History

Sunday, 13 March 2016

ගුරුත්වාකර්ෂණය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමය හා විදුසර කතෘගේ ආධාරයෙන් අමරතුංග පළා යෑම

ගුරුත්වාකර්ෂණය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමය

හා

විදුසර කතෘගේ ආධාරයෙන් අමරතුංග පළා යෑම 

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය මාර්තු 03 වැනි දා ලිපියෙන් කාල නීර්ණය ගැන කතාවකට ද මග පාදා ගෙන ඇත. අප ඒ මහතාගේ සුදුසුකම් සෑම ලිපියක ම මුල සඳහන් කරන්නේ ඒ මහතා ඇගයීම සඳහා ය. ඒ මහතා තම ලිපි අවසානයේ දී තම සුදුසුකම් අපට නිතර නිතර මතක්කර දෙන්නේ ඒ මහතා තම සුදුසුකම් පිළිබඳ ඇගයීමක් කරන බැවින් යැයි සිතමි. අමරතුංග මහතා තමා ගැන ඇගයීමක් කරන්නේ නම් අප ද ඒ මහතාට ඒ ඇගයීම ලබාදීම නුසුදුසු යැයි මම නො සිතමි.


කෙසේ වෙතත් අමරතුංග මහතාගේ ලිපි මට සිහිගන්වන්නේ මැක්කාගේ කතාව ය. පාසල් ශිෂ්‍යයකු රචනය සඳහා තමාට ගුරු මහතා කිනම් මාතෘකාවක් දුන්න ද සෑම විට ම මැක්කා ගැන ලිවී යැයි සඳහන් වෙයි. උදාහරණයක් ලෙස එළදෙන ගැන රචනයක් ලිවීමට කී විට සිසුවා එළදෙනගේ ඇඟේ මැක්කකු සිටී යැයි සඳහන් කර මැක්කා ගැන ලියයි. අමරතුංග මහතා කළ යුතුව තිබුණේ මා විද්‍යාව පට්ටපල් බොරු බවට ගෙනෙන තර්ක හා කරුණු සාවද්‍ය බව පෙන්වීම ය. එහෙත් ඒ වෙනුවට ඒ මහතා බටහිර විද්‍යාව පිළිබඳ තමා කියවා ඇති ජනප්‍රිය පොත්වල ඇති කරුණු තමාට තේරෙන ආකාරයට විදුසරට ලියයි. ඔහුගේ ඊනියා ජීවිතයේ අරුත ගැන ඔහු කියන්නේත් බටහිර පොත්පත්වල තිබෙන බටහිර කතා ම ය.

අපේ ප්‍රවාදය ඉතා සරල ය. අප ඒ නැවතත් කියන්නේ අමරතුංග මහතාගේ බටහිර විද්‍යා පාඩම් නිසා ඒ බව සමහරකුට අමතක වී ඇත යන පදනමින් ය. අප එකිනෙකා විසින් සකස් කෙරී ඇති ලෝක සියල්ල මුසා ය. සුත්තනිපාතයෙහි ද්වයතානුපස්සනා සූත්‍රයෙහි පෘථග්ජනයන්ගේ දැනුම මුසා බව පැහැදිලි ව කියැවෙයි. එසේත් නැත්නම් පටිච්චසමුප්පදායට අනුව ත්‍රිලක්‍ෂණ පිළිබඳ අපේ අනවබෝධය හේතුවෙන් අපි ලෝක සංස්කරණය කර අසාර වූ සංසාරයේ ගමනක යෙදී සිටිමු. අපේ ප්‍රවාදයේ මුල ඇත්තේ එතැන ය. අපේ ප්‍රත්‍යක්‍ෂ යැයි කියන දැනුම සංකල්ප ආදිය ද මුසා ය. මා යන සංකල්පය ද මුසාවකි. ප්‍රත්‍යක්‍ෂ දැනුම මනස හා සම්බන්ධ පංචෙන්ද්‍රිය ගෝචර හා මනසට පමණක් ගෝචර දැනුම යනුවෙන් වර්ග කළ හැකි ය. බටහිර විද්‍යාවෙහි දී පටන් ගැනෙන්නේ මනස හා සම්බන්ධ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමෙන් යැයි පැවසෙයි. මේ පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණවලින් හෝ පරීක්‍ෂණ නැතිව ම කෙරෙන නිරීක්‍ෂණ පිළිබඳ දැනුම ය. ඒ දැනුම සංයුක්ත  දැනුමකි. 

බටහිර විද්‍යාවෙහි දී මේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක් කෙරෙයි. සාධාරණීකරණයට ලක් වූ පසු ඒ වියුක්ත දැනුමක් වෙයි. බල්ලකු හෝ අසවල් බල්ලා හෝ නොවන සාධාරණ බල්ලා වියුක්ත සංකල්පයකි.  ඒ සඳහා ඉංගිරිසි භාෂාවෙහි a dog, the dog සංකල්පවලට අමතර ව dog යන වියුක්ත සංකල්පය වෙයි.  එහෙත් සිංහල භාෂාවෙහි එවැනි වියුක්ත බල්ලකු නැත. වියුක්ත බල්ලකු තබා වියුක්ත මිනිසකු ද සිංහලයෙහි නැත. අද සිංහලයෙහි ඇතැම් අවස්ථාවල ඉංගිරිසි අනුකරණයෙන් වියුක්ත මිනිසා යන්න යොදා ගැනෙයි. උදාහරණයක් වශයෙන් මිනිසාගේ පරිණාමය ගැන අපි අද කතා කරමු. එහෙත් මේ ඒක වචන වියුක්තය වෙනුවට සිංහලයෙහි එදා යෙදුනේ සංයුක්ත බහුවචන රූපය ය. සිංහල සම්ප්‍රදායෙහි මිනිසාගේ පරිණාමය යන කතාව එදා සටහන් කෙරුණේ මිනිසුන්ගේ පරිණාමය යනුවෙනි. සිංහල බෞද්ධයන්ට වියුක්තය නුහුරු ය. සිංහල බෞද්ධයනට බටහිර විද්‍යාඥයන් වීමට නම් පළමුව ඔවුන් සිංහල බෞද්ධ චින්තනයෙන් මිදී  ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට හුරු විය යුතු ය. අමරතුංග මහතා එසේ මිදී ඇතැයි මම නො සිතමි. 

බටහිර විද්‍යවෙහි සාධාරණීකරණය  වූ වියුක්ත නිරීක්‍ෂණ තේරුම් කර දීම සඳහා වියුක්ත ප්‍රවාද ගොතනු ලැබෙයි. අප පට්ටපල් බොරු යයි කියන්නේ මේ වියුක්ත ප්‍රවාද සහිත බටහිර විද්‍යාවට ය. නිරීක්‍ෂණ සංයුක්ත වුවත් වියුක්ත වුවත් මුසා ය, එනම් බොරු ය. ඒ මුසා තේරුම් කිරීමට ගොතන වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නෙන් අප කියා සිටින්නේ  ඒ බව ය. අමරතුංග මහතා කළ යුත්තේ මේ කරුණු සාවද්‍ය බව පෙන්වා දීම ය. එහෙත් ඔහු කරන්නේ බටහිර විද්‍යාව ගැන ඔහුට තේරෙන අයුරින් පාඩම් කියා දීමකි. පසුගිය මාර්තු 02 වැනි දා ලිපියෙහි ඒ මහතා මෙසේ ද සඳහන් කර ඇත.

“ඉහත සඳහන් E ල අනුපාතික අගය 0.007 වීම ඉතා වැදගත් ය. මූලද්රව්ය  සෑදෙන්නේ රැල්ලක්‌ (cascade) ලෙස බව Fred Hoyle පවසා ඇත. එම ක්රියයාදාමය හෝ රැල්ල කෙතරම් දුර යනවා ද යන්න නිගමනය කෙරෙන්නේ එම සංඛ්යාලව විසිනි. එය 0.006 වූයේ නම් හයිඩ්ර්ජන්වලට එහා යන්නේ නැත. එය 0.008 වූයේ නම් මුළු හයිඩ්රනජන් ප්රඑමාණය බර ලෝහවලට පත්වන්නේ ය. එවැනි අවස්‌ථා දෙකේ ම ජීවීන්ට අවශ්යන දේවල් සෑදෙන්නේ නැත. හයිඩ්රජන් න්යෂ්ටියේ ස්‌කන්ධයෙන් ශක්‌තිය බවට පත් වන අනුපාතය ගැන පැහැදිලි කිරීමක්‌ කළ Martin Rees නමැති විද්යාිඥයා එවැනි සංඛ්යාක හයක්‌ පිළිබඳව අදහස්‌ දක්‌වා ඇත. එම සංඛ්යාය සැම එකක්‌ ම අප ගේ පෘථිවිය ජීවීන්ට සුදුසු ග්ර්හලෝකයක්‌ බවට පත් කිරීම සඳහා වැදගත් වන්නේ ය. එම සංඛ්යාම හය පිළිබඳ විස්‌තරයක්‌ ප්රිථම වරට මාර්ටින් රීස්‌ විසින් සිදු කරන ලද්දේ Just Six Numbers (1999) නමැති ඔහු ගේ කෘතිය මගිනි. මේ සංඛ්යා  හය Dimentionless Physical Constant නමැති මානයක්‌ නොමැති භෞතික නියතයන් වන්නේ ය. එවැනි නියත දැනට  26ක්‌ නිර්මාණය වී ඇත. මේවා ගැන පසුව සාකච්ඡා කරමු. ඒවා මේ ලිපියේ සඳහන් කොට ඇත්තේ එම නියත හය පිළිබඳ සඳහනක්‌ තබා E නමැති අනුපාතික සංඛ්යා ව විස්‌තර කොට ජීවීන්ට සුදුසු තත්ත්වයට පත් වීම සඳහා පෘථිවිය මුළු විශ්වයට සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වා දීමට ය.”

අමරතුංග මහතා මෙහි දී E අගයක් ගැන සඳහන් කරයි. මේ අගය 0.007 ක් ම වූයේ ඇයි? බටහිරයන්ට  මානවකේන්ද්‍රවාදී නොවී සිටීමට නො හැකි ය. බටහිර විද්‍යාවට අනුව E සඳහා වෙනත් අගයක් තිබිණි නම් ලෝකය ද මිනිසුන් (ඊනියා මිනිසා) ද නැත. වෙනත් වචනවලින් කියන්නේ නම් විශ්වය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් සඳහා ය. බටහිරයන්ට සූර්යකේන්ද්‍රවාදය ලැබුණේ වෛදික ගණිතඥයන්ගෙනි. එතෙක් බටහිරයන්ට කේන්ද්‍රය වූයේ පෘථිවිය හා ඊනියා මිනිසා ය. වෛදිකයෝ සූර්යකේන්ද්‍රවාදය දැන සිටි මුත් ඒ නිරපේක්‍ෂයක් බවට පත් නොකළහ. ඔවුහු ජ්‍යොතිෂයෙහි දී පෘථිවියට සාපේක්‍ෂව ග්‍රහයන්ගේ (ග්‍රහ වස්තු නො වේ) චලිතය සාකච්ඡා කළහ. එහෙත් බටහිරයෝ සූර්යකේන්ද්‍රවාදය නිරපේක්‍ෂයක් බවට පත්කළහ. ඔවුහු පසුව ක්‍ෂිරපථ මන්දාකිණිය ද, ඉන්පසු ස්ථානීය මන්දාකිණි ද කේන්ද්‍ර බවට ගත්හ. එහෙත් විශ්වවේදයෙහි දී ඔවුන්ට ඒ කළ නොහැකි විය. එසේ නමුත් දැන් ඔවුන් කියන්නට සූදානම් වන්නේ විශ්වය නිර්මාණය කෙරී හෝ නිර්මාණය වී ඇත්තේ හෝ මිනිසුන් වෙනුවෙන් බව ය. ඔවුන්ට මානව කේන්ද්‍රවාදයෙන් ඉවත්විය නො හැකි ය. කේම්බ්‍රිජ විශ්වවිද්‍යාලයෙහි විශ්වවේදියකු වන ජෝන් බැරෝ ආදීහු කලක සිට මානවත්වාරෝපණයක් (Anthropomorphism) ගැන කතාකරති. බටහිර විශ්වවේදීන් ු හි අගය තේරුම් කරන්නේ කෙසේ ද? ඔවුන්ට ඒ සඳහා මානවකේන්ද්‍රීය නොවන පට්ටපල් බොරුවක් ගෙතිය හැකි ද? 

අමරතුංග මහතා බටහිරයන් අනුව යමින් මානවකේන්ද්‍රවාදී (ජෛවීයකේන්ද්‍රවාදී) වෙයි. අමරතුංග මහතා සඳහන් කරන මේ වාක්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. “මින් පෙනී යන්නේ දුකින් ජීවත් වී මරණයට පත් වන ජීවීන් තම සේවයට බඳවාගැනීම සඳහා විශ්වය කෙතරම් සංකීර්ණ වූ වෙහෙසක්‌ දරා ඇත් ද යන්න ය. E නමැති 0.007 යන අගය මුළු විශ්වයට ම අදාළ (යෙදිය හැකි)  අගයක්‌ වන්නේ ය. මෙතරම් සංකීර්ණ වූ විශ්වයේ මෙතරම් සංකීර්ණ වූ පෘථිවියක්‌ මෙතරම් සංකීර්ණ වූ ජීවින් සඳහා සකසා ඇත. එවැනි දෙයක්‌ කළ හැකි විශ්වය මිනිසා ගේ දුක නැති කොට හැම දා ජීවත් වන ජීවීන් නිර්මාණය නො කළේ ඇයි? එසේ නො කර තෘෂ්ණාවෙන් පොලඹවා දුකින් ජීවත් වෙමින් නොයෙකුත් දේ නිර්මාණය කොට මරණයට පත් වන ජීවීන් නිර්මාණය වී ඇත්තේ ඇයි?” 

මෙයින් කියැවෙන්නේ කුමක් ද? දුකින් ජීවත්වන ජීවීන් තම සේවයට පත්කර ගැනීම සඳහා විශ්වය මහත් වෙහෙසක් දරා ඇති බව ය. විශ්වය ඇතිවූයේ කුමක් සඳහා ද? ජීවීන් සේවයට ගැනීම සඳහා ද? මේ දැනුම කාගේ ද? පැහැදිලිව ම ඒ ජීවීන්ගේ පොදු දැනුමක් නො වේ. ඒ ඊනියා මිනිසාගේ දැනුමකි. මිනිසුන්, බටහිර මිනිසුන්, නොවන්නට මෙවැනි දැනුමක් නැත. විශ්වය මැවී ඇත්තේ ම මිනිසුන්ට ඒ දැනුම ලබාගැනීමට හැකි වන අයුරින් ය යන්න බැරෝ ආදීන්ගේ ප්‍රවාදය ය. වෙනත් අයුරකින් කියන්නේ නම් විශ්වය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාට දැනුම ලබා දීමට ය, නැතහොත් දැනුම ලබාගැනීමට හැකිවන අයුරින් ය. අපට කීමට ඇත්තේ විශ්වය ඇත්තේ මිනිසුන්ට පට්ටපල් බොරු ගෙතීමට බව ද? 

අමරතුංග මහතාගේ බුදුදහම අඩුම තරමෙන් සම්මත ථෙරවාදයවත් නො වේ. ඔහුගේ පඹගාලෙහි සංකීර්ණ දේ කළ හැකි විශ්වය මිනිසාගේ දුක නැතිකර හැම දා ජීවත්වන ජීවීන් නිර්මාණය කර නැත.  ඔහු කියන්නේ සදාකාලික ව ජීවත්වීම සැපතක් කියා ද, පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් විශ්වය ජීවීන් නිර්මාණය කර ඇත්තේ ඔවුන් තෘෂ්ණාවෙන් පොළඹවා දුකින් ජීවත්කර විවිධ දේ නිර්මාණය කර මරණයට පත්වන අන්දමට ය. මෙය තෘෂ්ණාව ඇතිවීම පිළිබඳ කතාවක් ද? ඒ පටිච්චසමුප්පදායටවත් සම්මත ථෙරවාදයටවත් එකඟ නො වේ. අමරතුංග මහතාට අනුව විශ්වය මිනිසුන් ඇතුළු ජීවීන් නිර්මාණය කර ඇත්තේ ම තෘෂ්ණාවෙන් පෙළඹවීමට ය. 

මෙය දෙවියන් වහන්සේගේ නිර්මාණය නොවුවත් නිර්මාණයකි. එය ඩාවින්ගේ පරිණාමවාදයට එකඟ වන්නේ ද? විශ්වය විසින් ජීවය නිර්මාණය කෙරී ඇත, ඒ විශ්වයට සේවය කිරීම සඳහා ය. අමරතුංග මහතා තවදුරටත් මෙසේ කියයි. “ජීවීන් ගේ මරණයට පසු ඪණං, ූණං, ප්රොසටීන් ඉතිරි වන ලෙස සැකසී ඇත්තේ ඇයි? එසේ නම් ජීවීන් ගේ ජීවිතයේ අරුත ඪණං, ූණං, ප්රොිටීන් නිර්මාණය කිරීම විය යුතු ය.” ජීවීන්ගේ මරණයට පසු ඔවුන් නිර්මාණය කළ RNA, DNA, ප්‍රෝටීන් ඉතිරි වෙයි. අමරතුංග මහතා ඉන් නිගමනය කරන්නේ ජීවීන්ගේ ජීවිතයේ අරුත  RNA, DNA, ප්‍රෝටීන් නිර්මාණය කිරීම විය යුතු බව ය. අමරතුංග මහතා ඒ නිගමනය එළඹෙන්නේ කිනම් තර්කයකින් ද? ජීවීන් යම් යම් දේ ඉතිරිකර මිය යන්නේ ය යන්නෙන් ගම්‍ය වන්නේ ජීවීන්ගේ ජීවිතයේ අරුත එ ඒ දේ නිර්මාණය කිරීම බව ද?

අනෙක් අතට ජීවීන් ඇතිවූයේ කෙසේ ද යන ප්‍රශ්නයට අමරතුංග මහතා දෙන පිළිතුර කුමක් ද? RNA පිළිබඳ නව ප්‍රවාද (නව පට්ටපල් බොරු) බටහිර විද්‍යාවේ දැන් දැන් ගෙතෙයි. අපි ඒ පැත්තකින් තබමු. ජීවීන් ඇතිවීමට පෙර ප්‍රොටීන් තිබිණි ද? එසේ නම් ජීවීන් ඇතිකර ප්‍රොටීන් නිපදවා ගන්නේ ඇයි? විශ්වයට ජීවීන් නැතිව ම  RNA, DNA, ප්‍රෝටීන් නිර්මාණය කර ගැනීමට නො හැකි ද?  ජීවීන් ඇතිකර ඉන්පසු ජීවීන් ලවා ද ඒ දේ නිර්මාණය කිරීම විශ්වයට වඩා වාසිදායක ද? ලාභ ද? අමරතුංග මහතා අප වැනි හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා ඒ සියල්ල පැහැදිලි කරන්නේ ද?

අමරතුංග මහතාගේ තර්ක බටහිර විද්‍යාවට ම ගැලපෙයි. පසුගිය දා බටහිර විද්‍යාව වෙනුවෙන් මෙරට පෙනී සිටින උගතකු අමරතුංග මහතාගේ බුද්ධිමය වීරයකුට පහර ගසමින් කියා සිටියේ p ප්‍රස්තුතයෙන් q ප්‍රස්තුතය ගම්‍ය වේ නම් එයින් q ප්‍රස්තුතයෙන් p ප්‍රස්තුතය ගම්‍ය වන්නේ යැයි කිව නොහැකි බව ය. බටහිර ගණිතයෙහි දී ඒ එසේ යැයි සැලකෙයි. එහෙත් බටහිර ගණිතයෙහි හෝ බටහිර දර්ශනයෙහි හෝ ගම්‍යවන්නේ ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි නො කෙරෙයි. ප ප්‍රස්තුතයෙන් ද ප්‍රස්තුතය ගම්‍යවන්නේය යනු කුමක් ද? ඇරිස්ටෝටලීය න්‍යායෙහි ගම්‍ය වීම යනු කුමක් ද? අප කලින් ද සඳහන් කර ඇති පරිදි a=b, b=c නම් a=c බව නිගමනය කරන්නේ කිනම් න්‍යායකට, තර්කයකට අනුව ද?  a=b නම්  a+c=b+c  බව නිගමනය කරන්නේ කිනම් න්‍යායකට, තරකයකට අනුව ද? 

අපි එය ද පැත්තකින් තබමු. අමරතුංග මහතාටවත් ඉහත සඳහන් බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින උගතාටවත් එයට පිළිතුරු නොමැති බව අපි දනිමු. අපි ප ප්‍රස්තුතයෙන් ද ප්‍රස්තුතය ගම්‍ය වේ නම් එයින්  ද ප්‍රස්තුතයෙන් ප ප්‍රස්තුතය ගම්‍ය වන්නේ යැයි කිව නොහැකි බවට ඇති ප්‍රකාශය සලකමු. එහෙත් අර උගතා තේරුම් නොගත්තාට බටහිර විද්‍යාවේ ක්‍රියාත්මක වන්නේ ප ප්‍රස්තුතයෙන් ද ප්‍රස්තුතය ගම්‍ය වේ නම් එයින්  ද ප්‍රස්තුතයෙන් ප ප්‍රස්තුතය නිගමනය වන බව ය. 

අපට වියුක්තය එතරම් හුරු නැති බැවින් ප්‍රසිද්ධ උදාහරණයක් ගනිමු. පොළොවට පොල් වැටෙන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, එසේත් නැත්නම් පොළොවට පොල් වැටීම තේරුම් ගැනීම සඳහා බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාදයක් නම් ගුරුත්වාකර්ෂණය ය. තවත් ප්‍රවාදයක් වන්නේ අවකාශ - කාලයෙහි වක්‍රතාවය ය. මේ කුමක් සැලකුව ද අපේ කතාවට එයින් බාධාවක් නො වේ. අපි බොහෝ දෙනාට පුරුදු ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය (පට්ටපල් බොරුව) ගනිමු. බටහිර විද්‍යාවේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වියුක්ත ප්‍රවාදයකි. එයින් වියුක්ත නිගමන ගම්‍යකර ගත හැකි යැයි සිතමු. එය කිසිම පදනමක් නැතිව සංයුක්ත නිගමනයක් බවට පත්කර ගුරුත්වාකර්ෂණය ප්‍රවාදය වේ නම් යම් ත්වරණයකින් පොල් පොළොවට වැටෙන්නේ යැයි ගම්‍ය වන්නේ යැයි සිතමු. මෙහි ප ප්‍රස්තුතය වන්නේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ය. පදනමක් තර්කයක් නැතිව වුව ද ගම්‍ය කෙරෙන ද ප්‍රස්තුතය යම් ත්වරණයකින් පොළොවට පොල් වැටේය යන්න ය. දැන් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයෙන් (හෝ ඉන් කොටසකින් හෝ)  කෙරෙන්නේ පොළොවට යම් ත්වරණයකින් පොල් වැටේය යන්නෙන් ගුරුත්වාකර්ෂණයක් ඇතැයි (ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය) නිගමනය කිරීම ය. 

වෙනත් වචනවලින් කිවහොත් මෙහි දී කෙරෙන්නේ ද ප්‍රස්තුතයෙන් ප ප්‍රස්තුතය නිගමනය කිරීම ය.  මෙය අර උගතා රසල්ගෙන් හෝ වෙන කාගෙන් හෝ ඉගෙන පුනරුච්චාරණය කරන p ප්‍රස්තුතයෙන්q ප්‍රස්තුතය ගම්‍ය වේ නම් එයින්  q ප්‍රස්තුතයෙන් p ප්‍රස්තුතය ගම්‍ය වන්නේ යැයි කිව නොහැකි බවට ඇති ප්‍රකාශයට විරුද්ධ ය. බටහිර විද්‍යාවේ මුළුමනින් ම ඇත්තේ p ප්‍රස්තුතයෙන් q ප්‍රස්තුතය ගම්‍ය වේ නම් එයින්  q ප්‍රස්තුතයෙන් p ප්‍රස්තුතය ගම්‍ය වන්නේය යන ආකාරයේ ප්‍රකාශ ය. ඒ අනුව ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අර උගතාට අනුව බංකොළොත් විධික්‍රමයකි. එය ඒ උගතාට අනුව තර්ක විරෝධී ය. මෙයින් කියැවෙන්නේ එකී බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින උගතාට අනුව බටහිර විද්‍යාවේ අනුගමනය කෙරෙන විධික්‍රමය තර්ක විරෝධී බව ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බවට අප කරන ප්‍රකාශයට එයින් තවත් තල්ලුවක් ලැබෙයි.

අපේ 2016 මාර්තු 09 වැනි දීන ලිපිය මෙතැනින් කෙළවර වෙයි. එහෙත් එහි අගට විදුසර කතෘ පහත සඳහන් කොටස එක්කර තිබිණි.

“කර්තෘ සටහන-අමරතුංග මහතා නලින් ද සිල්වා මහතාට පිළිතුරු ලිපි පෙළක්‌ නො ලියන්නේ අප විසින් කරන ලද ඉල්ලීමකට අනුව ය. ඒ ඉල්ලීම කළේ මෙය කෙළවරක්‌ නො දකින විවාදයක්‌ බව හැඟී යන බැවිනි. විවාදය නැවැත්වීම සඳහා අපට එකඟ කරවාගත හැකි වූයේ අමරතුංග මහතා පමණ ය. ඒ මහතා වෙන ම ලිපි පෙළක්‌ ලියන්නේ ද (මාතෘකාව අපෙන් නො වුණත්) අප කළ ඇරයුමකට අනුව ය.”

අමරතුංග මහතා මේ විවාදය ඇරඹුයේ මා ලියූ ලිපිවලට 2013 ඔක්තෝම්බර් 09 වැනි දා  පිළිතුරක් පළකිරීමෙනි. එතැන් සිට බෝධි ධනපාල, කීර්ති තෙන්නකෝන් හා චන්ද්‍රසිරි ධර්මවර්ධන යන මතකත්වරු ද මේ විවාදයට සහභාගි වූහ. බොහෝ සිංහල බෞද්ධ උගත්තු මා බටහිර විද්‍යාව හා ථෙරවාදය පිළිබඳ පළකරන අදහස්වලට විරුද්ධ වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනකු දෙමළ ජාතිවාදයට විරුද්ධ බවත් ථෙරවාදී බුදුදහම හා එකී සංස්කෘතිය අගයන බවත් පැහැදිලි ය. ඇතැමකු මා දෙමළ ජාතිවාදයට විරුද්ධ ව ලියන ලිපිවලට යම් කැමැත්තක් දැක්වූවත් මා බටහිර විද්‍යාව හා දර්ශනය ගැන ලියන ලිපිවලට විරුද්ධ බව බොහෝ කලක සිට පැහැදිලි කරුණක් විය. 

මේ විරුද්ධතාව ඉහළ ම තලයකට ගෙනෙනු ලැබුයේ රජරට වකුගඩු රෝගය නමින් හඳුන්වනු ලැබූ රෝගයට හේතුව සෙවීමට මා මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගේ ආධාර පැතූ විට ය. මා කෙළේ සිංහල බෞද්ධයන් දැනුම සංස්කරණය කිරීමේ දී වසර දෙදහසකට වැඩි කලක් යොදාගත් ක්‍රමයක් නැවතත් යොදා ගැනීම ය. ආධ්‍යාත්මික ශක්තියෙන් දැනුම සංස්කරණය කිරීම ආසියාවේ බොහෝ කලක සිට පැවති ක්‍රමයකි. එය නැති වී ගියේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ ආධිපත්‍යය විසින් අප යටපත් කිරීමෙන් පසුව ය. අප සතුව තිබූ දැනුම මිථ්‍යා ලෙස හඳුන්වනු ලැබිණි. බටහිර විද්‍යාව දැනුම ලබාගැනීමේ ඒකායන මාර්ගය ලෙසත් කවදත් ලෝකයේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් තිබූ බවත් ඇතැමුන්ගෙන් කියැවිණි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා පැවසීමෙන් පසුව බොහෝ සිංහල බෞද්ධ උගත්තු දණ්ඩෙන් පහර ලත් සර්පයන් මෙන් හැසුරුණහ. 

මා විදුසරට අපේ ප්‍රවාද ලිවීමට පටන් ගෙන බොහෝ කලක් ගත වී ඇත. මා විදුසරට ලීවේ එයටත් පෙර සිට ය. විදුසර වර්තමාන කතෘ රාජේන්ද්‍ර කුලසිංහ මහතා විදුසරට පැමිණීමට පෙර ද මම එහි නිත්‍ය ලේඛකයෙක් වීමි. අපේ ප්‍රවාද ලිපි පෙළ අරඹනු ලැබුයේ ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ ප්‍රවාද හා දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට ය. ඒ කුලසිංහ මහතා කතෘ ධුරයට පත්වීමෙන් පසුව ය. එකී ලිපි පෙළ පළකිරීම පිළිබඳ මම ඒ මහතාට කෘතඥ වෙමි. 

අපේ දැනුම ආධ්‍යාත්මික ව සංස්කරණය කෙරෙන්නකි. එහෙත් අවුරුදු පන්සියයකට වැඩි යටත්විජිත අධ්‍යාපනයක හා සංස්කෘතික ආධිපත්‍යයක (දේශපාලන හා ආර්ථික ආධිපත්‍යවලට අමතර ව) ප්‍රතිඵල ලෙස අප අතර එලෙස දැනුම සංස්කරණය කළ හැකි අය සිටින්නේ ස්වල්ප දෙනකු පමණ ය. නැවතත් ඒ ක්‍රමයෙන් දැනුම සංස්කරණය කිරීමට අඩුම තරමෙන් තවත් අවුරුදු පනහකට වැඩි කලක් ගතවනු ඇත. එතෙක් මා සිතුවේ බටහිරයන් මෙන් ප්‍රවාද සංස්කරණය කිරීමට ය. එහෙත් එසේ කළ යුත්තේ සිංහල බෞද්ධ චින්තනයක් පදනම් කරගනිමින් මිස ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් වීමෙන් බැහැර වීමෙන් බව මට හැඟී ගියේ ය. අපේ ප්‍රවාද මූලික වශයෙන් ඒ සඳහා විය. 

එහෙත් සිංහල බෞද්ධයන් එලෙස ප්‍රවාද සංස්කරණය කිරීමට යොමු කිරීමට මට නොහැකි විය. සිංහලයන්ට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ අප දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ දැනුමක් සංස්කරණය නොකරන බැවිනි. අපි දෙමළ ජාතිවාදය පිළිබඳ වූ අපේ දැනුමක් මගින් දෙමළ ජතිවාදය න්‍යායාත්මක ව පැරදවීමු. එමෙන් ම සිංහලයන්ට දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. ඒ සඳහා දේශපාලන නායකත්වයක් ද ඇති කෙරිණි. එහෙත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීම ඒ සියල්ලට වඩා දුෂ්කර ය. අපට අපේ ම වූ සංකල්ප, ප්‍රවාද ආදිය නොමැතිව ඒ කළ නො හැකි ය. අප දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් කෙළේ ය හා දෙමළ ජනයාට සිංහලයන්ගෙන් අසාධාරණයක් වී ඇත යන බටහිර මතවාදයෙහි එල්බ ගෙන සිටිනතාක් අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ය. අප අමතක නොකළ යුතු කරුණක් නම් දෙමළ ජාතිවාදය පිටුපස බටහිර හා ඉන්දීය මතවාද මෙන් ම ඔත්තු සේවා ඇති බව ය. අපි දෙමළ ත්‍රස්තවාදය ඊනියා යුද්ධයකින් පරාජය නො කෙළෙමු. ඒ බව ද දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම අසාධාරණයක් සිදු වී නැති බව සිංහල ඊනියා උගතුන්ට හා ජනතාවට ඒත්තු ගැන්විය යුතු ය. 

සිංහලයන් කරන්නේ දෙමළ ජාතිවාදයේ ඒ ඒ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීම පමණකි. දෙමළ ජාතිවාදය සමස්තයක් ලෙස දැකීමට ඔවුන්ට නො හැකි ය. අප දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාද ඇඟට ජීර්ණය කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය පරාජය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වනු ඇත. සිංහලයන් තමන් මහත් සේ අගයන රාමනාදන්ලා ප්‍රභාකරන්ගේ සීයලා බව දෙමළ ජාතිවාදයේ සමස්තය මගින් දැකිය යුතු ය. එහෙත් පඬි සිංහලයෝ එසේ නො කරති.  

අපේ ප්‍රවාදවලට රුචි නොවූ සිංහල බෞද්ධ වෛද්‍යවරු, වෘත්තීයකයෝ සහ වෙනත් පඬියෝ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමත් සමග මට විරුද්ධව අවි අමෝරා සටන් වැදුණහ. ඔවුහු විදුසරට බලපෑම් කළහ. එහෙත් ඒ බලපෑම් මැද ද කුලසිංහ මහතා අපේ ප්‍රවාදවලට ඉඩ දුන්නේ ය. එයට නැවතත් මගේ ස්තුතිය ඒ මහතාට හිමිවෙයි. ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග, චන්ද්‍රසිරි ධර්මවර්ධන , බෝධි ධනපාල මහත්වරුන්ට මගේ ඊනියා මිථ්‍යා පරාජය කිරීම අවශ්‍ය විය. කුලසිංහ මහතා ඔවුන්ට ද විදුසර විවෘත කෙළේ ය.

ප්‍රධාන වශයෙන් ම මා සඳහන් කෙළේ දැනුම යනු ඊනියා සොයාගනීමක් නොව සංස්කරණයක් බවත් ඒ සංස්කරණය කිරීම යම් චින්තනයක් මත පදනම් ව යම් සංස්කෘතියකට සාපේක්‍ෂව කෙරෙන්නක් බවත් ය. ඒ හේතුවෙන් මනසෙන් තොරව කිසිවක් නො පවතී. සියල්ල මනසෙහි සංස්කරණ වෙයි. එහි තේරුම සියළු දැනුම් මනසෙන් සංස්කරණ කරන බව ය. රබර් කොළ වැටීම මනසෙහි සංස්කරණයක් වන්නේ රබර්, කොළ, වැටීම, ආදී සංකල්ප මිනිසුන්ගේ සංස්කරණ වන බැවිනි. රබර් ආදී ඒ සියල්ල මුසා ය, බොරු ය. රබර් කොළ වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය බව පැවසීම පට්ටපල් බොරුවකි. මනසෙන් තොරව ඊනියා යථාර්ථයක් නැත. ඊනියා යථාර්ථය පමණක් නොව මනස ද මනසෙහි සංස්කරණ වෙයි. මනසෙන් සංස්කරණය කෙරෙන්නේ ය යන්න බටහිර විද්‍යාවෙන් හා බටහිර දර්ශනයෙන් මනස් කුරුවළු කරගත් අයට නො තේරෙයි. ඒ දෙවියන් වහන්සේ ලෝකය මැවී ය යන්නෙන් කියැවෙන ආකාරයට මනස සියල්ල මවන්නේ ය යනුවෙන් කීමක් නො වේ. මනස සංස්කරණය කරන්නේ සංකල්ප හා ප්‍රවාද ය. සංකල්පවලින් තොරව සංජානන නැත. හැකිනම් මනසින් තොරව කෙරෙන සංජානන ඇතැයි පෙන්වන මෙන් ඕනෑම අයකුට අභියෝග කරමි. ගල යන සංකල්පය නොමැතිව ගලක් වේ ද? සමහර විට පඬියකු කීමට ඇත්තේ ගල යන සංකල්පය නොමැති වුවත් යම් වස්තුවක් ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ වස්තුව යන සංකල්පය නොමැතිව වස්තුවක් නො වීම ය. ගලක් පමණක් නොව මනසක් ඇතැයි යන්න ද බොරුවකි. මනස ද මනසෙහි සංස්කරණයකි. මම විඤ්ඤාණවාදියෙක් හෝ භෞතිකවාදයෙක් හෝ නො වෙමි. එහෙත් බොහෝ සිංහල බෞද්ධ පඬියන් සිතන්නේ මනසෙන් තොරව ඊනියා යථාර්ථයක් නැතැයි කී පමණින් මා විඤ්ඤාණවාදියකු බව ය. 

බුදුන් වහන්සේ බටහිර විද්‍යාඥයන් මෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පවල හිර නොවූ සේක. උන්වහන්සේගේ ආර්ය පර්යේෂණය කසිකබල් බටහිර විද්‍යාඥයන්ගේ පර්යේෂණ වැන්නක් නො වී ය. ඒ ආධ්‍යාත්මික වූවකි. උන්වහන්සේ තුට්ටු දෙකේ අනුභූතිවාදියෙක් නො වූහ. පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප සියල්ල මුසා බව උන්වහන්සේ වදාළ සේක.  බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වල හිර වෙති. එහෙත් ඔවුහු කිසි ලජ්ජාවක් නොමැතිව ඒ අත්දැකීම් තේරුම් ගැනීමට යැයි කියමින් ගුරුත්වාකර්ෂණය වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. අප බුදුන්වහන්සේ මේ කසිකබල් විද්‍යාඥයන්ගේ ගොඩට ඇද දැමිය යුතු නො වේ.  

සියල්ලට මුල ත්‍රිලක්‍ෂණ පිළිබඳ අපේ අනවබෝධ ය. අනිත්‍ය යනු වෙනස්වීම නොවන බව සිංහල බෞද්ධයෝ තේරුම් නො ගනිති. ථෙරවාදී අර්ථකථනවල ධර්මවාදය ක්‍ෂණවාදය ඉගැන්වෙයි. එහෙත් ධර්මයක ්ක්‍ෂණයකටවත් පවතින්නේ ද? ක්‍ෂණයක් යනු කුමක් ද? ධර්මයක් යනු කුමක් ද? ධර්මයක් ක්‍ෂණයකට වුවත් පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී ය. සිංහල බෞද්ධයෝ ත්‍රිලක්‍ෂණයෙහි දුක්ඛ යනු කුමක් දැයි නො දනිති. ඒ දුක්ඛ සත්‍යය සමග පටලවා ගන්නා ඔවුහු ත්‍රිලක්‍ෂණයෙහි දුක්ඛ යනු තමන්ට දැනෙන දෙයක් ලෙස සලකති. එහෙත් අනිත්‍ය අනාත්ම ගැන එසේ නො සිතති. ත්‍රිලක්‍ෂණය එසේ දෙයාකාරයකට සලකන්නේ ඇයි දැයි ඔවුහු අවුරුදු දෙදහසක් පමණ නො ඇසූහ! එහෙත් එක් භික්‍ෂූන් වහන්සේ නමක් දැන් ඒ ප්‍රශ්නය අසා පිළිතුරක් දෙති.

අමරතුංග මහතා පිළිතුරු දීමට උත්සාහ කෙළේ මගේ මතවලට ය. ඊනියා විද්‍යාව කවදත් කොතැනත් තිබුණේ යැයි ඔහු කීවේ ය. එහෙත් අප පෙන්වා දී ඇති අන්දමට ම ඔහුට ඒ එසේ නොවේ යැයි පිළිගැනීමට සිදුවිය. එමෙන් ම බටහිර මතවාද බටහිර දර්ශනය මත පදනම්වන බව ඔහු අවුල් සහගත ව නමුත් ප්‍රකාශ කෙළේ ය. බටහිර මතවාද වැරදි බව ඔහුට පිළිගැනීමට  සිදු වූයේ ඊනියා ජීවිතයේ අරුත ගැන කීමේ දී ය. ඉහත සඳහන් මගේ ලිපියෙන් ද මා ඒ බව පැහැදිලි කර ඇත. ඔහුට දැන්  බටහිර විද්‍යාව සත්‍ය බව හෝ සත්‍යයට ළඟාවන බව හෝ කීමට නො හැකි ය. එහෙත් ඔහු බටහිර විද්‍යාවේ මතවාද ඉංගිරිසි පොතපත ඇසුරෙන් විදුසර පාඨකයනට කියයි. විදුසර පූවත්පත පමණක් නොව මෙරට පාසල් හා විශ්වවිද්‍යාල ද කරන්නේ ඉංගිරිසියෙන් හෝ වෙනත් බටහිර බසකින් ඇති කරුණු සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ කියා දීම ය. 

අමරතුංග මහතා විවාදයෙන් ඇත්වූ බව කුලසිංහ මහතා කියයි. එහෙත් අමරතුංග මහතා එසේ කර නැත. ඔහු මගේ ලිපිවලට මගේ නම නොකියා පිළිතුරු දීමට අසාර්ථක උත්සාහයක යෙදෙයි. පහත සඳහන් ඡෙද කිහිපයෙන් වුව ද ඒ බව පැහැදිලි වෙයි. 

2016 ජනවාරි 27 වැනි දා ඔහු මෙසේ කීවේ ය. “මේ මතවාදය බටහිර මතවාදවලට කිසිසේත් ම සමාන නො වන්නේ ය. එය මා විසින් නිර්මාණය කෙරෙන මතවාදයකි. බටහිර මතවාද යුදෙව් ක්රිනස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා බව ය. මා ගේ මතවාදය බුදු දහමට පටහැනි නැත.” 

2015 සැප්තැම්බර් 09 වැනි දා අමරතුංග මහතා මෙසේ කීවේ ය. “මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි බුදුදහම පවසනවා ද? එසේ පවසනවා නම් ඇත්තේ මනස විසින් නිර්මිත ලෝකයක්‌ බව එම දහම පවසනවා ද? ඉන්ද්රි ය සංජානනය ගැන විද්යාරත්මකව ඉතා ම විශිෂ්ට වූ මතවාදයක්‌ බුදුන් දේශනා කොට ඇත. ඇසින් දැකීම පිළිබඳව බුදුන් පැවසුවේ වස්‌තුව සහ ඇස ගැටීම හේතු කොටගෙන චක්‌ඛු විඤ්ණය හටගන්නා බව ය. එසේ නම් චක්‌ඛු විඤ්ණය හටගන්නට පෙර වස්‌තුව පැවැතුණු බව පැහැදිලි ය.

මේ නයින් බලන කල පෙනී යන්නේ බුදුන් අනුභුතිවාදියකු වූ (Empiricist) බවයි. විද්යාහඥයන් ද අනුභූතිවාදී විය යුතු ය. ඔවුනට වෙන මාර්ගයක්‌ නැත. කොතැනත් කවදත් එය එසේ ම ය. අපට ඇත්තේ එක ම ඉන්ද්රිදය පද්ධතියකි. අප අවට ඇත්තේ එක ම ස්‌වභාවධර්මයේ පද්ධතියකි. ...….අනුභුතිවාදය යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ ද? දැනුම ලබාගත හැක්‌කේ ඓන්ද්රිදය අත්දැකීමෙන් පමණකි යන විශ්වාසය අනුභූතිවාදය ලෙස සැලකේ. දැනුම ලබා ගැනීමේ දී අත්දැකිම් සහ සාක්‌ෂි මත පදනම් වීම අනුභූතිවාදයේ ප්රනධාන වගකීම ය.”

කුලසිංහ මහතා කුමක් කීවත් ඔහු අමරතුංග මහතාට මට පිළිතුරු දීම සඳහා විදුසර විවෘත කෙළේ ය. ඔහුට පමණක් නොව බෝධි ධනපාල මහතාට ද මගේ මතයට විරුද්ධව කරුණු කීමට කුලසිංහ මහතා ඉඩ සලසා දුන්නේ ය. විවාදය කෙළවර වී නැත. ධනපාල මහතා 2016 ජනවාරි 20 වැනි දා තරම් මැතක දී ද විවාදයට එක්විය. ඔහුට තේරෙන බටහිර විද්‍යාවක් නැත.  පැහැදිලිව ම අමරතුංග මහතා ද කොටු වී ඇත. ඔහුට දැන් මේ විවාදයෙන් ද පැන යෑමට අවශ්‍ය වෙයි. කුලසිංහ මහතා ඔහුට පැන යෑමට ආධාර කරයි. බෝධි ධනපාල මහතාට මා සමග විවාද කිරීමට ලංකාවට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය පළමුව පිළිගෙන පසුව මගහැරියේ ය. අමරතුංග මහතා වාචික විවාද කලින් ප්‍රතික්‍ෂෙප කර (ඔහු නුවර පැවැත් වූ සම්මන්ත්‍රණයට සහභාගි වීම ප්‍රතික්‍ෂෙප කෙළේ ය) දැන් කුලසිංහ මහතාගේ උපකාරයෙන් ලිඛිත විවාදයෙන් ද පැන ගොස් ඇත. කුලසිංහ මහතා කියන්නේ මා විවාදය අත්හැරීමට එකඟ නොවූ බව ය. මා දිනා ඇති විවාදයකින් මා පැන යන්නේ අහවල් දෙයකට ද? අනෙක් අතට විවාදයෙන් පැර දී ඇති අමරසිංහ මහතා විවාදයෙන් නිල වශයෙන් පැන ගොස් ඉතා සටකපට ආකාරයකින් මගේ නම නොකියා මට පිළිතුරු දීමට උත්සාහ කෙළේ ය. ඔහු දැන් තමාට එය ද කළ නොහැකි බව අවබෝධ කරගෙන ඇත. කුලසිංහ මහතා ඔහුට ද බෝධි ධනපාල මහතාට ආධාර කර දැන් මා පමණක් විවාදය අත්හැරීමට එකඟ නොවන බව කියයි. අමරතුංග මහතා විවිධ මාතෘකා යටතේ දැන් කරන්නේ බටහිර විද්‍යාව ගැන කරුණු දැක්වීම ය. එහෙත් බටහිර විද්‍යාවෙන් වැඩගත හැකි ය යන්නෙන් බටහිර විද්‍යාව සත්‍ය බව නො කියැවෙයි. කාලෝ ෆොන්සේකා මහතා කෙතරම් තර්කය ගැන කතාකළත් ඔහුට තර්කය නො තේරෙයි. අප ඉහත සඳහන් ලිපියෙහි පෙන්වා දී ඇති ආකාරයට p ප්‍රස්තුතයෙන් q ප්‍රස්තුතය ගම්‍ය වන්නේ ය යන්නෙන් q ප්‍රස්තුතයෙන් p ප්‍රස්තුතය ගම්‍ය වන්නේ යැයි නොකියැවුණ ද පට්ටපල් බොරු බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එය ම මිස වෙනත් දෙයක් නො වේ.  

බටහිර විද්‍යා සඟරාවක කතුවරයා ලෙස කුලසිංහ මහතාට බටහිර විද්‍යාවේ ආරක්‍ෂකයකු ලෙස කටයුතු කිරීමට සිදුවෙයි. අපට ඒ බව තේරුම් ගත හැකි ය. එහෙත් ඒ මහතා අපට පදනම් විරහිත චෝදනා  නොකළ යුතු ය.ඔහු මට පල නොකියා පළා බෙදයි.  තවදුරටත් කුලසිංහ මහතා වැන්නන් සමග ගනුදෙනු කළ නො හැකි ය. මම මින් පසු විදුසරට නො ලියමි. මගේ අදාළ ලිපි කාලය වෙබ් අඩවියෙහි පමණක් පළ කෙරෙනු ඇත.   

නලින් ද සිල්වා 

2016 මාර්තු 13