබාගත හැකි බව ය. එහෙත් පුහුණුවක් නොලැබූ අයකුට එක්ස් කිරණ ඡායාරූපයක් අර්ථකථනය කළ හැකි නො වේ. ඒ සඳහා වෛද්‍ය පීඨයක (ඊනියා වෛද්‍ය විද්‍යාලයෙහි) ලබාගත් දැනුම අවශ්‍ය ය. එහි දී බටහිර භෞතික විද්‍යාව ද යම් ආකාරයකට ආධාර වෙයි. වෛද්‍ය ශිෂ්‍යයෝ අදාළ භෞතික විද්‍යා දැනුම ද පාසලේ දී ලබාගනිති. බටහිර විද්‍යාවේ රූප ආදිය ඕනෑම අයකුට දැනගත (විවරණය කළ) හැකිය යන්න තවත් පට්ටපල් බොරුවක් පමණ ය. ඇතැමුන් ඒ පට්ටපල් බොරුව කියන්නේ බටහිර විද්‍යාච  ආත්මීය නොවන බව පැවසීම සඳහා ය. එහෙත් පුහුණුවක් නොලැබූ අයකුට ඒ කිසිවක් විවරණය කළ නො හැකි ය. පුහුණුව හා අධ්‍යාපනය මගින් කෙරෙන්නේ සම්මතවාදීව සිතන්නට පුද්ගලයන් පුහුණු කිරීම ය. එහි ඇත්තේ ද ආත්මීය බවකි.  අද පවතින සම්මතවාදය බටහිරයන් විසින් දේශපාලන බලය යොදමින් අනෙක් අය මත ද පටවන ලද්දකි. 

හඳ යන්න බොරුවක් ව පවතිද්දී ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් වන්නේ ඇයි? එයට ඇත්තේ සරල පිළිතුරකි. බටහිර විද්‍යාවේ අනෙක් ඊනියා ප්‍රවාද මෙන් ම ගුරුත්වාකර්ෂණය ද බොරු තේරුම් කිරීමට ගොතන ලද වියුක්ත කතාවක් බැවින් එය පට්ටපල් බොරුවක් වෙයි. මා යොදාගන්නා ශබ්දමාලාව අනුව බොරු තේරුම් කරන වියුක්ත කතන්දර පට්ටපල් බොරු වෙයි. මා නොයෙක් විට කියා ඇති පරිදි ගුරුත්වාකර්ෂණය අපේ පංචෙන්ද්‍රියවලින් කිසිවකටවත්  ගෝචර වන්නක් නො වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු නම් තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන බව (ගෝචරවන බව) කියා ඇත. එහෙත් ඔහු තමාගේ කිනම් ඉන්ද්‍රියයකට හෝ අවයවයකට හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන්නේ දැයි කීමට මැළි විය. 

අයින්ස්ටයින්ට බලපෑමක් එල්ල කළ අර්නස්ට් මාක් ඕස්ට්‍රියාවේ උපත ලත් බටහිර භෞතික විද්‍යාඥයකු හා දාර්ශනිකයකු විය. ඇතැමුන් විසින් තර්කානුසාරී අනුභූතිවාදයෙහි පියා ලෙස සැලකෙන ඔහු බටහිර විද්‍යාවේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්ත අදහස්, ප්‍රවාද, සංකල්පවලින් තේරුම් කර දීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ  ඒ සංසිද්ධි තේරුම් කිරීමට පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප ආදිය පමණක් යොදාගත යුතු බව ය. ඔහු ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවලට (inertial frames of reference) විරුද්ධ විය. එවැනි රාමු පංචෙන්ද්‍රියවලට ගෝචර නො වේ. මේ රාමු ද පට්ටපල් බොරු ය. ඒවා ද නිවුටන්ගේ සංස්කරණයකි. මාක්ගේ අදහස් තරුණ අයින්ස්ටයින්ට බලපෑවේ ය. 

අයින්ස්ටයින් තම සාපේක්‍ෂතාවාදයඃ විශේෂ හා සාධාරණ (Relativity : Special and General Theory)  පොතෙහි ද මාක් ගැන සඳහන් කර ඇත. තරමක් දීර්ඝ නමුත් ඒ උපුටා දැක්වීම වැදගත් ය. ඒ සමුද්දේශ රාමු වර්ග දෙකක් ගැන සඳහන් කිරීමේ දී ය. අයින්ස්ටයින් නිවුටන්ගේ යාන්ත්‍රිකයෙහි මෙන් ම ඔහුගේ ම විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අඩුවක් දුටුවේ ය. ඔහු ඇතැම් සමුද්දේශ රාමුවල භෞතික විද්‍යාවෙහි නිවුටන්ගේ නියම වලංගුවන නමුත් වෙනත් රාමුවල වලංගු නොවන බව දුටුවේ ය. එය සතුටුදායක නො වේ ය යන්න ඔහුගේ නිගමනය විය. (නිවුටන්ගේ යාන්ත්‍රිකයේ මෙන් ම විශේෂ සාපේක්‍ෂතාවාදී යාන්ත්‍රිකයේ ද චලිතය පිළිබඳ නියම වලංගු වන්නේ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවල ය.) අයින්ස්ටයින්ට අවශ්‍ය වූයේ එසේ භේදයකින් තොරව භෞතික විද්‍යාවේ ස්වභාව ධර්මයේ නියම (laws of nature)  වලංගුවන ආකාරයක් සංස්කරණය කිරීම ය. අපි අදාළ පෙතෙන් අයින්ස්ටයින් උපුටා දක්වමු.

"We have already stated several times that classical mechanics starts out from the following law: Material particles sufficiently far removed from other material particles continue to move uniformly in a

straight line or continue in a state of rest. We have also repeatedly emphasised that this fundamental law can only be valid for bodies of reference K which possess certain unique states of motion, and which are in uniform translational motion relative to each other. Relative to other reference-bodies K’ the law is not valid. Both in classical mechanics and in the special theory of relativity we therefore differentiate between reference-bodies K relative to which the "recognised laws of nature " can be said to hold, and

reference-bodies K’ relative to which these laws do not hold."

අපි මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.           

නලින් ද සිල්වා

2015 දෙසැම්බර් 21