History

Tuesday, 26 April 2016

ෆෙඩරල් මගඩිය

ෆෙඩරල් මගඩිය

වාර්තා වන අන්දමට උතුරු පළාත් සභාව උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය බෙදීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන ඇත. මේ දෙමළ ජනයාගේ ඉඩම් යැයි කියමින් සම්බන්ධන් හමුදා කඳවුරකට කඩා පැන ඇත. එංගලන්තයේ විරුද්ධ පක්‍ෂයේ නායකයා දෙමළ ජනයාට සාධාරණය ඉටු වී ස්වයං පාලනය ලැබෙන තෙක් යුද්ධය අවසන් නොවන බව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල මේ කිසිවකට ප්‍රතිචාර නො දක්වයි. දැක්වුව ද වැඩක් නැත. ඔහු කියන කිසි දෙයක් කිසිවකු බැරෑරුම් ව නොසිතන බව පැහැදිලි ය. ඔහුට කළ හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන මැති ඇමතිවරුන්ට එ ජා ප වෙනුවෙන් තර්ජනය කිරීම පමණ ය. එය ද වැඩි කලකට නො වේ.


මේ ෆෙඩරල් වංචාව යළි කළ එළි බැසීම පිළිබඳ වරද කරුවෝ් මෙරට සිංහල ඊනියා උගත්තු හා ඔවුන්ගේ බසට පමණක් කන් දෙන සිංහල දේශපාලනඥයෝ ය. නැවතත් මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, විජයගේ සිට, නැත එයටත් පෙර සිට මෙරට දෙමළ ජනයා වාසය කළ බව හා මෙරට අනාදිමත් කාලයක සිට දෙමළ රාජ්‍යයක් පැවති බව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ නිජ භූමි බව ආදී කතා ඇසෙමින් පවතියි. දැන් ඇසෙන්නට නැත්තේ බෞද්ධයන්ට යුද්ධ කිරීම අකැප යැයි යන කතාව පමණකි. අවුරුදු තිහක් තිස්සේ විවිධ පුද්ගලයන් විසින් මේ කතා ප්‍රතික්‍ෂෙප කෙරී ඇති නමුත් ඒ කතා නැවතත් ඇසෙන්නේ ඇයි? 

බොහෝ සිංහල උගතුන් යැයි කියන්නන්ට ප්‍රභාකරන් ඇති වූයේ කෙසේ ද යන්නට නිසි පිළිතුරක් නැත. ඇතැමුනට අනුව ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු පමණ ය. ඔහු දෙමළ ත්‍රස්තවාදියකු බව හා ඔහු දෙමළ ජාතිවාදයේ විකාශයේ එක් අවස්ථාවක් නියෝජනය කළ බවත් ඔහු පොන්නම්නබලම් රාමනාදන්ගේ දේශපාලන මුණුබුරකු වූ බවත් පිළිගැනීමට ඔවුහු තවමත් අකමැති වෙති. ඊනියා උගතුන් පමණක් නොව මේ ලිපි මුහුණු පොතෙන් හෝ කාලය වෙබ් අඩවියෙන් හෝ කියවන අයගේ ද ප්‍රශ්නයේ ඉතිහාසයට යෑමට එතරම් කැමැත්තක් නැත. පාඨකයන් මේ ලිපිවලින් අඩුවෙන් ම කියවන්නේ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතෙන් උපුටා දක්වමින් ලියන ලිපි ය. අවුරුදු තිහක් තිස්සේ මම මේ ප්‍රතිචාරය අත්දුටුවෙමි. ඉතිහාසය ගැන ලිවීමට ඇරඹූ දිනවල ම එක්තරා ජනමාධ්‍යවේදියකු මගෙන් ඇසුවේ වත්මන් ප්‍රශ්න ගැන නොලියා ඉතිහාසය ගැන ලියන්නේ ඇයි ද කියා ය. ඉත්ිහාසය තේරුම් නොගෙන වර්තමානය තේරුම් ගැනීමට නොහැකි බව නැවත නැවතත් කීමට සිදුවීම කණගාටුදායක ය. 

සිංහලයන් ඉතිහාසයට අකමැති ඇයි? මෙතරම් වංස කතා ඇති සිංහලයන්ට ඉතිහාසයේ වටිනාකම නොතේරෙන්නේ ඇයි? මහාවංසය යනු වත්මන් බටහිර අර්ථයෙන්් ඉතිහාස පොතක් නොවුණ ද එහි ඇත්තේ ඉතිහාසය ය. ඉතිහාසය යන්න ද කතාවකි. වර්තමානය තේරුම් ගැනීමට පමණක් නොව වර්තමානයේ ගත යුතු ක්‍රියා මාර්ග කවරේද යන්න ගැන ඉඟියක් දීමත් ඉතිහාස කතාවෙන් කෙරෙයි. මෙරට දෙමළ බලපෑම් වැඩි වූ පස්වැනි සියවසේ පමණ මහාවංසය ලියැවී ඇත්තේ හුදී ජන පහන් සංවේගය සඳහා පමණක් යැයි මම නො සිතමි. මහාවංසය ලියැවුනේ යම් පසුබිමක ය. මෙරට එකල වූ දෙමළ (සොළී)  බලපෑම්වලට එරෙහිව විජය-අශෝක ආධිපත්‍යය එයින් තහවුරු කෙරී ඇත. ඒ අතර චුල්ලහත්ථිපදොපම සූත්‍රය ඔස්සේ ඉන් පසුව කතාකීම (ප්‍රවාද ගෙතීම) අවතක්සේරු කර ඇත. සිංහලයෝ දැන් කතා කීමේ අදක්‍ෂයෝ වෙති. 

එක් සිංහල උගතකුගේ එක් කතාවකට අනුව මෙරට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය වෙල්ලාලයන් දෙමළ ජනතාව අතර තම ආධිපත්‍යය සඳහා කරන ලද කුලවාදී සටනක් ජාතිවාදී සටනක් බවට පරිවර්තනය කිරීම මගින් ඇතිවූවකි. එහි කිසිම සංගත බවක් නැත. කුලවාදී සටනක් ජාතිවාදී සටනක් බවට පත්කෙරුණේ කෙසේ ද? ඒ සටනේ නායකත්වය වෙල්ලාල නොවන ප්‍රභාකරන්ට හිමිවූයේ කෙසේ ද? වෙල්ලාලයන් අද ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රාන්තවල දකින්නට ඇත. විවිධ උපකුලකවලට අයත් වෙල්ලාලයන් තමිල්නාඩුවේ ද, කේරළයේ ද, ආන්ද්‍ර ප්‍රදේශයේ ද දක්නට ඇත. එහෙත් ඒ එක් ප්‍රාන්තයකවත් ඔවුන්ට දේශපාලන බලයක් නැත. දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයේ ද ලන්දේසීන්ගේ කාලයේ එහි ගෙන ගිය වෙල්ලාලයෝ වෙති. ඔවුන්ට ද ගාන්ධි එහි සිටි කාලයේ සිට දේශපාලන බලයක් නැත. ලංකාවේ වෙල්ලාලයන්ට පළමුව යාපන අර්ධද්වීපයේ ද පසුව කොළඹ ද දේශපාලන බලයක් ලැබුණේ කෙසේ ද? අප තේරුම් ගත යුත්තේ (වෙන ක්‍රමයක් නැති බැවින් ප්‍රවාදයක් මගින්) ඒ ප්‍රශ්නයත් ඔවුන් ඒ බලය අත්හැරීමට සූදානම් නැතිකමේ ප්‍රශ්නයත් ය. ලන්දේසීන් හා ඉංගිරිසින් නොවන්නට වෙල්ලාලයන්ට එවැනි බලයක් අත් නොවේ. ඒ බලය අත්හැරීමට ඔවුන් සූදානම් නැත්තේත් යටත්විජිතවාදීන් නිසා ය. එංගලන්තයේ විරුද්ධ පක්‍ෂයේ නායකයාගේ ප්‍රකාශය එයට උදාහරණයකි. යටත්විජිතවාදීහු වෙල්ලාලයන්ට බලය දී සිංහල බෞද්ධයන් මර්දනය කිරීමට පාගා දැමීමට ඔවුන් යොදා ගත්හ. දැනුත් යොදාගනිති. ඒ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ය. 

ප්‍රභාකරන් වෙල්ලාලයකු නොවූව ද ඔහු යටත්විජිතවාදීන් විසින් වෙල්ලාලයන් යොදා ඇති කළ දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධයේ ප්‍රතිඵලයකි. වෙල්ලාල නායකයන් යොදා වපුරවනු ලැබූ සිංහල බෞද්ධ විරෝධයට එවැනිම විරෝධයක් ඇති ඇතැම් කතෝලික පූජකයෝ ද ක්‍රිස්තියානි පූජකයෝ ද කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රභූහු ද බටහිර මතවාද පතුරවන පුහු පඬියෝ ද ඇංග්ලිකන් සංස්කෘතියේ දේශපාලනඥයෝ ද එකතු වූහ. ඒ ව්‍යාපාරයට වෙල්ලාල නොවන දෙමළ ජනයා ද සහභාගි කරවාගැනීම චෙල්වනායගම්ගේ අරමුණ විය. එසේ නොමැතිව ඒ සාර්ථක කරගැනීමට නොහැකි බව ඔහු තේරුම් ගෙන සිටියේ ය. මේ සියල්ල පිටුපස එංගලන්තය ප්‍රමුඛ බටහිර ඇංග්ලිකන් හා වෙනත් ක්‍රිස්තියානි රටවල් ද ඉන්දියාව ද විය.  

අප 2009 දී පරාජය කෙළේ ප්‍රභාකරන් පමණක් නො වේ. ප්‍රභාකරන් සමග දෙමළ ජාතිවාදය ද පරාජය කෙරිණි. ප්‍රභාකරන් එවකට දෙමළ ජාතිවාදයේ අවසන් ප්‍රතිඵලය පමණක් විය. අවසානයත් සමග සමස්ත ක්‍රියාවලි ය පරාජයට පත්විය. එහෙත් දෙමළ ජාතිවාදයේ විකාශයක් ඉතිහාසයක් නොදුටු සිංහලයෝ ප්‍රභාකරන් හුදු ත්‍රස්තවාදියකු ලෙස පමණක් සලකා දෙමළ ජාතිවාදයේ පරාජය නො දුටුවෝ ය. ජයග්‍රාහකයා දෙමළ ජාතිවාදය පරාජය කළ බව නොදකින විට දෙමළ ජාතිවාදීහු තම ජාතිවාදී ස්ථාවරය දිගට ම ගෙන ගියහ. ඔවුන්ට එහි දී බටහිර රටවල හා ඉන්දියාවේ සහාය ලැබෙයි. 

අද දෙමළ ජාතිවාදීන් නැවතත් සන්ධීය (ෆෙඩරල්) හා සහසන්ධීය කතා කියන්නේ සිංහලයන් ප්‍රභාකරන් යනු රාමනාදන්ගේ මුණුබුරකු ලෙස හැඳින නොගත් බැවිනි. ප්‍රභාකරන් ඉතිහාසයෙන් වෙන් කෙරුණු විට ඉතිහාසය මතුවීම පුදුමයට කරුණක් නො වේ. 

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.  

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 26