History

Monday, 15 February 2016

සිංහල බෞද්ධ චින්තනය හා ජාතික ගීය (2016 පෙබරවාරි 14 රිවිර ලිපියෙහි මුල් පිටපත )

සිංහල බෞද්ධ චින්තනය හා ජාතික ගීය

මට පුවත්පත්වලට ලිපි සැපයීම ගැන නැවත සිතීමට සිදු වී ඇත. අවුරුදු තිහක පමණ කාලයක් මා ලියූ ලිපිවලින් ප්‍රතිඵලයක් ලැබී නැති බව පැහැදිලි ය. ඒ ගඟට ඉණි කැපීමක් විය.  මේ ලිපි කියවන්නන් පිරිස ඉතා අල්ප ය. ලිපි නොකියවීමට හේතුව මා කිසිම දෙයක් අළුතෙන් නොකීම යැයි පැවසෙයි. ඔවුන්ට අනුව මා සැමදාමත් කියන්නේ එකම කරුණ ය! ඇතැමුනට අනුව එක්තරා ඉරිදා පුවත්පතක අලෙවිය පහත වැටණේ ප්‍රධාන වශයෙන් ම මගේ ලිපි පළකිරීම නිසා ය. ඉරිදා රිවිර පුවත්පතට එවැනි ඉරණමක් අත් නො වේවා යැයි පතමි. 


මා 1968 දෙසැම්බර අග එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ බටහිර විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙනි. මා සිතා සිටියේ මා ද’ක්‍ෂ ශිෂ්‍යයකු බව ය. එහෙත් අවුරුද්දක් යෑමට පෙර මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව අවබෝධ විය. එකල එයට හේතුව කුමක් දැයි අවබෝධ නොවූ නමුත් මා පසුව (අසූවේ දශකයේ මුල් භාගයේ) වටහාගත්තේ මට බටහිරයන්ගේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යම් ප්‍රමාණයකට ක්‍රියා කළ හැකි වුව ද එහි ප්‍රවාද සංස්කරණය කිරීමට නොහැකි බව ය. ඒ දශකයේ ම අග වන විට මම බටහිර විද්‍යවෙන් සම්පුර්ණයෙන් ම කැඩුනෙමි. මා ඉන්පසු බටහිර විද්‍යාවේ ඊනියා පර්යේෂණ කෙළේ මගේ උපදේශකත්වය ලබාගත් සිසු සිසුවියන් වෙුනුවෙන් ය. 

මා අසූවේ දශකයේ සිතා සිටියේ මට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද සංස්කරණය කිරීමට හැකි බව ය. ප්‍රවාද සංස්කරණය සිංහල බෞද්ධ සංස්කෘතියේ කටයුත්තක් නොවූව ද බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීම සඳහා, නැවතත් ආධ්‍යාත්මික ව දැනුම සංස්කරණය කිරීමට අප හුරුවන තෙක්, බටහිරයන්ගේ ක්‍රමයට ම දැනුම සංස්කරණය කිරීමට අවශ්‍ය යැයි ආධ්‍යත්මික ව දියුණු වූ හෝ උසස් වූ හෝ නොවූ මම සිතුවෙමි. එහෙත් එසේ දැනුම සංස්කරණය කළ යුත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොව සිංහල බෞද්ධ චින්තනය (ජාතික චින්තන අදහස සමග මෙහි ගැලපුමක් නැත) මත පදනම් ව යැයි මම සිතුවෙමි. එහෙත් මට ඒ ඒත්තුගැන්වීමට නො හැකි විය. එයට එක් හේතුවක් වනුයේ මගේ අදක්‍ෂකම විය හැකි ය. එහෙත් ප්‍රධාන හේතුව සිංහල බෞද්ධ චින්තනයට ප්‍රවාද සංස්කරණය පටහැණි වීම ය. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියා දෙන්නේ ප්‍රවාද කෙරෙහි නොව ප්‍රත්‍යක්‍ෂය ගැන විශ්වාසය තැබීමට ය. මා කියන්නේ කුමක් ද යන්නවත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ට ගෝචර නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ප්‍රතික්‍ෂෙප වී ඇත. මට යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රවාද සංස්කරණය නොහැකි බව අවුරුද්දකින් තේරුම් ගැනීමට හැකි වුවත් ප්‍රවාද නොමැති සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ප්‍රතික්‍ෂෙප වී ඇති බව තේරුම් ගැනීමට අවුරුදු තිහක් ගත විය! ප්‍රවාද නොමැති සිංහලයනට අමරසේකර මහතා සඳහන් කරන ජාතික චින්තනය යන්න විෂය වුවත් චින්තනය යන්න ගෝචර නො වේ. ඇතැමුන්ට අනුව මම ද ජාතික චින්තකයෙක්මි!

කෙසේ වෙතත් මම දැනුම ලබාගැනීම සඳහා යම් ආධ්‍යත්මික තත්ත්වයක් ඇතිකර ගත් පුද්ගලයන්ගේ ආධාරය ලබාගත්තෙමි. කෘෂිරසායනික වකුගඩු රෝගය හා සම්බන්ධ ආසනික් පිළිබඳ දැනුම එලෙස ලබාගත්තකි. මෙරට සිටින බටහිර විද්‍යාව කටගාගත් පුද්ගලයෝ මට විරුද්ධව අවි ගත්හ. කිසිම ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ ඉදිරිපත් කර නොමැති ඔවුහු මට තර්ජනයක් නො වූහ. කෙසේ වෙතත් ප්‍රවාද යනු වියුක්ත සාධාරණීකරණය වූ කතන්දර වෙයි. බටහිර දැනුමෙහි ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ දී සාධාරණ වූ (පොදු) කතන්දරයක්  ගොඩනගනු ලැබෙයි. එසේ කතන්දර ගෙතීමේ දී හැකිතාක් ප්‍රශ්නයේ මුලට යෑම ප්‍රවාද සංස්කරණය කරන්නන්ගේ සිරිත වෙයි. මුලට යෑමෙන් ඉහළට ම ගියේ ඇල්බට් අයින්ස්ටයින් ය. අවුරුදු පහළොවේ පමණ සිට මම ඔහුගේ හෝ ඔහු සම්බන්ධ හෝ පොත් පාසල් පුස්තකාලයෙන් රැගෙන කියවීමට පුරුදු වීමි. එහි අඩංගු ඇතැම් කරුණු මට එකල අවබෝධ නො වීය. අවකාශය හා කාලය සම්බන්ධ ඉතා මූලික කරුණු ඔහු ප්‍රශ්න කෙළේ ය. 

සිංහල බෞද්ධ චින්තනයට ප්‍රශ්නයක ඈත මුල්වලට යැම  ද, ප්‍රවාද සංස්කරණය මෙන් ම නුහුරු ය. විශ්වයේ මුල සෙවීම සංසාරයේ මුල සෙවීම ආදිය සිංහල බෞද්ධයෝ ප්‍රතික්‍ෂෙප කරති. සිංහල බෞද්ධයන් බොහෝ විට ජීවත්වන්නේ වර්තමානයෙහි ය. අතීතය ගෙවී ගොස් ඇත. අනාගතය තවමත් පැමිණ නැත. අපි මේ මොහොතේ කළ යුත්ත කරමු. ගඟ හත්ගවුවක් තබා අමුඩ නොගසන ලෙස අපට සංස්කෘතියෙන් ඉගැන්වෙයි. මා තැත් කෙළේ හත්ගවුවක් කෙසේ වෙතත් ගවුවක්වත් තබා අමුඩ ගැසීමට ය. එහෙත් අපේ සංස්කෘතිය විසින් ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. අපි ඉතා මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගනිමු. 2015 නොවැම්බර් මස කුප්‍රසිද්ධ ආප්ප රාත්‍රියෙහි දී ශ්‍රී ල නි පක්‍ෂය ද ඒ සමග එක්සත් ජනතා නිදහස් සංධානය ද මරා දැමිණි යැයි මම සිතමි. එබැවින් වෙනත් පක්‍ෂයක් බිහිකිරීමේ අවශ්‍යතාව මට අවබෝධ විය. පසුගිය අගෝස්තු මස පැවති මැතිවරණයට වෙන ම තරග කළ යුතු යැයි මම කීවෙමි. එය ගඟ හත්ගවුවක් තබා අමුඩ ගැසීමක් වන්නට ඇත. එබැවින් දෝ සංධානයේ නායකයෝ එයට විරුද්ධ වූහ. ඔවුහු ගඟ අසළට පැමිණෙන තෙක් සිටියහ. දැන් ඔවුන්ට නව පක්‍ෂයක් අවශ්‍ය වී ඇත. එය වැඩිකල් නොගොස් බිහිවේවා යැයි ද එය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වේවා යැයි ද මම පතමි. 

එහෙත් කිව යුත්තක් වෙයි. අද ඒකාබද්ධ විපක්‍ෂයට නොයෙකුත් ප්‍රශ්න ඇති වී තිබෙන්නේ එදා සංධානයෙන් පිට වී වෙනත් පක්‍ෂයක් හෝ කණ්ඩායමක් හෝ ලෙස ඔවුන් කටයුතු නොකළ බැවිනි. ඔවුන් එදා ජාතිකත්ව පදනමකින් වෙන ම තරග කෙළේ නම් බොහෝ විට ජයගැනීමට තිබිණි. අඩුම තරමෙන් ඔවුන්ට විපක්‍ෂ නායකකමවත් ලැබීමට තිබිණි. ඒ බව සංධාන නායකයන් අදත් නොපිළිගනු ඇත. එහෙත් අද ඔවුහු සම්බන්ධන් හා අනුර දිසානායක යන එ ජා පක්‍ෂයේ ආධාරකරුවන් යටතේ විපක්‍ෂයේ ලැගුම් ගනිති. මා මෙය කියන්නේ මා නිවැරදි වීය යනුවෙන් පුරසාරමක් දෙඩීමට නො වේ. අප කැමති වුවත් නැතත් අපට වැඩකිරීමට සිිදු වී ඇත්තේ රෝම ලන්දේසි නීතියට යටත්ව එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි ය. සිංහල බෞද්ධයන් රාජසභාවක් පිහිටුවා තම සිරිත් (නීති) පද්ධතියක් සකස් කර, අවශ්‍ය නම් බටහිරින් ද දැනුම අවශෝෂණය කර, තමන්ගේ නීතිපතිවරයකු (සිරිත් ලේනා) පත්කරගන්නා තෙක් රෝම ලන්දේසි නීතියෙහි හා ඉංගිරිසි පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි ක්‍රියාත්මක විය යුතු ය. 

එහෙත් භික්‍ෂු විනය රෝම ලන්දේසි නීතියෙන් බැහැර කළ යුූතු ය. ඊනියා කතිකාවතට විරුද්ධ භික්‍ෂූන් වහන්සේ ද මෙය අවබෝධ කරගෙන නැත. ඉංගිරිසිහු ගඟ හත්ගවුවක් තබා පිහිනුම් ඇඳුම් ඇඳගනිති. එනම් ඔවුහු ප්‍රවාද මත පදනම් ව සැලසුම් කරති. සිංහල බෞද්ධයෝ අමුඩ නැතිව ඉංගිරිසි ගඟේ ගිලී මිය යති.  කෙතරම් ඉංගිරිසිය ගැන කතා කළත් ඔවුන්ට ගඟ (ඉංගිරිසි සම්ප්‍රදාය හා ඉංගිරිසි පද්ධති හා පිළිවෙළ) ගැන තේරුමක් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හුසේන් මහා කොමසාරිස් පැමිණ ජෙනීවා යෝජනා ක්‍රියාත්මක කරන බව වෙනත් වචනවලින් පැවසී ය. මෛත්‍රිපාල සිරිසේන සිංහල බෞද්ධයන් රැවටීමට කුමක් කීවත් දෙමුහුන් අධිකරණය පිහිටුවනු ඇත. අද අපි බටහිරයන් හා ඉන්දීයයන් කියන ආකාරයට යටත්විජිතවැසියන් සේ කටයුතු කරමු. එහෙත් බොහෝ සිංහලයනට ඒ ගැන තේරුමක් නැත. ඒකාබද්ධ විපක්‍ෂය මේ කොමසාරිස් හමුවීමට උත්සාහ දැරුවේ අහවල් දෙයකට ද? ආණ්ඩුව එයට ඉඩ නොදීම නිසා ඒකාබද්ධ විපක්‍ෂය හෑල්ලු වී ඇත. 

දැන් කතාබහට ලක්වන ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නය ගනිමු. පසුගිය නිදහස් දින උත්සවය අවසානයේ ජාතික ගීය දෙමළෙන් ගැයු බව කියැවෙයි. එය වැළැක්වීමට චම්පක රණවකට නොහැකි වූ බවත් ඔහු එයට විරුද්ධව උත්සවයට සහභාගි නොවූ බවත් සඳහන් වෙයි. චම්පක සිරිසේනට එකතුවීම පිළිබඳ ඇතැමුන් දැරුවේ සුභවාදී ආකල්පයකි. ඔහු ආණ්ඩුවේ සිටින තාක් සිංහලයන්ට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි යැයි ඔවුහු කීහ. එහෙත් ඒ එසේ නොවන බව අපි කීවෙමු. ජනබලයක් නැති චම්පකට එංගලන්තයට හා ඉන්දියාවට විරුද්ධව කළ හැකි කිසිවක් නොමැති බව අපි දැන සිටියෙමු. මේ ආණ්ඩුව ඇති කෙළේ ඔහුවත් සාධාරණ සමාජකාරයන් ඇතුළු සිවිල් සමාජයවත් නො වේ. ඔවුහු ඉත්තෝ පමණක් වූහ. ආණ්ඩුව බිහිකිරීමට මුල් ව කටයුතු කෙළේ ඉන්දියාව හා එංගලන්තය ය. එය ද මා අපේ ප්‍රවාද ඇසුරෙන් ලබාගත්තකි. එහෙත් ප්‍රවාද නොරිසි සිංහල බෞද්ධයෝ ඒ නො පීිළිගනිති. එහෙත් කිව යුත්තක් වෙයි. සාධාරණ සමාජකාරයන් වෙත චම්පක යෑමට පෙර විමල් වීරවංශ ගියේ ය. ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ලේ දී ඔහුගේ පක්‍ෂය සංධානයෙන් වෙන් වී තරග කර රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි ව පළමු වෙඩි මුරය තැබී ය. උදය ගම්මන්පිළ ලෙන් දොර බිඳීමට හවුල් විය. ඔහු ඒ වසා දැමුවේ දැයි නො දනිමි.

ජාතික ගීය ගැන කතාකරන බොහෝ දෙනාට ව්‍යවස්ථාව හා නීතිය ගැන අවබෝධයක් නැත. නිල ජාතික ගීය සම්මත කෙරුණේ 1951 දී ය. එබැවින් 1949 දී ජාතික ගීය දෙමළෙන් ගැයූ බව කිව නො හැකි ය. එකල නමෝ නමෝ මාතා දෙමළෙන් ගයන්නට ඇත. එහෙත් එදා සිංහලෙන්වත් ගැයීමට සම්මත නිල ජාතික ගීයක් නො වී ය. අද ජාතික ගීයක් ඇත. එය ඇත්තේ සිංහලෙන් පමණකි. 1978 ව්‍යවස්ථාවේ හත්වන ඡෙදයට අනුව ජාතික ගීය ශ්‍රී ලංකා මාතා වෙයි. එහි වචන හා ස්වර ව්‍යවස්ථාවෙහි තුන්වැනි උපලේඛණයෙහි සඳහන් වෙයි. ඒ වචන ඇත්තේ සිංහලෙනි. ව්‍යවස්ථාවෙහි දෙමළ හා ඉංගිරිසි පරිවර්තන ද වෙයි. ඒ පරිවර්තන පමණකි. ව්‍යවස්ථාව දෙමළට හෝ ඉංගිරිසියට හෝ පරිවර්තනය කිරීමේ දී අන්තර්ගතය පමණක් පරිවර්තනය කළ යුතු ය. එහි ඇති ජාතික ගීය දෙමළට හෝ ඉංගිරිසියට හෝ පරිවර්තනය කිරීමට නො හැකි ය. ජාතික ගීයේ දෙමළ පරිවර්තන තිබිය හැකි ය. එහෙත් ඒ පරිවර්තන ව්‍යවස්ථාවට ඇතුළත් නොකළ යුතු ය. ජාතික ගීයේ ඉංගිරිසි පරිවර්තනයක් ව්‍යවස්ථාවෙහි ඉංගිරිසි පරිවර්තනයෙහි ඇතුළත් නො වේ. එසේ නම් එහි දෙමළ පරිවර්තනයක් ව්‍යවස්ථාවෙහි දෙමළ පරිවර්තනයෙහි අඩංගු වන්නේ කෙසේ ද? මේ දෙමළ පරිවර්තනය එසේ අඩංගු කළ තැනැත්තන් සොයා බලා ඔවුනට එරෙහි ව රාජද්‍රෝහි හා රාෂ්ට්‍රද්‍රෝහි චෝදනා යටතේ නඩු පැවරිය යුතු ය. 

දහනවවැනි සංශෝධනයට අනුව (48 වැනි වගන්තිය) ද ව්‍යවස්ථාවෙහි සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇත්නම් එවිට සිංහල පාඨය බලපවත්වයි. මෙයින් කියැවෙන්නේ දෙමළ පරිවර්තනයෙහි ඇති ඊනියා දෙමළ ජාතික ගීය බලනොපවත්වන බව ය. නිදහස් දා දෙමළෙන් ගායනා කර ඇත්තේ දෙමළ ජාතික ගීයක් නො වේ. එහෙත් අප එයින් සැනසිය යුතු නො වෙයි. දෙමළ ගීය නිදහස් දින උත්සවයේ අග දී ගැයීම ගැන විරුද්ධතාවක් මතු වී ඇත. ලබන වසරේ දී එය උත්සවය ආරම්භයේ දී ගයනු ඇත. පසුව සිංහල හා දෙමළ වචන කළවම් කර හෝ ඔපෙරා ශෛලියෙන් හෝ ගායනා කිරීමට ඉඩ ඇත. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට ය. 

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 11