History

Friday, 8 April 2016

බහුසංස්කෘතික බහුබූතය 5

බහුසංස්කෘතික බහුබූතය 5

සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන වේ ය යන පට්ටපල් බොරුව බටහිරයන් ලොව පුරා ප්‍රචාරය කළ ද ඒ එසේ නොවන බව අපි දනිමු. බටහිරයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත්වන ඇතැම් අනුකාරක නිවටයන්ට අවශ්‍ය නම් බටහිර කිසිවකු එසේ කියා නැතැයි කීමට හැකි ය. එහෙත් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙහි බටහිරයන් ප්‍රචලිත කරන බොරුව පැහැදිලිව ම දැකගත හැකි ය. නීතිය ඉදිරියෙහි මිනිස්සු සමාන නො වෙති. කොළඹ විශ්වවිද්‍යාලය මට විරුද්ධව නඩු කීමේ දී ඉතා ඉහළ ජනාධිපති නීතිඥයන්ගේ පිහිට ලබාගත්තේ ය. නීති පීඨයේ ආචාර්යවරු ද මට විරුද්ධව චෝදනා ගොනු කිරීමට එක්වූහ. උපකුලපති ජී එල් පිරිස් නීතිය පිළිබඳ මහාචාර්යවරයා ද විය. ඔහු වරක් මගෙන් විමසා සිටියේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ය.මා ඔහුට කියා සිටියේ අනෙක් ඇදුරන්ට විජාතික චින්තනය (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය) ඉගැන්වීමට හැකිනම් මට ජාතික චින්තනය (සිංහල බෞද්ධ චින්තනය) ඉගැන්වීමට හැකි බව ය. ඔහු තර්ජනාත්මක ව මගෙන් විමසුවේ දිගට ම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට බලාපොරොත්තු වන්නේ ද යන්න ය. බොහෝ සරසවි ඇදුරන්ට පමණක් නොව බටහිර දැනුම කටගාගත් ඇතැම් පාසල් ගුරුවර්න්ට ද (ඔවුහු ඊනියා වාස්තවික, විද්‍යාත්මක, ජාත්‍යන්තර බෞද්ධයෝ වෙති) සිංහල බෞද්ධ චින්තනය ගෝචර නොවන බවත් ඔවුන් ඒ මත පදනම් වූ දැනුමට ගරහන බවත් මම දනිමි.


ජී එල් පීරිස්ගේ තර්ජනයෙන් වැඩි දිනක් නොගොස් මට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත්විණි. ගෘහස්ථ පරීක්‍ෂණයෙහි සභාපති වූයේ හැරිස් ද සිල්වා නමැත්තකු ය. ඔහු වත්මන් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාගේ පියා ය. හැරිස් ද සිල්වා මෙන් ම විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චූලා ද සිල්වා ද චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධ වූ බව මෙහිලා සඳහන් කළ යුතු ය. මා වෙනුවෙන් උසාවිවල පෙනී සිටියේ එස් එල් ගුණසේකර ය. ඔහු නොමිළයේ ම මා වෙනුවෙන් පෙනී සිටි බව කෘතඥතාපූර්වක ව සඳහන් කළ යුතු ය. අවසානයේ දී ශ්‍රෙෂ්ඨාධිකරණ විභාගයෙ දී විනිසුරු මඬුල්ලේ සභාපති වුයේ සරත් නන්ද සිල්වා ය. ශ්‍රෙෂ්ඨාධිකරණය මට රුපියල් ලක්‍ෂ පහක් ගෙවන ලෙස විශ්වවිද්‍යාලයට නියම කළේ ය.

ජනාධිපති නීතිඥයන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින විට එස් එල් ගුණසේකරගේ ගණයේ නීතිඥයකු මා වෙනුවෙන් නොමිළයේ පෙනී නොසිටියේ නම් මගේ වත්කම අනුව මට ලබාගත හැකි වූ සාමාන්‍ය නීතිඥයකු මට සාධාරණය ඉටුකිරීමට සමත් වේ ද යන්න ප්‍රශ්නයකි (මෙයින් කියැවෙන්නේ මා වරදකරු බව හා එස් එල් ගුණසේකරගේ පිහිටෙන් නිවැරදිකරු වූ බව නොවන බව පඬියන්ගේ දුක්ඛ දොමනස්සය සඳහා වුව ද සටහන් කළ යුතු ය). එමෙන් ම ශ්‍රෙෂ්ඨාධිකරණහෙි දී මා වරදකරු යැයි තීරණය වී නම් පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් ද මට කිසිසේත් හිමි නොවනු ඇත. මා කොළඹ විශ්වවිද්‍යාලය සම්බන්ධ මගේ පෞද්ගලික කතාවක් සඳහන් කරන්නේ නීතිය ඉදිරියේ මිනිසුන් සමාන නොවන බව කීම සඳහා පමණ ය. නීතිය තබා බටහිර විද්‍යාවවත් වාස්තවික නො වේ. බටහිර විද්‍යාවේ ඇත්තේ හිතළු පමණ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවුයේ කුමක් ද යන්න පසුව විස්තරාත්මක ව ලියා තැබීමට බලාපොරොත්තු වෙමි. යමකුට අවශ්‍ය නම් කම්කරු උසාවියේ අදාළ නඩු විස්තරය කියවා තොරතුරු ලබාගත හැකි ය.

මිනිසුන් නීතිය ඉදිරියේ සමාන බවට බටහිරයන් ගෙන යන පට්ටපල් බොරුවටත් වඩා බොරුවක් ඊනියා බහුසංස්කෘතික සංකල්පයෙහි වෙයි. කිසිම ජනවර්ගයක සංස්කෘතිය සමජාතීය නොවූවත් අපට ඒ ජනවර්ගයෙහි පුද්ගලයන්ගේ සංස්කෘතිවල යම් පොදුබවක් දැකිය හැකි ය. එහෙත් රටක සංස්කෘති කිහිපයක් තිබිය හැකි ද? එසේ තිබේ නම් බටහිරයන් කියන ආකාරයට ඒ විවිධ සංස්කෘති සමාන වේ ද? ඇතැම් රටවල සංස්කෘති කිහිපයක් දක්නට ඇත. එසේ වීමට ඓතිහාසික හේතු බලපා ඇත. එහෙත් එවැනි රටක වුව ද විශේෂිත හෝ අධිපතිවාදී හෝ සංස්කෘතියක් ඇත. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් බහුසංස්කෘතික බහුබූතයෙන් අපට කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ලංකාවේ විශේෂිත සංස්කෘතිය නොවිය යුතු බව ය. ඒ ඔවුන්ගේ රටවල යම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇතැම් විට එකම සංස්කෘතිය හා සැම විටක ම අධිපතිවාදී සංස්කෘතිය ව තිබිය දී ය.

බොහෝ බටහිර රටවල දැකිය හැක්කේ එක් සංස්කෘතියක් පමණකි. ඒ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යම් ප්‍රභේදයකි. ඒ රටවල බොහෝ විට වෙනත් සංස්කෘතීන් දැකිය හැක්කේ නොගිණිය හැකි ආකාරයකිනි. එංගලන්තයේ හෝ කැනඩාවේ හෝ දැකිය හැකි බෞද්ධ සංස්කෘතිය කුමක් ද? සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන සඳහනක්වත් කළ හැකි ද? මා කලින් ලිපියක සඳහන් කළ ආකාරයට වෙසක් උත්සවය පැවැත්වීමට ඒ රටවල බෞද්ධයනට සෙනසුරාදා හෝ ඉරිදා හෝ දිනයක් එන තුරු බලා සිටීමට සිදුවෙයි. ඔවුනට සිල් සමාදන් වීමට සිදු වී ඇත්තේ වෙසක් පොහොය ගෙවී ගියාට පසුව ය. එසේ වෙසක් උත්සවය පැවැත්වුවත් ඒ බවක් දන්නෝ කී දෙනෙක් අදාළ රටේ වෙත් ද?

කලකට පෙර බීබීසී ගුවන්විදුලිය (සංදේශය නො වේ්, සංදේශයට බීබීසියෙහි ලැබෙන සැලකිල්ල ගැන වෙන ම කතාකළ යුතුය) වෙසක් උත්සවය පවත්වන්නේ කෙසේ දැයි වෙසක් දිනයක දී මගෙන් විමසා සිටියේ ය. මා ඔවුන්ට පැවසුවේ අපේ සම්ප්‍රදායේ පිළිවෙළට අප ගිය වසරේ පැවැත් වූ ආකාරයට වෙසක් උත්සවය පවත්වන බව ය. එහෙත් නිවේදකයාට දැනගැනීමට අවශ්‍ය වූයේ ඉංගිරිසින්ට අවශ්‍ය අන්දමේ විස්තරයකි. එයින් පසු බීබීසිය මට කතාකර නැත.

මේ සිද්ධියෙන් කියැවෙන කතාව යටත්විජිතවාදය සමග ගැටගැහෙයි. ලංකාවේ කිසිම ගුවන් විදුලි නාලිකාවක් එංගලන්තයේ වැසියකුගෙන් නත්තල පවත්වන්නේ කෙසේ දැයි නත්තල් දිනක අසාවි ද? නත්තල ගැන සියළු ලෝකවාසීන් දැන සිටිය යුතු ය. එහෙත් වෙසක් උත්සවය ගැන ඉංගිරිසිහු නො දනිති. බටහිරයන් ලොවේ රටවල් යටත් කරගත් පසු ඔවුන්ට ක්‍රිස්තියානි නොවන සංස්කෘති හමුවිය. වෙනත් ජනවර්ග හා ජාතීන් හමුවිය. ඒ ජනවර්ග පාලනය කිරීම සඳහා ඔවුන් ගැන අධ්‍යයනය කිරීම අවශ්‍ය විය. උගතුන්ගේ මානව විද්‍යාව (ඇන්ත්‍රොපොලජි) එහි ප්‍රතිඵලය විය. එහෙත් සාමාන්‍ය ජනයාට ඒ ගැන වැටහීමක් නැත. අප ඔවුන්ට වෙසක් උත්සවය ගැන කියා දිය යුතු ය.

මානව විද්‍යාව බටහිරයන්ට සත්ත්ව විද්‍යාවට වඩා ආකල්පමය වශයෙන් වෙනස්වන්නේ නම් ඒ අනෙක් මිනිසුන් ගැන දැනගෙන ඔවුන් පාලනය කිරීම සඳහා ය. මාර්ටින් වික්‍රමසිංහට ලංකා විශ්වවි්‍යාලයයෙහි උගන්වනු දැකීමට අවශ්‍ය වූයේ මේ මානව විද්‍යාව ය. ගණනාථ ඔබේසේකර (දුටුගැමුණුගේ හෘදය සාක්‍ෂිය), ස්ටැන්ලි තම්බයියා (බුදුදහම පාවාදීම) වැනි අය බටහිර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් වූයේ බටහිරයන්ට ගැලපෙන පරිදි අපේ සංස්කෘතීන් විවරණය කිරීමෙනි. බටහිර මානව විද්‍යාව යනු තවත් බටහිර විද්‍යාවක් බවත් එය ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂව බිහි වී ඇති බවත් මේ මහාචාර්යවරුන්ටත් බොහෝ ඊනියා උගතුන්ටත් නො තේරෙයි. බටහිර ලෝකයෙහි අනෙක් බොහෝ සංස්කෘතීන් දෙස බලන්නේ උඩ සිට පහතට ආකල්පයෙනි. (මතු සම්බන්ධයි)

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 08