History

Tuesday, 12 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2


ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x දෙමළ නායකයන් ඒ ඒ දෑ දිනාගැනීමේ දී ප‍්‍රභාකරන් ගේ ආධාරය ලැබුණේ නැද් ද ?

ප‍්‍රභාකරන් ගේ ආධාරය නැති ව ඒ ඉල්ලීම් දිනා ගැනීම අමාරුයි. කලින් කීවා මේ යුගයේ දෙමළ ජාතිවාදයේ ක‍්‍රියාමාර්ග දෙකක් සමගාමී ව හා අනුපූරක ව ක‍්‍රියා කළ බව. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සෑම විට ම කෙළේ ප‍්‍රභාකරන් හා අන් තරුණයන් ගේ ආයුධ ශක්තිය පෙන්වා තමන් මධ්‍යස්ථ මතධාරීන් ලෙස හඳුන්වා ගනිමින් ප‍්‍රභාකරන්ට බලය නොදීමට නම් තමන් ගේ ඉල්ලීම් දිය යුතු බව කීමයි. ප‍්‍රභාකරන් හා අනෙක් අය ගේ ආයුධ ශක්තිය නොමැති ව ඒ ඉල්ලීම් දිනාගැනීමට බැහැ. ඒ වගේ ම දෙමළ තරුණයන්ට පමණක් ඒ ඉල්ලීම් දිනාගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. ඉල්ලීම් ලබාගත්තේ ආයුධ සන්නද්ධ ක‍්‍රියාමාර්ග නොව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයකින්. එනම් ඡුන්ද වෙන්දේසියෙන් ආණ්ඩු පිහිටුවීමට උපකාර කෙරීමෙන්. 


x ඔබ කියන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ තරුණයන් අතර අරමුණු අතින් වෙනසක් නොතිබූ බව ද?

ඔවුන් අතර මූලික අරමුණ අතින් කිසි ම වෙනසක් තිබුණේ නැහැ. ඔවුන් සියලූ දෙනාට ම අවශ්‍ය වූයේ දෙමළ රාජ්‍යයක් දිනා ගැනීමටයි. ආයුධ සන්නද්ධ කණ්ඩායම් එය එක් වර ම ආයුධ ආධාරයෙන් දිනාගැනීමට උත්සාහ කළා. අනෙක් කණ්ඩායම අදියර දෙකකින් පළමු ව පෙඩරල් දිනා ඉන් පසු ව දෙමළ රාජ්‍ය දිනා ගැනීමට උත්සාහ කළා. 

1985 තිම්පු සාකච්ඡුාවේ දී මෙය හොඳින් ම පෙනී ගියා. එහි දී මේ සෑම පක්ෂයක් ම දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජභූමි බව, දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය ලංකාණ්ඩුව විසින් පිළිගත යුතු බව කියා සිටියා. කොටි සංවිධානය හැරෙන්නට අනෙක් පක්ෂ හා සංවිධාන තමන් සියලූ දෙනා දෙමළ ජනතාව නියෝජනය කරන බව කියා සිටියා. කොටි සංවිධානය තමන් පමණක් දෙමළ ජනයා නියෝජනය කරන බව කියා සිටියා. කොටි සංවිධානය හා අනෙක් අය අතර වූ වෙනස එපමණයි. 

මධ්‍යස්ථ දෙමළ පක්ෂ කියා වර්ගයක් නැහැ. සියලූ දෙනා ම අවසාන විග‍්‍රහයේ දී ඊළාම්වාදීන්, අන්තවාදීන්. 

x ජේ. ආර්. ජයවර්ධන මහතා දෙමළ ජනයාට අසාධාරණ වී ඇති බව පිළිගත්තේ එවැනි අසාධාරණයන් තිබෙන නිසා නොවේ ද ?

නැහැ. එවැනි අසාධාරණයක් නැහැ. ජයවර්ධන මහතා වාසිය සඳහා එය පිළිගත්තා. ඇතැමුන් වෙනත් අරමුණු ඇති ව එය පිළිගන්වන්න උත්සාහ කළා. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇති බව පිළිගත්තේ දෙමළ ඡුන්ද දිනාගැනීම සඳහා යි. ඔහු තමයි පළමුවෙන් ම දේශපාලනයේ දෙමළ ඡුන්දවල වටිනාකම දුටුවේ. සිංහල ඡුන්ද බෙදී ගිය විට ඒ ඡුන්දවල වටිනාකම් බිංදුව වන බවත්, දෙමළ ඡුන්දවල වටිනාකම ඉහළ යන බවත් ඔහු දුටුවා. එබැවින් ඒ වටිනාකම අධික වූ ඡුන්ද ලබා ගැනීමට ඔහු නොයෙකුත් දේ පිළිගැනීමට සූදානම් ව සිටියා. 1965 දී ඩඞ්ලි සේනානායක මහතා ආණ්ඩුව පිහිටුවීමට චෙල්වනායගම් මහතා ගේ ආධාරය ලබාගත්තත් ඔහු දෙමළ ඡුන්දවල වටිනාකම ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන් දුටුවේ නැහැ. 

මේ අතර දෙමළ ජාතිවාදය විසින් ප‍්‍රකාශ කෙරුණු ඊනියා අසාධාරණකම් තහවුරු කෙරීමට තවත් කොටසක් එක්දහස් නවසිය හැට ගණන්වල පමණ සිට කටයුතු කළා. ඒ තමයි රාජ්‍ය නොවන සංවිධාන, ඇතැම් ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරු හා ප‍්‍රභූවරුන් හා ජාත්‍යන්තර සංවිධාන. මොවුන් විසින් නොයෙක් ආකාරයේ ආයතන, කේන්ද්‍ර, සංවිධාන පිහිටුවනු ලැබුවා. නොයෙකුත් අධ්‍යයන, පර්යේෂණ හා සමීක්ෂණ කෙරුණා. එහි ප‍්‍රධාන අරමුණ වූයේ සිංහල ජනමතය ක‍්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමත්, සිංහලයා තුළ සිංහලයන් වීම පිළිබඳ විශේෂයෙන් බෞද්ධයන් වීම පිළිබඳ ලැජ්ජාවක් ඇති කෙරීමත්. 

දෙමළ ජාතිවාදීන් ”අසාධාරණය” ගැන කියද්දී විකෘති ඉතිහාසයක් තම තරුණයන්ට කියද්දී සිංහලයන් අතර ක‍්‍රියාත්මක වූ මේ සංවිධාන සිංහලයන් අසාධාරණ ව කටයුතු කර ඇති බව කීමට පටන් ගත්තා. සිංහලය රාජ්‍ය භාෂාව කෙරීම ආදිය ඔවුන් විසින් ද වැරදි ක‍්‍රියා ලෙස පෙන්වනු ලැබුවා. 1958 කෝලාහලවල වරද සිංහලයන්ට පිට පටවනු ලැබුවා. පසු ව 1977, 1983 ආදිය ද එලෙස ම විග‍්‍රහ කෙරුණා. මේ සියල්ලෙන් සිංහලයන් තුළ විශේෂයෙන් ම ඊනියා ප‍්‍රබුද්ධයන් තුළ සිංහලයන් වරදක් කෙළේ ය යන මානසික තත්ත්වය ඇති කළා. අසූව දශකයේ හා ඉන් පසු ව ආරම්භ කළ සඟරා, විකල්ප පුවත්පත් ආදියෙන් ද මේ කාර්යය දිගින් දිගට ම කෙරුණා. බෞද්ධයන්ට හිංසකයන් විය හැකි ද යන ප‍්‍රශ්නය කිසි ම සන්දර්භයකින් තොර ව අසන්නට පටන් ගත්තා. එයින් මොවුන් කීවේ අනෙක් ආගමිකයන්ට හිංසකයන් වීමට එම ආගම්වලින් ඉඩ දී ඇතැයි යන්න දැයි අපට අසන්නට සිදු වී තිබෙනවා. සිංහල බෞද්ධයන්, විශේෂයෙන් භික්ෂූන් වහන්සේ සිංහල ජාතිය රැුක ගැනීමට ගොස් බුදු දහම පාවා දී ඇති බව ඔවුන් කීවා. මේ අතර ඇතැම් අය සිංහල නමින් ජාතියක් නොතිබූ බව කීවා. සිංහල ජාතිය ඇති වූයේ දොළොස් වැනි සියවසෙන් පසු ව යැයි ඇතැමකු කීවා. එළාර රජු ආක‍්‍රමණියකු නොවන බව ඇඟවෙන අයුරින් ඉතිහාසය විවරණය කළා. මේ ලැයිස්තුව ඉතා දීර්ඝ එකක්. ඒවා එකින් එක අරගෙන කීමට බැහැ. මේ සියල්ලෙන් කෙළේ සිංහලයා මානසික ව දුර්වල කර සිංහල ජාතිකත්වය මොට කර සිංහලයා විශේෂයෙන් ම සිංහල බෞද්ධයා අපකීර්තියට හා ලැජ්ජාවට පත් කෙරීමයි. 

මේ අතර ඇතැම් ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකරුවන් භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධකම් ඇති කරගෙන ප‍්‍රගතිශීලී වෙසක් ගත්තා. එහි එක ම තේරුම වූයේ මේ රටේ බුදු දහමට ඇති ප‍්‍රමුඛස්ථානය නැතිකර භික්ෂූන් වහන්සේ ගේ තත්ත්වය පහත හෙළීමයි. ආගමික සමගි සංවිධාන, පැවිදි සංවිධාන ආදිය මගින් ඇතැම් ක‍්‍රිස්තියානි කතෝලික පූජකවරු භික්ෂූන් වහන්සේලා අභිබවා ඉදිරියට පැමිණියා. සංවිධාන ශක්තියෙන් හා මුදල් ශක්තියෙන් ඒ පූජකරුවන් භික්ෂූන් වහන්සේලාට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටි බැවින් ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙහෙයවීමටත් ඔවුන්ට පුළුවන්කම ලැබුණා. මොවුන් ගේ මේ ක‍්‍රියාමාර්ගය අෙඟ් ඉඳන් කණ කෑමක් ලෙස හැඳින්විය හැකියි. තිස්ස බාලසූරිය, යොහාන් දේවානන්ද ආදීන් මෙහි නායකයන්. 

ජගත් අධිරාජ්‍යවාදය ද මෙහි දී තම කාර්යය ඉටු කළා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වය නැසීමයි. ලංකාවේ ජාතිකත්වය නැසීම යනු පළමු ව සිංහල ජාතිකත්වය, විශේෂයෙන් සිංහල - බෞද්ධ ජාතිකත්වය නැති කෙරීමයි. ඒ සඳහා ඉහත කී දේශපාලන පක්ෂවලට මෙන් ම ඉහත කී සංවිධාන, කේන්ද්‍ර, ආයතනවලට ද ඔවුන් ගේ නොමසුරු ආධාරය ලැබුණා. 

මෙහි දී මාක්ස්වාදය ද මේ විජාතික බලවේගවල ආධාරයට පැමිණියා. විජාතික බලවේග යන්නෙන් මා අදහස් කරන්නේ විදේශීය බලවේග නොවෙයි. මේ රටේ ජාතිකත්වයට එරෙහි වූ සියලූ බලවේග විජාතික බලවේගයි. මාක්ස්වාදය අද වන විට සම්පූර්ණයෙන් ම බංකොලොත් දැනුම් පද්ධතියක් බව තහවුරු වී අවසානයි. මාක්ස්වාදීන්ට අද තම පැවැත්ම යුක්ති යුක්ත කරගත හැක්කේ ජාතිකත්වයට පහර ගැසීමෙන් පමණයි. ඔවුන් ගේ ආර්ථික ආකෘති සියල්ල දෙදරා යද්දී තම පැරණි බුද්ධිය යශෝරාවය රඳවා ගැනීමට හැක්කේ ජාතිකත්වයට එරෙහි ව ජාත්‍යන්තරවාදයක් ගැන කතා කෙරීමෙන් පමණයි. මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් අතර අද පැහැදිලි වෙනසක් දක්නට නැහැ. ආර්ථික, ජාතික ආදී සෑම ප‍්‍රතිපත්තියක දී ම ඔවුන් සියල්ලන් ම ඊනියා ලෝක ගම්මානයේ සම්මානනීය පුරවැසියන් ලෙස ජීවත්වීමට උත්සාහා කරනවා. අද ජගත් අධිරාජ්‍යවාදයේ සුවච සේවකයකු බවට මාක්ස්වාදය පත්වී තිබෙනවා. ජගත් අධිරාජ්‍යවාදයේ ලිබරල්වාදීන් අද මාක්ස්වාදය එක් එක් අයුරින් කියවිය හැකි බවක් පෙන්වමින් එය තම අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. මුල් කුණු වී ගිය මාක්ස්වාදය මොන අයුරින් කියෙව්වත් පැතිරෙන්නෙ දුඟඳක් පමණයි. 

මේ සියල්ලෙහි ප‍්‍රතිඵලය වශයෙන් සිංහලයන් අතර ම විශේෂයෙන් ම සිංහල - බෞද්ධයන් අතර ම තමන් වැරදිකාරයා ය යන හැඟීම පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන් ම වාමාංශික දේශපාලනයට යොමු වන තරුණයන් අතර මේ හැඟීම පැතිරුණා. එමෙන් ම සිංහල බෞද්ධයන්ට ගැරහීම ”ප‍්‍රබුද්ධත්වයට” පත් වීමේ පහසු ම මගක් කෙරුණා. 

(මතු සම්බන්ධයි)