History

Sunday, 21 February 2016

සිංහල සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය (2016 පෙබරවාරි 21 රිවිර ලිපිය)

සිංහල සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය

සිංහල සංස්කෘතිය යනු කුමක් ද? මා ලියන්නේ හා කියන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන දිනාගැනීම සඳහා ය. එහෙත් අභාග්‍යයකට මා සිංහල සංස්කෘතිය විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. ඒ ප්‍රවාද ගෙතීම සම්බන්ධයෙනි. මා සංස්කෘතිය ගැන කතාකරන විට ව්‍යාජ ධාර්මිකයන් අසන්නේ මා එකී සංස්කෘතියෙහි අයිතිකරු ද කියා ය. ඔවුන් එසේ අසන්නේ, ඒ මා එසේ නොවන බව, එවැන්නන් එවැනි ප්‍රශ්න අසන බව දන්නා හෙයින් ම, ලිවීමෙන් පසුව ය. අපට නොතේරුනත් අප ජීවත්වන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක ය. ඒ ආධිපත්‍යය අප මත කලාව, විද්‍යාව ආදිය පමණක් නොව ආගම ඔස්සේ පැටවෙයි. නිර්මල සංස්කෘතියක් ලොවේ කොතැනකවත් නැත. සංස්කෘතිය ද වෙනස් වෙයි. ඒ ක්‍රම කිහිපයකින් සිදුවෙයි. සංස්කෘතියක වෙසෙන්නන් තම නිර්මාණ මගින් අලුත් දේ එකතු කර සංස්කෘතිය වෙනස් කරනු දැකිය හැකි ය. ඇතැම් අවස්ථාවල සංස්කෘතියක වෙසෙන්නන් විසින් වෙනත් සංස්කෘතියක ඇති යමක් අවශෝෂණය කෙරෙයි. තවත් අවස්ථාවල වෙනත් සංස්කෘතියක ආධිපත්‍යය යටතේ සංස්කෘතියක් වෙනස් කෙරෙයි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ සිංහල සංස්කෘතිය වෙනස් කෙරී ඇත. 


බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය අපට නොතේරෙන්නේ ඇතැම් විට වහලුන්ට තම වහල්භාවය නොතොරෙන්නාක් මෙනි. අද මෙරට අධ්‍යාපනය මුලුමනින් ම යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ සිදුවෙයි. එහෙත් ඒ බව අපට නොතේරෙයි. අප සිතන්නේ මේ අධ්‍යාපනය අපේ කියා ය. එහෙත් මෙය පළමුව ලන්දේසීන් විසින් ඇතිකර පසුව ඉංගිරිසින් විසින් ඉතා ක්‍රමානුකූල ව අප මත පටවන ලද්දකි. අපේ බොහෝ පාසල්වල ශිෂ්‍යයෝ උදේට පන්සිල් ගෙන දවල්ට නරසීහ ගාථා කියා විසිර යති. එහෙත් ඒ අතර යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබති. ඉංගිරිසි පාලනය යටතේ මෙරට පළමු ප්‍රධාන පාසල් පරීක්‍ෂක (අද නම් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරල්) වූයේ මෙරට එංගලන්ත සභාවේ (ඇංග්ලිකන් පල්ලියේ) ප්‍රධාන පූජකවරයා ය. අද වන විට ඉංගිරිසි හා ඇමරිකන් අධ්‍යාපනය මත අපේ යැපීම තවත් වැඩි වී ඇත.  

අපි අද අප නොවන අප බවට පත්වී සිටිමු. අපට ඉංගිරිසින්ගෙන් (බටහිරයන්ගෙන්) විද්‍යාව, කලාව, නීතිය, කළමනාකරණය ආදිය ඔස්සේ අහවල් අහවල් දේ නිවැරදිය ඒ කළ යුතු ය යනුවෙන් ආඥා ලැබෙයි. ඒ ආඥා ය. එහෙත් අපට ඒ ආඥා බව නොතේරෙයි. අපට ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියා දෙනු ලැබේ. ඒ කුමක් දැයි ඇසුවහොත් බොහෝ දෙනා පරීක්‍ෂණය නිරීක්‍ෂණය, නිගමනය ආදී වශයෙන් වැල්වටාරමක් කියති. එහෙත් මේ එකකවත් ඔය කියන දේ ක්‍රියාත්මක නො වේ. නිගමන යනුවෙන් දෙයක් ඇති බව නිගමනය කරන්නේ කෙසේ ද? නිගමන නීති අපට ලැබෙන්නේ කෙසේ ද? පරලොව යන්නේ තමාත් නොව අනෙකෙකුත් නොවන බව අපට යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඇරිස්ටෝටලීය න්‍යායෙන් නිගමනය කළ හැකි ද? ං=ඹ හා ඹ=ඡ නම් ං=ඡ බව අප නිගමනය කරන්නේ කෙසේ ද? ඒ ප්‍රතිඵලය යොදාගෙන වෙනත් දේ නිගමනය කළ හැකි නමුත් ඒ ප්‍රතිඵලය නිගමනය කරන්නේ කෙසේ ද? මට ගණිතය නොතේරෙන නිසා ම මේ ප්‍රශ්නය අසමි. 

එහෙත් අවාසනාවකට සිංහල බෞද්ධයෝ ප්‍රශ්නවල මුලට නොයති. සිංහලයන් මත ආධිපත්‍යය පැටවීම ඉතා පහසු ය. සිංහලයෝ තමන්ට දී ඇති නීති අනුගමනය කරති. ඒ නීති ප්‍රශ්න නොකරති. බටහිර විද්‍යාවේ දී සිංහලයන් කරන්නේ අනුකරණය හා අනුකරණය ම පමණකි. සංගීතයේ ඊනියා නිර්මාණ කෙරෙන බව සැබෑ ය. එහෙත් ඒ නිර්මාණ ද යන්න ප්‍රශ්නයකි. මෙරට ආධිපත්‍යය ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ය. මේ සම්බන්ධ හොඳම උදාහරණය පසුගිය දා කිෂානි ජයසිංහ මහත්මියගේ ගායනයක් ගැන සංඛ අමර්ජිත් මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඒ මහතාගේ වැඩ තහනම් කිරීම ය.  

සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ  බුදුන්ගේ  ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි  බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය. ඔහු කිසි විටෙකත් කිෂානි ජයසිංහ බැළලියක් යැයි නො කීවේ ය. එහෙත් ඇතැම් දේශපාලනඥයෝ ජනමාධ්‍යවේදීන්ට විවිධ සත්ත්වනාම පටබඳිති. එයට ජනාධ්‍යවේදීන්ගෙන්වත් විරෝධයක් මතු නො නො වේ.

සොප්‍රානෝ යන්න සිංහල උගතුන් අතර වඩාත් භාවිතාවන්නේ සැමරීමට නිදහසක් නැති දිනයේ කිෂානි ජයසිංහ දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීමෙන් පසුව ය. ඒ දිනයට නම් අපේ යටත්විජිතබව ප්‍රකාශ කිරීම සඳහා ඒ උචිත ගායනයක් විය.  සොප්‍රානෝ යනු ඉතාම තීව්‍ර ස්වරයේ සම්භාව්‍ය ගායිකා කටහඬකි. එය බටහිර සංගීතයට අනුව මිඩ්ල් සී හා හයි ඒ අතර හෝ සොප්‍රානෝ සී හි හෝ පිහිටන්නේ යැයි කියැවෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි මේ ප්‍රාන්තර සංඛ්‍යාත මගින් ප්‍රකාශ වෙයි. විවිධ ක්‍ෂෙත්‍රවල ඉහළ තලවලට සොප්‍රානෝ තල යැයි කීම උචිත යැයි සිතමි. කිෂානි ජයසිංහ සොප්ර්නෝ කටහඬකින් ඔපෙරා ශෛලියේ ගායනා ඉදිරිපත් කරයි. ඇය පසුගිය දා දන්නෝ බුදුන්ගේ ගීතය එසේ ඉදිරිපත් කර ඇත. අනුරූප ගායකයෝ සොප්‍රානිස්ට් ලෙස හැඳින්වෙති. එහෙත් අපි අදාළ තලය සොප්‍රානෝ නමින් ම හඳුන්වමු. එක් ධාර්මික පඬියකු අසා තිබුණේ ගායකයන්ගේ කටහඬ සමකරන්නේ අලියන්ගේ කුංචනාදයට ද කියා ය. පඬියා පංඩිතමානීව සංඛගේ වරදක් සෙවීමට ඒ ප්‍රශ්නය ඇසුව ද ඔහු කියන දෙය  නිවැරදි විය හැකි ය. සිංහල සංස්කෘතියට එවැනි ගායකයන්ගේ කටහඬ ඇසෙන්නේ කිනම් ආකාරයකට ද යන්න සොයා බැලිය යුතු ය.

ඇතැමුනට සංස්කෘතියට අවශෝෂණය කෙරෙයි යන්න තේරී නැත. ඇතැම් සොප්‍රානෝලාට ජන ගී නො තේරේ. ඇතැමුනට සිංහල සංස්කෘතිය විසින් කිෂානි ජයසිංහගේ ගායනය බැළලියකගේ කෑ ගැසීමට සම කෙරෙයි යැයි මා කී දේ දිරවා ගත නොහැකි වී ඇත. දන්නෝ බුදුන්ගේ ගීතය සිරිසඟබෝ නූර්තියෙහි ගැයීමට පෙර ඇතැම් වචන වෙනසක් සහිත ව ගායනා කර ඇතැයි කියැවෙයි. ඒ මුල් ම ගීතයෙහි ඇතැම් වචන වෙනස්කර දන්නෝ බුදුන්ගේ ගීතය රචනා කෙරී ඇත. ඒ ගීතයට සංගිතය නිර්මාණය කෙරී ඇත්තේ විශ්වනාත් ලෞජි නම් ඉන්දීය සංගීතඥයකු බවත් ඔහු සුප්‍රසිද්ධ ජර්මන් ඔපෙරා සංගීතඥයකු වූ වැග්නර්ගේ නිර්මාණයක් ආභාසය කර ගත් බවත් දන්නෝ බුදුන්ගේ ගීත පුරාණයෙහි සඳහන් ය. ඉතාලි හා ජර්මන් ඔපෙරා සංගීතඥයෝ කතෝලික චින්තනයෙන් මුලුමනින් කැඩුණු ඉංගිරිසින්ට වඩා ද’ක්‍ෂයෝ වෙතැයි කියැවේ. ඉතාලියේ හා ජර්මනියේ තවමත් කතෝලික චින්තනයේ නෂ්ටාවශේ’ෂ වෙයි. ඔපෙරා බිහිවී ඇත්තේ කතොලික චින්තනයෙහි ය.

අප එකිනෙකාගේ සංස්කෘතීන් වෙනස් ය. ඇඳුම් පැලඳුම් ආහාර පාන ගෙවල් දොරවල් වාහන ආදිය පමණක් නොව ආකල්ප, රසාස්වාදනය, භාෂා උච්චාරණය, වියුක්තව සිතීම ආදී මානසිකාර ද පුද්ගලයකුගේ සංස්කෘතියට අයත් ය. ජනසමාජයක, ජනවර්ගයක, ජාතියක සංස්කෘතිය යනු එයට අයත් පුද්ගලයන්ගේ සංස්කෘතීවල මහා පොදු සාධකය වෙයි. එවැනි ජන සංගයක සංස්කෘතිය සමජාතීය නොවන බව පැහැදිලි ය. එකිනෙකාගේ සංස්කෘති වෙනස් ය. එහෙත් ජන සංගයට සංස්කෘතික මහා පොදු සාධකයක් ඇත. ඇතැම් සංස්කෘතිකාංග ජනසංගයක බොහෝ දෙනකු අතරට යයි. අද සිංහල සංස්කෘතියෙහි දෙරණෙහි පේෂලගේ වැඩ සටහන සිංහල ජනසංගය පුරා ම මෙන් විහි දී ඇත. එහෙත් කිෂානි ජයසිංහගේ ගායනය එසේ පැතිර නො යයි. එය රස වින්දත් නැතත් සොප්‍රානෝලාට පමණක් සීමා වෙයි. ඇතැම් සොප්‍රානෝලා තමන්ට ඒ රස විඳිය නොහැකි වුවත් රස විඳීමට හැකි බව අඟවති!  

සිංහලයන් දෙමළ ගීත ද සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ඇත. නූර්ති පමණක් නොව පසුව නාඩගම් ද අපට ලැබුනේ ඉන්දියාවෙන් ය. අම්බලන්ගොඩ දී නාඩගම් සිංහල විය. ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ තනුව අනුව දෙමළෙන් ගැයෙන ගීයක් මා අසා ඇත.  එය අවුරුදු එකසිය පනහකට පමණ පෙර කතෝලික පල්ලිවල ගායනය කරන ලද්දක් යැයි කියැවෙයි. එහෙත් එය සිංහල නාද රටාවලට සමීප ව ගායනය වෙයි. විවිධ ශෛලිවලින් ගායනා කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ පමණක් නොව කේමදාසගේ ද සංගිතය සිංහල ජනසමාජය (අඩු තරමෙන් මධ්‍යම පංතිකයන්) විසින් වැළඳ ගනු ලැබුයේ ඒ සිංහල නාද රටා සමග සමීප වූ විට ය. අනෙක් අවස්ථාවල ඒ සමාජයෙන් ප්‍රතික්‍ෂෙප විය. සරචචන්ද්‍රගේ ද මනමේ සිංහබාහු ජනප්‍රිය වූ නමුත් අමරදේච සංගීතය සැපයූ ශෛලිගත නාට්‍යය ප්‍රතික්‍ෂෙප විය. කේමදාසගේ මානසවිල බොහෝ කලකට පෙර ම ඉතිහාසයට එක් විය. මානසවිල ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති මා ද කතාකළ සම්මන්ත්‍රණයක් අතර කේමදාස අපට බැණ බැණ පිට වී ගියේ ය. අප සංගීතය හදාරා නැත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ප්‍රතික්‍ෂෙප වන්නේ කුමක් දැයි අපට කිව හැකි ය. මෙයින් කියන්නේ අප සිංහල සංස්කෘතියෙහි භාරකරුවන් හෝ උරුමක්කාරයන් හෝ බව නො වේ. එහෙත් සොපර්නෝලාට වඩා අප සිංහල සංස්කෘතියට සමීප ය. සිංහල සංස්කෘතියෙන් අප ප්‍රතික්‍ෂෙප වන්නේ ප්‍රවද ගෙතීම සම්බන්ධයෙනි. 

කිෂානි ජයසිංහට හැකිනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවී අනුකරණය නොකර ඔපෙරා සිංහල සංස්කෘතියට අවශෝෂණය කළ යුතු ය. එ කෙතෙක් දුරට කළ හැකි දැයි මම නො දනිමි.  නැතහොත් ඇයගේ ගායනය සිංහල සංස්කෘතියෙහි (මහා පොදු සාධකයෙහි) බැළළියකගේ කෑ ගැසීමට සමවෙයි. ඇයගේ දන්නෝ බුදුන්ගේ ගායනයෙන් මට අනුරාධ නගරය නොපෙනී ගියේ ය. මට පෙනුණේ ලන්ඩන් නගරය ය.  අවශෝෂණයෙහි ප්‍රශ්නයක් නැත. අප විරුද්ධවන්නේ සංස්කෘතික ආධිපත්‍යයක් යටතේ අනුකරණය කිරීමට ය. මා සිංහල සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ එහි සොප්‍රානෝ තලය නොව එහි මහා පොදු සාධකය බව ධර්ම නමින් පෙනී සිටින ව්‍යාජ පඬියන්ගේ දැනගැනීම සඳහා කිව යුතු ය.

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 18