History

Wednesday, 27 January 2016

රාමු දෙකක කතාව (2016 ජනවාරි 27 විදුසර ලිපිය)

                              රාමු දෙකක කතාව

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ජීවිතයේ අරුත කෙසේ වෙතත් තම ලිපිවල අරුතවත් පැහැදිලි කර දෙන බවක් පෙනෙන්නට  නැත. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 20 වැනි දින ඒ මහතාගේ ලිපිය වෙනුවට කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේ තාක්‍ෂණික පාසලක උගන්වන බෝධි ධනපාල මහතා මා සමච්චලයට පත්කරමින් ලියූ ලිපියක් පළවිණි. මම ධනපාල මහතාට හෝ ඔහුගේ ගුරු චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට හෝ ලිපි මගින් පිළිතුරු නො දෙමි. ඔවුන් දෙදෙනාට මා සමග ලංකාවේ දී ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වන ලෙස ආරාධනය කර ඇති නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුවත් එයට සූදානම් නැති බව පෙනෙයි. අප සැමදාමත් කියන්නේ වාචික විවාදයක දී ප්‍රශ්නයක් අසා එහි දී ම පිළිතුරක් ලබාගත හැකි බැවින් ධනපාල, ධර්මවර්ධන මහතුන්ගේ නොදැනුම ඔවුන්ට ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට එවැනි විවාදයක දී හැකි බව ය. අමරතුංග මහතාට ද ඒ කරුණ එලෙස ම අදාළ ය. ධනපාල මහතා මා සමග විවාදයකට ලංකාවට ඒමට ලිඛිත ව පොරොන්දු වී පසුව ඒ මගහැරියේ ය. ඒ පිළිබඳ විස්තර කලින් පළකර ඇති බැවින් නැවත සඳහන් කිරීම අනවශ්‍ය ය. 


ධනපාල මහතා එක් වතාවක් නොව කිහිප වතාවක් ම මා සම්බන්ධයෙන් සිවලා යන්න යොදා ගෙන තිබේ. එය සිල්වා යන්න වැරදියට යතුරු ලියනය කිරීමක් යැයි කිසිසේත් ම විශ්වාස කිරීමට නො හැකි ය. කෙසේ වෙතත් ධනපාල මහතා වැන්නකුට එවැනි අපහාසයක් කිරීමක් මිස වෙනත් දෙයක් කිරීමට නොහැකි බැවින් මම ඒ ගැන කලබල නො වීමි. මම කිසිසේත් ම ඒ ගැන කෝපයට පත් නො වීමි.  පසුගිය 24 වැනි දා ලංකාවෙබ් (lankaweb) අඩවියේ පළ වූ ධනපාල මහතාගේ ලිපියකින් ද ඒ මහතාට අප කියන කිසිවක් අවබෝධ නොවන බව පැහැදිලි ය. දැනුම සාපේක්‍ෂය යන්න ඒ මහතාවත් අමරතුංග මහතාවත් බොහෝ සිංහල බටහිර උගතුන්වත් තේරුම් ගන්නා කරුණක් නො වේ. එපමණක් නොව ධනපාල මහතාට අවකාශ කාලයෙහි වක්‍රතාව, භූමිතිකය (geodesic), පමණක් නොව අංශුවල ස්කන්ධය ගැන ද කිසිම අවබෝධයක් නැත. ඒ මහතා ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ තම අනවබෝධය ඒ මහතාට ද වටහාගත හැකි වනු ඇත. 

බෘලි යන්න මා  බෘලි ලෙස ලියන්නේ මගේ ගුරුවරුන් ද එසේ උච්චාරණය කළ බැවිනි. මේ බව මා කිහිප වතාවක් ම කලින් කියා ඇත. බැගට්ගේ පොතට සමච්චල් කරන ධනපාල මහතා මා එහි කරුණු විකෘති කර ඇතැයි කියයි. එහෙත් එසේ විකෘති කෙරී ඇත්තේ කුමක් දැයි නො කියයි. ඒ මහතා එක ම කරුණු ඒවාට පිළිතුරු දුන් පසු ද නැවත නැවත කියයි. එසේ නැවත නැවත කීම විදුසර පුවත්පතට ද එහි පාඨකයනට ද කරන අගෞරවයකි. බෘලි කිසිසේත් ම කිසි දිනෙක අපට බ්රොයි නො වී ය. ප්‍රංශ කාරයන්ගේ නම් ප්‍රංශ කාරයන් උච්චාරණය කරන අන්දමට ම උච්චාරණය කිරීමට අපට බලකළ නො හැකි ය. ධනපාල මහතා කැනඩාවේ ජීවත්වන්නේ ප්‍රංශ කතාකරන ක්විබෙක් ප්‍රාන්තයෙහි ය. එය ප්‍රංශ කතාකරන්නන්ට කිබෙක් විය හැකි ය. එහෙත් මා ඒ උච්චාරණය කරන්නේ ක්විබෙක් කියා ය. මම මගේ ගුරුවරුන් මිතුරන් අනුව යමින් ඒ ඒ නම් උච්චාරණය කරමි. ප්‍රංශ කතාකරන්නන් බෝධි ධනපාල යන්න උච්චාරණය කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. එහෙත් ඉංගිරිසින් බොහෝ දෙනකු පමණක් නොව ඉංගිරිසින් අනුකරණය කරන ඇතැම් සිංහලයන් ද ගාල්ල යන්න ගෝල් යනුවෙන් ද කෑගල්ල යන්න කේගෝල් යනුවෙන් ද උච්චාරණය කරන බව මම දනිමි. එමෙන් ම එංගලන්තයේ ම යෝක්ෂයර් වැනි ප්‍රාන්තවල බස් යන්න බුස් යනුවෙන් උච්චාරණය කරන බව ද  දනිමි. ඒ සිල්වා ඊනියා වැරදීමකින් සිවලා වන ආකාරයට නොව ඒ ඒ ව්‍යවහාරය අනුව ය.

ව්‍යවහාරය සංස්කෘතිය විසින් තීරණය කෙරෙයි. මා බෘලි යැයි කියන්නේ මා හැදී වැඩුණු සංස්කෘතිය අනුව ය. ප්‍රංශ උච්චාරණය දත් අයකු ඒ එසේ නොවේ යැයි කී පමණින් ඒ උච්චාරණය වෙනස් කිරීිමට මට අවශ්‍ය නො වේ. ධර්මවර්ධන යන්න ඇතැම් සිංහලයන් ද උච්චාරණය කරන්නේ ධර්මවෝඩ්න්, ඩාම්වෝඩන් ආදී වශයෙන් බව නගරයේ ජීවත්වන ධර්මවර්ධනවරු ද දනිති. ඒ සිංහලයන් එසේ උච්චාරණය කරන්නේ ඔවුන්ගේ දිවට ධර්මවර්ධන යන්න නුහුරු නිසා නොව සංස්කෘතික ආධිපත්‍යයකට  යටවීමෙනි. චන්ද්‍රසිරි යන්න චන්ද්‍රෙ, චන්ද්‍ර, චාන්ඩ් හෝ චෑන්ඩ් හෝ ආදී වශයෙන් ලියන්නේ ද සිංහල උච්චාරණය නුහුරු තම විදේශීක මිතුරන්ගේ පහසුව සඳහා ය. අනෙක් නම් සම්බන්ධයෙන් ද අපට එලෙස කිව හැකි ය.  ප්‍රංශ ජාතිකයන් සිංහල නම් සිංහල ඌරුවට උච්චාරණය කරන තෙක් මට බෘලි, බෘලි ම වෙයි. ඒ අතර සංස්කෘතික ආධිපත්‍යයේ බලපෑම හේතුකොටගෙන සිරිපාලලා සිරිලා වෙති, විමලසේනලා විමල්ලා වෙති. මේ දැනුම සම්බන්ධයෙන් සංස්කෘතිය බලපාන ඉතා සරල අවස්ථාවක් පමණකි. සාධාරණ වශයෙන් දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ වෙයි. යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මනස් දූෂණය වී ඇති  ධනපාල, ධර්මවර්ධන, අමරතුූංග ආදී මහත්වරුන්ට ඒ සාපේක්‍ෂතාව නොවැටහෙයි. එහෙත් ඒ මහත්වරුන්ට යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ද එතරම් ප්‍රගුණත්වයක් ලබා ගැනීමට නොහැකි වී ඇත.  

අමරතුංග මහතාගෙන් ලිපියක් නොමැති බැවින් අපට මේ සතියේ ලිපිය ගුරුත්වාකර්’ෂණය පට්ටපල් බොරුවක් ය යන්න පැහැදිලි කිරීමට යොදාගත හැකි ය. මෙහි දී නැවතත් අවධාරණය කළ යුත්තේ මා අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාව ද පට්ටපල් බොරුවක් ලෙස සලකන බව ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්්ෂණය පට්ටපල් බොරුවක් වන්නේ අයින්ස්ටයින්ගේ ප්‍රවාදය සත්‍ය වන නිසා නො වේ. අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණයක් නැති බව කීවේ 1915 දී ය. ඔහු තම ප්‍රවාදය ඉදිරිපත් කෙළේ ම ඒ බව කීමට ය. ඔහු පොල් ගෙඩි වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට වෙනත් ම පිළිතුරක් දීමෙන් ම ගුරුත්වාකර්ෂණය නැති බව ප්‍රකාශ කෙළේ ය. ඔහුගේ පිළිතුර වූයේ පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ කාලයේ වක්‍රතාව නිසා බව ය. ඔහු කිසිසේත් ම ඊනියා ගුරුත්වාකර්ෂණ විභවයක් ගැන සඳහන් නො කෙළේ ය.  ගුරුත්වාකර්ෂණ විභවය නි්ව්ටෝනීය භෞතිකයට අයත් වූවක් මිස සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි කොටසක් නො වේ.

යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හැදී වැඩුණු අයට ඊනියා යථාර්ථයෙන් මිදීම අපහසු ය. ඒ බව තේරුම් ගැනීම නම් අපහසු නො වේ. එකී සංස්කෘතියෙහි දෙවියන් වහන්සේ නම් යථාර්ථය ආත්මීය වශයෙන් හෝ වාස්තවික වශයෙන් හෝ ඇත. ඇතැම් සිංහල බෞද්ධ උගතුනට ද මේ ඊනියා යථාර්ථයෙන් මිදීමට නොහැකි වී ඇත. එයට හේතු දෙකක් වෙයි. එකක් නම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බලපෑම ය. අනෙක අශෝක බුදුදහමෙහි ඊනියා යථාර්ථයක්, ක්‍ෂණවාදයක් හා ධර්මවාදයක් ගැන සඳහන් වීම ය. මේ යථාර්ථ කතාව හේතුවෙන් නිව්ටන් හා අයින්ස්ටයින් අතර ඇති වෙනස දැකීමට ඔවුන්ට නො හැකි ය. අපට ප්‍රත්‍යක්‍ෂ වන්නේ පොල් වැටීම ය. පොල් වැටෙන්නේ ඇයි ද යන්නට නිව්ටන් හා අයින්ස්ටයින් පිළිතුරු දෙකක් දුන්හ. නිව්ටන්ට අනුව එයට හේතුව ගුරුත්වාකර්ෂණය ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ කෙසේ දැයි නො කීවේ ය. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණය ක්‍ෂණිකව එක් අංශුවක් නිසා අනෙක් අංශුව මත ඇති වෙයි. මෙය අයින්ස්ටයින් පසුව ක්වොන්ටම් භෞතික විද්‍යාව අරභයා යොදාගත් වචන අනුව හොල්මන් ක්‍රියාවකි. 

අයින්ස්ටයින් කියා සිටියේ පොල් වැටෙන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව හේතුකොටගෙන බව ය. මේ වක්‍රතාවට මුල් වූ අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වෙයි. මෙය සම්පුර්ණයෙන් ම නිව්ටන්ගේ සූත්‍රගත කිරීමෙන් සංකල්පීයව වෙනස් වෙයි. ඒ වෙනත් කතන්දරයක් මිස නිව්ටන්ගේ කතන්දරය පැහැදිලි කිරීමක් නො වේ. නිව්ටන්ට (ඔහුගේ අනුගාමිකයන්ට අනුව) නිරපේක්‍ෂ අවකාශයක් වෙයි. මේ අවකාශයේ රාමුව අවස්ථිති සමුද්දේශ රාමුවක් (inertial frames of reference) වෙයි.  මේ රාමුවට සාපේක්‍ෂ ව  ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන රාමු ද අවස්ථිති සමුදදේශ රාමු වෙයි. නිව්ටන්ගේ නියම වලංගු වන්නේ මේ අවස්ථිති රාමුවල පමණ ය. නිව්ටන්ට අනුව ද්‍රව්‍ය හා විකිරණ ඇත්තේ නිරපේක්‍ෂ අවකාශයෙහි ය. ඔහුට අනුව නිරපේක්‍ෂ අවකාශය දී ඇත, එහි වස්තු හා විකිරණ වෙයි. මෙම රාමුවෙහි කාලය ද නිරපේක්‍ෂ වන අතර ඒකාකාරීව ගලා යයි. කාලය ඒකාකාරීව ගලා යන්නේ සුපිරි කාලයකට සාපේක්‍ෂව ද ආදී ප්‍රශ්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි පැන නො නැගිණි. නිරපේක්‍ෂ අවකාශ රාමුවෙහි හා එයට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන රාමුවල වස්තු (අංශු) චලනය වන්නේ කෙසේ දැයි නිව්ටන් තම චලිත නියම මගින් විස්තර කෙළේ ය. ඒ රාමුවලට සාපේක්‍ෂව අංශුවකට P බලයක් යෙදුවහොත් එයට P = mf    මගින් දෙන f ත්වරණයක් ලැබෙයි.  මෙහි m යනු අංශුවේ අවස්ථිති ස්කන්ධය වෙයි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි වස්තුවක ස්කන්ධය යනු වස්තුවෙහි ද්‍රව්‍ය ප්‍රමාණය වෙයි. මේ ස්කන්ධය ඊනියා ගුරුත්වාකර්ෂණ ස්කන්ධයට සමාන වෙයි. 

විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවස්ථිති රාමුවල වෙනසක් සිදු නො වෙයි. අවස්ථිති රාමු අවස්ථිති රාමු ම වෙයි. එහි දී අවකාශය හා කාලය වෙන වෙන ම නො පවතී. ඒ අවකාශ කාලය ලෙස පවතියි.  P = mf  යන්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ත්‍රිමාන දෛශිකයක් ලෙස ලියැවෙන අතර විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි එය ආතානකයක් ලෙස ලියැවෙයි. එමෙන් ම යන්න m0 ලෙස ලියැවෙයි.  මෙහි m0 යනු නිශ්චලතා (rest) හෙවත් අවිචලක (invariant) ස්කන්ධය වෙයි. අංශුවක ස්කන්ධය රාමුවෙන් රාමුවට වෙනස් වන අතර, අවිචලක හෙවත් නිශ්චලතා ස්කන්ධය අංශුවෙහි නිශ්චලතා රාමුවෙහි එහි ස්කන්ධය වෙයි.  ඉතා පැහැදිලිව ම නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හෝ විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි හෝ ස්කන්ධය යන්න පැහැදිලි ආකාරයකට අර්ථ නො දැක්වෙයි. අංශුවකට ස්කන්ධයක් ලැබෙන්නේ හිග්ස් බෝසෝනය ඔස්සේ යැයි ක්වොන්ටම් භෞතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් ඒ පිළිබඳව ද  ගැටලු වෙයි. අපි පසු දිනෙක මේ ගැටලු සාකච්ඡා කර මේ හුදු කතන්දර බව පෙන්වමු. යමකුට අවශ්‍ය නම් දැනට ජිම් බැගට්ගේ ෆෙයාර්වෙල් ටු රියැලිටි  (Farewell to Reality) නම් පොත කියවිය හැකි ය. කෙසේ වෙතත් දැනට අපට අවශ්‍ය වන්නේ විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්ථිති සමුද්දේශ රාමු ඇති බවත් එහි ද ද්‍රව්‍ය හා විකිරණ නොමැතිව නිරපේක්‍ෂ අවකාශයක් පවතින බවත් ය.  

අප කලින් ද කියා ඇති පරිදි තරුණ අයින්ස්ටයින් වයස විසිපහේදී විශේෂ සාපේක්‍ෂතාවාදය සූත්‍රගත කෙළේ ය. ඒ වයස මිස ඔහු භෞතික විද්‍යාව ඉගෙනීමට ගත් කාලය නො වේ. ඔහුට මාක් නම් යථානුභූතවාදී (positivist) දාර්ශනිකයාගේ හා භෞතික විද්‍යාඥයාගේ ආභාසය විය. මාක් අවස්ථිති සමුද්දේශ රාමු ප්‍රතික්‍ෂෙප කෙළේ ය. ඒ ඔහුගේ දර්ශනයට අනුකූලව ය. අවස්ථිති රාමු දුටුවකු නැත. සාමාන්‍යයෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවස්ථිති සමුද්දේශ රාමු ගැන කියන්නේ වස්තූන්ගෙන් ඈත පිහිටි රාමු ලෙස ය. තවත් විටෙක ඈත ඈත පිහිටි තාරකාවලට සාපේක්‍ෂව නිසලව ඇති රාමු අවස්ථිති සමුද්දේශ රාමු ලෙස කියැවෙයි. එහි දී ඈත ඈත පිහිටි තාරකා අවස්ථිති රාමුවකට සාපේක්‍ෂව නිශ්චල ව ඇතැයි ද  සැලකෙයි. එහෙත් මේ සියළු අර්ථදැක්වීම් ව්‍යාජ බව පෙනී යයි. ඈත පිහිටි තාරකා යනුවෙන් අදහස් කරන්නේ කොපමණ ඈත පිහිටි තාරකා ද? අපට අනෙක් වස්තූන්ගෙන් ඉතා ඈතට ගොස් අවස්ථිති රාමුවක් අර්ථදැක්විය හැකි ද? මාක් අවස්ථීිති සමුද්දේශ රාමුවලට විරුද්ධවූයේ ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන බැවිනි. අපට එයට තවත් කරුණක් එකතු කළ හැකි ය. අවස්ථිති රාමුවකට නිරීක්‍ෂකයකු ඇතුලු වූ විගස එය තවදුරටත් අවස්ථිති සමුද්දේශ රාමුවක් ලෙස නො පවතියි. නිරීක්‍ෂකයකු නැතිව නිරීක්‍ෂණය කරන්නේ කවු ද? නිව්ටන්ගේ නිරපේක්‍ෂ අවකාශය දෙවියන්වහන්සේගෙන් ගලා එන්නාවූ දි යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා චින්තනයෙහි සංකල්පගත කෙරුණු සංකල්පයකි. මාක් බෞද්ධයකු ලෙස ජීවත් වූ බව අප කලින් කියා ඇත. 

අයින්ස්ටයින් සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කරන විට ඔහුගේ වයස තිස්පහක් විය. ඔහු ඒ වන විටත් භෞතික විද්‍යාව ඉගෙනීමට අවුරුදු විසිපහක් ගතකර නො තිබිණි. මාක්ගේ ආභාසය ලැබූ අයින්ස්ටයින්ට අවශ්‍ය වූයේ ඊනියා අවස්ථිති රාමුවලට කොටු නොවී ඕනෑම රාමුවක වලංගු වන ආකාරයට භෞතික විද්‍යාවේ නියම සූත්‍රගත කිරීමට ය. ඔහුගේ සූත්‍රගත කිරීමට අනුව ද්‍රව්‍ය හා විකිරණ දෙන ලද අවකාශයක (අවකාශ කාලයක) ගෙනැවිත් දමන ලද්දක් නො වී ය. අවකාශ කාලය නිර්ණය කෙරුණේ ද්‍රව්‍ය හා විකිරණ විසිනි. ඒ අනුව ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට අවකාශ කාලයක් තිබිය නො හැකි ය. එහෙත් අයින්ස්ටයින්ගේ සූත්‍රගත කිරීම වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව ඒ එසේ නො වී ය.

අයින්ස්ටයින්ගේ සූත්‍රගත කිරීම ඔහු පසුව එකතු කරන ලද ඊනියා විශ්වවේදී නියතය (චඔසමඔලඔගඉචඅල චඔනසටඅනට) නොමැතිව      Gμυ  = KTμυ   ආකාරයෙන් ලිවිය හැකි ය. මෙහි Gμυ    යනු අවකාශ කාලයේ gμυ  ජ්‍යාමිතිය ඔස්සේ අර්ථදැක්වෙන ආතානකයක් ද, Tμυ  යනු ශක්තිි ගම්‍යතා ආතානකය (energy momentum tensor) ද K නියතයක් ද වෙයි. ආතානක ගැන අවබෝධයක් නැති වුවත් මෙයින් කියැවෙන්නේ දකුණු පැත්ත දුන්විට වම්පැත්ත නිර්ණය වන බව ය. වෙනත් අයුරකින් කිවහොත් අයින්ස්ටයින්ට අනුව ශක්ති ගම්‍යතා ආතානකය දී ඇති විට අවකාශ කාලයේ ජ්‍යාමිතිය ද එමගින් අවකාශ කාලය ද නිර්ණය වෙයි. මෙය නිව්ටෝනීය සූත්‍රගත කිරීමෙන් කෙතරම් වෙනස් ද? නිව්ටෝනීය  ශෞතිකයෙහි දෙන ලද අවකාශයක ද්‍රව්‍ය හා විකිරණ ඇත, අවශ්‍ය නම් ඔබ්බා ඇත. එහෙත් අයින්ස්ටයින්ට අනුව ද්‍රව්‍ය හා විකිරණය අනුව, එනම් ශක්ති ගම්‍යතා ආතානකය දී ඇති විට, අවකාශ කාලය නිර්ණය වෙයි. එහෙත් මේ මාක් හෝ අයින්ස්ටයින් බලාපොරෙත්තු වූ සමීකරණය යැයි කිව නොහැකි ය. එයට හේතුව ඉහත සඳහන් සමීකරණයෙහි දකුණු අත පැත්ත ශූන්‍ය වූ විට ද අවකාශ කාල පැවතිය හැකි වීම ය. වෙනත් වචනවලින් කිවහොත් ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට ද අවකාශ කාල පවතියි. ඒ අතින් බැලූ කල සාධාරණ සාපේක්‍ෂතාවාදය ද අසම්පූර්ණ පද්ධතියකි. එහි සමීකරණවලට මාක්ගේ අදහස්වලට අනුගත වන විසඳුමක් ලබාගැනීමට නම් වෙනත් අවශ්‍යතා (මායිම් අවශ්‍යතා) අමුතුවෙන් දැක්විය යුතු ය. අයින්ස්ටයින් පසු කලෙක ක්වොන්ටම් භෞතිකය පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කෙළේ ඒ අසම්පූර්ණ පද්ධතියක් යැයි කියමිනි. එහෙත් ඔහුගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ද මාක්ගේ අර්ථයෙන් ගත්කල අසම්පූර්ණ පද්ධතියක් වෙයි. 

මෙහි දී පැහැදිලි ව කිවයුතු කරුණු කිහිපයක් වෙයි. අයින්ස්ටයින්ට අනුව ස්කන්ධයක් යනු අවකාශ කාලයෙහි ඇති වක්‍රතාවක් නො වේ. අවකාශ කාලයෙහි වක්‍රතාව ඇති වන්නේ එහි ජ්‍යාමිතිය හේතුකෙටගෙන ය. ද්‍රව්‍ය හා විකිරණවලින් ජ්‍යාමිතිය නිර්ණය වෙයි. එහි දී අයින්ස්ටයින්ගේ ඉහත සඳහන් සමීකරණයෙහි දකුණු පැත්ත මගින් වම්පැත්ත නිර්ණය වෙයි. දකුණු පැත්තේ ශක්ති ගම්‍යතා ආතානකය දී ඇති විට වම් පැත්තෙන් කියැවෙන පරිදි අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය හා එනයින් වක්‍රතාව ලැබෙයි. එනම් ස්කන්ධ දී ඇති විට අවකාශ කාලය ලැබෙනු විනා අවකාශ කාලයෙන් ස්කන්ධ නිර්ණය වීමක් හෝ පෙනෙන්නට වීමක් හෝ නො මැත. මෙසේ නිර්ණය වූ අවකාශ කාලයක බලයක් ඒ මත ක්‍රියා නොකරන වස්තු භූමිතිකවල චලනය වෙයි. පොළොව මගින් නිර්ණය වන අවකාශ කාලයෙහි පොල්ගෙඩි  භූමිතිකවල චලනය වෙයි. වැටෙන පොල්ගඩිය මත ක්‍රියාකරන ගුරුත්වාකර්ෂණ හෝ වෙනත් කිසිම බලයක් හෝ නැත. භූමිතිකයක්  යනු නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි සරල රේඛාවකි. බලයක් ඒ මත ක්‍රියා නොකරන වස්තු (අංශු) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අවස්ථිති රාමුවල ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවල චලනය වෙයි. ත්වරණය වන රාමුවල වස්තු සරල රේඛාවලට වඩා සාධාරණ වූ භූමිතිකවල චලනය වෙයි. මෙය රාමු දෙකක් පිළිබඳ කතාවකි. 

නලින් ද සිල්වා

2016 ජනවාරි 25