History

Thursday, 31 December 2015

නැති අවස්ථිති සමුද්දෙශ රාමු (2015 දෙසැම්බර් 30 විදුසර ලිපිය)

නැති අවස්ථිති සමුද්දෙශ රාමු

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පඹයන් ඉදිකිරීම සඳහා නැවතත් බෝධි ධනපාල නමැත්තා ඉදිරිපත් වී ඇත. ඔහුට අමරතුංග මහතාට තරමටවත් යමක් තේරුම් ගැනීමේ හැකියාව නැත. ඔහුට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස කළ අභියෝගය ඔහු පළමුව පිළිගෙන පසුව මගහැර ගියේ ය. ඒ පිළිබඳ විස්තර මගේ 2015 දෙසැම්බර් 02 වැනි දා ලිපියෙහි සඳහන් වන බැවින් නැවතත් ඒ ගැන නො කියමි. ඒ මහතා මා සමග ප්‍රසිද්ධ විවාදයකට නොඑළඹෙන බැවින් ඒ මහතාගේ ගුරු ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. ඒ මහතාට ද නොහැකි නම් ලංකාවේ සිටින ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධි ලත් කොළඹ විශ්වවිද්‍යාලයෙහි ද සේවය කළ මහාචාර්ය විමලසේන ඈපාසිංහ වැනි ඔහුගේ මිතුරකු වුව ද ඒ අභියෝගය ඔහු වෙනුවෙන් පිළිගන්නේ නම් මම සතුටු වෙමි.


මේ කැනඩාවේ හා වෙනත් පිටරට සිටින මහත්වරුන්ට එක් කරුණක් පමණක් කිව යුතු ය.  මා ආචාර්ය උපාධිය අවුරුදු එකහමාරකින් ලැබුයේ ජනප්‍රිය පොතපත පමණක් කියවා නො වේ. මගේ නිබන්ධයේ මාතෘකාව වූයේ තාරකා භෞතිකයේ සාපේක්‍ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics)  යන්න ය. එබැවින් මම ගුරුත්වය පිළිබඳ දනිමි. ගුරුත්වය නැති බව ද දනිමි. මගේ නිබන්ධක උපදේශක වූයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වූ (Fellow of the Royal Society) ද රාජකීය තාරකාවේදී සංගමයේ (Royal Astronomical Society) සභාපතිවරයකුව සිටියා වූ ද විශ්ව කීර්තියට පත් විශ්වවේදියකු (Cosmologist) වූ ද මහාචාර්ය විලියම් (ඉංගිරිසි ක්‍රමය අනුව බිල්) මැක්රේ ය. මට ආචාර්ය උපාධිය ලැබෙන විට වයස විසිහයක්වත් සම්පූර්ණ වී නොතිබිණි. ලංකා සන්දර්භයෙහි ඒ අඩු වයසක් විය. මහාචාර්ය මැක්රේ හා සසෙක්ස් විශ්වවිද්‍යාලය මට ආචාර්ය උපාධියක් දුන්නේ ඇතැමුන් කීමට උත්සාහ කරන පරිදි මා අදක්‍ෂ ශිෂ්‍යයකු ලෙස සලකා මා ආපසු යැවීමට නො වේ. සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක් ගතකළ යුතු බැවින් මහාචාර්ය මැක්රේ මට අවුරුදු එකහමාරකින් නිබන්ධනය ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාලයෙහි සනාතන සභාවෙන් විශේෂ අවසරයක් ලබාදුන්නේ ය. මා ආපසු එන විට මහාචාර්ය මැක්රේ මහත්සේ කණගාටු විය. ඔහු මගේ ද’ක්‍ෂතා අගයමින් මට දී ඇති වර්ණනාත්මක සහතියක් මා සතු වෙයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මට ඉගැන්වූ ඇතැම් ගුරුවරුන් මෙන් ඊ්ර්ෂ්‍යා පරවශ නො වී ය. මේ කරුණු මා සඳහන් කරන්නේ පුරසාරමකට නොව ඇතැමුන් ප්‍රචාරය කරන දුර්මත ඛණ්ඩනය කිරීම සඳහා ය. එ දුර්මත ප්‍රචාරය කරන්නන් අතර ඊර්ෂ්‍යා පරවශ ගුරුවරු ද වෙති. 

කැනඩාවේ හා වෙනත් රටවල සිටින මහත්වරුන් සමහරවිට සිතනු ඇත්තේ ලංකාවට පැමිණීමෙන්  පසු අප පොතපත සඟරා ආදිය නොකියවන බවත් ඊනියා පර්යේෂණ නොකරන බවත් ය. මම බටහිර විද්‍යාවෙන් සම්පුර්ණයෙන් කැඩෙන තෙක්  ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කෙළෙමි. පොතපත කියවන්නේ තමන් පමණක් යැයි සමහරවිට පිටරට සිටින මහත්වරුන් සිතනු ඇත. මම පසුගිය දිනවල ජෝන් ග්‍රිබින් ලියා 2012 දී පළකර ඇති අර්වින් ෂ්රොඩිංගර් හා ක්වොන්ටම් විප්ලවය (Erwin Schrodinger and the Quantum Revolution) නම් පොත කියවීමි. (එහි කඩදාසි කවර මුද්‍රණය නිකුත් වී ඇත්තේ 2013 දී ය)  එහි ගණිතය නැත. එහෙත් එපමණකින් එහි වියුක්ත සංකල්ප නැතැයි කිව නොහැකි ය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ආයතනයෙන් (Institute of Astronomy) ආචාර්ය උපාධියක් ලබා ඇති ග්‍රිබින්, නේචර් හා නිව් සයන්ටිස්ට් සඟරාවල සේවය කර ඇත. ඔහු තම පොතෙහි මහාචාර්ය මැක්රේ ගැන ද සඳහන් කරයි. ඒ ෂ්රොඩිංගර් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි සිටිය දී මහාචාර්ය මැක්රේ ඈසුරු කළ බව හා මහාචාර්ය මැක්රේගෙන් ෂ්රොඩිංගර් ගැන ලබාගත් ඇතැම් කරුණු ගැන  කීමේ දී ය. මහාචාර්ය මැක්රේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි සිටිය දී පෝල් ඩිරැක් ද ආශ්‍රය කර ඇත. මම මහාචාර්ය මැක්රෙගෙන් ඒ විද්‍යාඥයන් හා ඔවුන්ගේ අදහස් ගැන පමණක් නොව එංගලන්ත ඉතිහාසය හා දේශපාලනය ගැන ද අසා දැනගෙන ඇත්තෙමි.  බටහිර විද්‍යාවේ සිදුවන දේ ගැන විමසිල්ලෙන් පසුවන අපි ප්‍රංශ ජාතික ඇස්පෙ (Aspect - මේ උච්චාරණය පිළිබඳ මම වග නො කියමි) විසින් 1980 දී පමණ පර්යෙෂණ සිදුකෙරී 81 දී 82 දී පළකෙරුණු පත්‍රිකාවල අඩංගු ප්‍රතිඵල ගැන 1986 දී පළකළ මගේ ලෝකය කෘතියෙහි සඳහන් කෙළෙමු. ඒ පර්යෙෂණවල ප්‍රතිඵල බෝම් ගේ අදහස්වලට පටහැණි වෙයි. එපමණක් නො වේ. ජෝන් බෙල් ඉදිරිපත් කළ අසමානතාවලින් හා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කර ඇති ඇස්පෙ වැන්නන්ගේ පරීක්‍ෂණවලින් කියැවෙන්නේ බෝම්ගේ අදහස් සමග ඒ පරික්‍ෂණ අනුගත නොවන බව ය.

මේ ලිපියෙහි ග්‍රිබින්ගේ පොතෙන් ගත් කරුණක් (ෂ්රොඩිංගර් කී වේදාන්ත අදහසක්)  සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමි. ෂ්රොඩිංගර් වේදාන්ත දර්ශනය ගැන උනන්දුවක් දැක්වීය. ඔහු අද්වෛත වේදාන්තයේ බ්‍රහ්මන් ගැන උද්‍යොගයෙන් කතාකර ඇත. ග්‍රිබින් සමග මා එකඟ නොවුවත් ඔහු කියන්නේ මහේක්‍ෂ වස්තුවලට ද (macroscopic objects) ශුද්‍ර අංශුවල (microscopic particles) මෙන් ක්වොන්ටම් ගුණ ඇති බව ය. ෂ්රොඩිංගර්ගේ සුප්‍රසිද්ධ බළලා ද ක්වොන්ටම් අනිශ්චයතා මූලධර්මය (uncertainty principle) හා තරංග ශ්‍රීතයේ කඩාවැටීම (collapse of the wave function) මහේක්‍ෂ වස්තුවලට යෙදීමේ ප්‍රතිඵලයකි. එහෙත් ඔහු බළලා උදාහරණය ගෙනාවේ කෝපන්හේගන් විවරණයට එරෙහිව ය. 

ග්‍රිබින් තම පොතෙන් පෙන්වා දෙන්නේ ක්වොන්ටම් භෞතිකය මහේක්‍ෂ වස්තුවලට යෙදීමෙන් ඒ වස්තු ද  ක්වොන්ටම් පටලැවුමක (Quantum Entanglement) ඇතැයි සැලකිය හැකි බව ය. පටලැවුම යන සංකල්පය ක්වොන්ටම් භෞතිකයට ගෙනැවිත් ඇත්තේ ෂ්රොඩිංගර් ය. ග්‍රිබින් පෙන්වන්නේ එකිනෙක සමග පැටලී ඇති මහේක්‍ෂ වස්තු හා ශුද්‍ර අංශු එක් සමස්තයක් නිර්මාණය කරන බව ය. මේ සමස්තය ෂ්රොඩිංගර් සඳහන් කර ඇති අද්වෛත (දෙකක් නොවන එකක් ම පමණක් වන) බ්‍රහ්මන් මෙන් යැයි සැලකිය හැකි ය. මේ සියල්ල කප්රාගේ ශිව නැටුම (Dance of Shiva)  ද සිහිපත් කරයි. එකල ජනාධිපති වූ ජේ ආර් ජයවර්ධන කප්රාගේ අදහස්වලින් යම් උත්තේජනයක් ලැබ (අඩු තරමෙන් ජේ ආර් ජයවර්ධන අනෙක් බොහෝ දේශපාලනඥයන් මෙන් නොව කප්රා ගැන දැන සිටියේ ය.) ගුවන් ගමන් බලපත්‍ර දී කප්රා ලංකාවට සුළු කාලයකට ගෙන්වා ගත්තේ ය! ථෙරවාද බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ වන්නේ යැයි කියන පිටරට හා මෙරට සිටින සිංහල බෞද්ධයනට ක්වොන්ටම් භෞතිකයට බෞද්ධ විවරණයක් දීමට නොහැකි වී ඇත. අහෝ ඛෙදයකි!

ඒ සමග කැනඩාවේ සිටින මහත්වරුන්ගේ දැනගැනීම සඳහා කිවයුත්තේ මා මේ දිනවල කියවන්නේ ඔවුන්ගෙන් එක් අයකුගේ සමච්චලයට පාත්‍ර වූ ජිම් බැගට්ගේ යථාර්ථයට ආයුබෝවන් (Farewell to Reality) නම් 2013 දී පළකර ඇති කෘතිය ය. මා යථාර්ථයට ආයුබෝවන් කීවේ 2013 ට බොහෝ කලකට පෙර අසූවේ දශකයේ බව ද සඳහන් කළ යුතු ය. අපි ඇතැම් දැනුම් බටහිරයන්ගෙන් ලබාගෙන අපේ සංස්කෘතියට අවශෝෂණය කරන අතර අපේ ම දැනුම් ද නිර්මාණය කරමු. මම කලකට පෙර, මෙම විවාදය ආරම්භයේ දී ෆෝටෝනවලට ස්කන්ධයක් පැනවිය හැකි ය යන මතයේ සිටියෙමි. මා ඉන්පසු කියවූ ලිපි අනුව කල්පනා කිරීමෙන් පසුව දැන් දරණ මතය වනුයේ ෆෝටෝනවලට යම් පද්ධතියක ස්කන්ධ කේන්ද්‍ර රාමුවෙහි ස්කන්ධයක් (අවිචලක හෙවත් නිශ්චලතා ස්කන්ධයක් නො වේ) ඇති බව ය. ෆෝටෝන දොඹ ගෙඩි මෙන් නොවූවත් ඇතැම් අවශ්‍යතා යටතේ එකිනෙක සමග ගැටේ.  ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල විස්තර කරමි. එහෙත් එයට පෙර ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන සමග ප්‍රසිද්ධ වාදය කිරීමට හැකිනම් ඒ මහතාට කෘතඥ වෙමි.

දැන් අපි මහාචාර්ය අමරතුංග දෙසට හැරෙමු. ඒ මහතා තම 2015 නොවැම්බර් 18 වැනි දා ලිපියෙහි මෙසේ කියයි.  “අප ගේ මතවාදය ක්‌වොන්ටම් මතවාදය සමඟ එකඟ වනවා දැයි සොයා බැලිය යුතු ය. ක්‌වොන්ටම් මතවාදය පිළිබඳව අර්ථකථන කිහිපයක්‌ ම තිබෙන බව අපි දනිමු. ඒවායින් පුමුඛස්‌ථානයක්‌ ගන්නේ කෝපන්හේගන් අර්ථකථනය සහ ඩි බ්රොගලි-බොහොම් අර්ථකථන වන්නේ ය. තවත් වැදගත් අර්ථකථන එකක්‌ හෝ දෙකක්‌ තිබිය හැකි ය. කෝපන්හේගන් අර්ථකථනයට අනුව ක්‌වොන්ටම් මතවාදය අනියතිවාදී ය. ඩි බ්රොගලි-බොහොම් අර්ථකථනයට අනුව එය නියතිවාදී වන්නේ ය. මේ නයින් බලන කල ක්‌වොන්ටම් මතවාදය නියතිවාදී හෝ අනියතිවාදී හෝ යෑයි නිත්ය  වශයෙන් කිව නොහැකි ය. එම නිසා ක්‌වොන්ටම් මතවාදය අප ගේ මතවාදයට විරුද්ධ නො වන්නේ ය. එය බුදු දහමේ පටිච්චසමුප්පාදයට ද විරුද්ධ වන්නේ නැත. පටිච්චසමුප්පාදය නියතිවාදී නො වන්නේ ය. අනියතිවාදී ද නො වන්නේ ය.”

අමරතුංග මහතාගේ තර්කඥානය කෙබඳු දැයි ඉහත සඳහන් ඡෙදය කියවීමෙන් පමණක් වුව ද දැනගත හැකි ය. ද බෘලි - බෝම් (බෝම් ද ෂ්රොඩිංගර් මෙන් ම භාරතීය දර්ශනයෙන් ආභාසය ලැබී ය. අර්නස්ට් මාක් බෞද්ධ දරශනයෙන් ද බෝර් චීන යිං යැං දර්ශනයෙන් ද ආභාසය ලැබී ය. එහෙත් මාක් තර්කානුසාරී  අනුභූතිවාදයක –- logical positivism - සිරවිය. ඔහු පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවල පැවැත්ම විශ්වාස කෙළේ ය.) අර්ථකථනය අනුව ක්වොන්ටම් භෞතිකය නියතවාදී යැයි ද කෝපන්හේගන් අර්ථකථනය අනුව එය අනියතවාදී යැයි ද කියන අමරතුංග මහතා ඉන් නිගමනය කරන්නේ ක්වොන්ටම් භෞතිකය නියතිවාදී හෝ අනියතවාදී යැයි නිත්‍ය වශයෙන් කිව නොහැකි බව ය. දෙදෙනකු යමක් ගැන දෙවිධියකට බලන කළ එයින් කියැවෙන්නේ ඒ යමක් දෙවිධියෙන් එක් විධියකටවත් නැතැයි නිත්‍ය වශයෙන් කිව නොහැකි බව නො වේ. එකම තැනැත්තකු ක්වොන්ටම් භෞතිකය නියතවාදී හෝ අනියතවාදී හෝ නො වේ යැයි කරුණු සහිත ව කියා ඇත්නම් අමරතුංග මහතාගේ නිගමනයට යම් ඉඩක් දිය හැකි ය. එහෙත් දෙදෙනකු ක්වොන්ටම් භෞතිකය ගැන දෙකක් කියන විට ඉන් ක්වොන්ටම් භෞතිකය ගැන කිසිවක් නිගමනය කළ හැකි නො වේ. අමරතුංග මහතා පටිච්චසමුප්පාදය නියතවාදී වන්නේ ය හෝ නොවන්නේය හෝ යනුවෙන් කියන්නේ දෙදෙනකු පටිච්චසමුප්පාදය ගැන එලෙස දෙවිධියකට කියා ඇති බැවින් ද? පටිච්චසමුප්පාදය නියතිවාදී නොවේ යැයි කී අයෙක් හා නියතවාදී වේ යැයි කී තවත් අයෙක් වෙත් ද? අමරතුංග මහතා කබරගොයා තලගොයා කරන්නේ යැයි මම නො කියමි. ඔහුට තර්ක ඥානය ආගන්තුක ය.

අපි දැන් ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් බවට පසුගිය ලිපියෙන් (දෙසැම්බර් 23) කී දේ තවත් ඉදිරියට ගෙන යමු. අපි එහි දී අයින්ස්ටයින් සාපේක්‍ෂතාවදය : විශේෂ හා සාධාරණ නම් පොතෙහි කර ඇති ප්‍රකාශයක් සඳහන් කෙළෙමු. ඒ ප්‍රකාශය නැවත උපුටා දක්වන්නේ පාඨකයන් ආපසු එකී ලිපිය කියවීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. We have already stated several times that classical mechanics starts out from the following law: Material particles sufficiently far removed from other material particles continue to move uniformly in a straight line or continue in a state of rest. We have also repeatedly emphasised that this fundamental law can only be valid for bodies of reference K which possess certain unique states of motion, and which are in uniform translational motion relative to each other. Relative to other reference-bodies K’ the law is not valid. Both in classical mechanics and in the special theory of relativity we therefore differentiate between reference-bodies K relative to which the recognised " laws of nature " can be said to hold, and reference-bodies K’ relative to which these laws do not hold.

අයින්ස්ටයින් මෙයින් කියන්නේ නිව්ටෝනීය හා විශේ’ෂ සාපේක්‍ෂතාවාදී චලිත නියම වලංගුවන සමුද්දේශ රාමු (K) හා එසේ නොවන රාමු (K’) වශයෙන් රාමු වර්ග දෙකක් ඇති බව ය. මේ K රාමු යනු කවරේ ද?  ඒ අන් කිසිවක් නොව ඊනියා අවස්ථිති සමුදදේශ රාමු (inertial frames of reference) ය. ඒ රාමු අනෙක් වස්තුවලින් ඉතා ඈත පවතින්නේ යැයි සිතමු. එහෙත් එවැනි රාමු අපට සොයාගත හැකි ද? නිව්ටන් තම සූත්‍රගත කිරීමේ දී ඊනියා නිරපේක්‍ෂ අවකාශයක් සඳහන් නොකළ ද මේ රාමු තිබිය හැක්කේ වෙනත් කිසිම වස්තුවක් නැති නිරපේක්‍ෂ අවකාශයක ය. අනෙක් වස්තුවලින් ඉතා ඈතට ඇති රාමු යනු හුදු සන්නිකර්ෂණයක් පමණකි. කෙතරම් ඈතට ගියත් ඒ වස්තුවල බලපෑම මුළුමනින් ම නැති කළ නො හැකි ය. එබැවින් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු යනු පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත රාමු විශේෂයකි. ඒ රාමු තිබිය හැක්කේ ඇතැම් විද්‍යාඥයන්ගේ මනස්වල පමණකි. අර්නස්ට් මාක් ඊනියා අවස්ථිති රාමු යොදාගෙන භෞතික විද්‍යා නියම සූත්‍රගත කිරීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි එවැනි ම පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප හා ප්‍රවාද මගින් පමණක් තේරුම් කළ යුතු බව ය. ඒ මහුගේ තර්කානුසාරී අනුභූතිවාදය සමග එකඟ විය. 

අපි ඊනියා අවස්ථිති රාමුවක් තිබේ යැයි උපකල්පනය කරමු. දැන් නිරීක්‍ෂකයා ද නිරීක්‍ෂ්‍ය (නිරීක්‍ෂණය කරනු ලබන්න) ද මේ රාමුවට සාපේක්‍ෂව පැවතිය යුතු ය. නැතහොත් නිරීක්‍ෂණය කරන්නේ කවු ද? කුමක් ද? එහෙත් ප්‍රශ්නය වනුයේ එසේ නිරීක්‍ෂකයකු හා නිරීක්‍ෂ්‍ය ඇති විට අර රාමුව තවදුරටත් අවස්ථිති සමුද්දේශ රාමුවක් වන්නේ ද යන්න ය. ඒ රාමුව දැන් අනෙක් වස්තූන්ගෙන් ඉතා ඈත පවතින රාමුවක් නොව නිරීක්‍ෂකයකු හා නිරීක්‍ෂ්‍ය ද රැගත් රාමුවකි. මෙයින් කියැවෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි ඊනියා අවස්ථිති රාමු නොමැති බව ය. එහෙත් නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි මෙන් ම විභේෂ සාපේක්‍ෂතාවාදී යාන්ත්‍රිකයෙහි ද එවැනි රාමු යොදා ගැනෙයි. එනම් නැති අවස්ථිති සමුද්දේශ රාමු ඇතැයි එහි දී සැලකෙයි. එසේ වුවත් යාන්ත්‍රිකය ගැන කතාකරන්නන්ට මේ නැති රාමු යොදා ගෙන ඉන් වැඩ ගත හැකි ය. ඒ නැති මම යොදාගෙන අප ඉන් (නැති මාගෙන්) වැඩ ගන්නා ආකාරයට ය. යමකින් වැඩක් ගත් පමණින් ඒ පවතින්නේ යැයි කිව නො හැකි ය.

අප කලින් ද කියා ඇති ආකාරයට මාක්ගේ අදහස් තරුණ අයින්ස්ටයින්ට බලපෑවේ ය. අයින්ස්ටයින් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවලට සීමා නොවී සාධාරණ ව ඕනෑම සමුද්දේශ රාමුවක භෞතික විද්‍යාවේ නියම සූත්‍රගත කිරීම ගැන තම අවධානය යොමු කෙළේ ය. අවුරුදු දහයකින් 1915 දී සාපේක්‍ෂතාවාදය බිහිවිය. නිව්ටන්ට තිබූ ප්‍රශ්න වූයේ අත්හරිනු ලැබූ වස්තුවක් එකම ත්වරණයකින් පොළොවට එන්නේ ඇයි (ගැලීලියෝ කළා යැයි කියන ඇලවෙන කුළුණේ පරීක්‍ෂණය), ග්‍රහවස්තු සූර්යයා වටේ චලනය වන්නේ ඇයි ආදිය ය. ඒ තේරුම් කිරීම සඳහා නිව්ටන් ගුරුත්වාකර්ෂණය ඉදිරිපත් කෙළේ ය. එහෙත් එසේ කෙළේ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවල ය.  නිව්ටන් වැටෙන ඇපල් ගෙඩියක් සඳහා සමීකරණය ලියුවේ නැති අවස්ථිති රාමුවල ය!    

නලින් ද සිල්වා

2015 දෙසැම්බර් 28