ආගම හා සංස්කෘතිය
අපේ අරමුණ ඕල්කට් බුද්ධාගම ගැන තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කිරීම ය. මේ ලිපි ඒ සඳහා හැඩ ගැස්වීමක් වෙයි. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ ඊනියා උගතුන්, ඇතැම් ජාතිකවාදීන් ද ඇතුළුව, සිංහල බුද්ධාගම වෙනුවට ඕල්කට් බුද්ධාගම අනුගමනය කිරීම ය. දේශපාලනඥයෝ සම්මත උගතුන්ට පිටින් යෑමට අකමැති වෙති. දේශපාලනඥයන් බාගෙට (අර්ධ වශයෙන්) නොව මුළුමණින් ම සිංහල බුද්ධාගම අනුගමනය කරන්නේ නම් අපේ රටේ ප්‍රශ්න බොහෝමයකට විසඳුම් සොයා ගත හැකි ය. අඩුම තරමෙන් ප්‍රශ්න කවරේ දැයි තේරුම් ගත හැකි ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නයක් ඇතැයි සැලකෙන්නේ දේශපාලනඥයන් සිංහල බුද්ධාගම පූර්ණ වශයෙන් අනුගමනය නොකරන බැවිනි. බොහෝ දෙනා නොදන්නා අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර වූ මතගැටුම සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම අතර වූ වෙනසෙහි ප්‍රතිඵලයකි. ඕල්කට්තුමා සීකීමයෙන් පැමිණි මහින්ද හිමියන් මෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය වැළඳ නො ගත්තේ ය. මෙරට ඊනියා උගත්තු ඕල්කට්තුමා ගැන දනිති. වයස්ගත ගැමියෝ මහින්ද හිමියන්ගේ නිදහසේ කවි දනිති. තරුණ භික්‍ෂූන් වහන්සේට ඒ කවි මතක් කර දිය යුතු ය.
උගතකු නොවන මට ආගමක් ඇත. ඒ සිංහල බුද්ධාගම ය. ඒ මගේ සංස්කෘතිය ද වෙයි. මා උගතකු නොවන බැවින් මට දෙවියන් ඇතැයි යනුවෙන් ගැනීමටවත් දෙවියන්ගෙන් උපකාරයක්් ගත හැකි නම් එසේ ගැනීමටවත් බාධාවක් නැත. අවාසනාවකට මට වර්ධනය වූ ආධ්‍යාත්මික ශක්තියක් නැත. එබැවින් ආධ්‍යාත්මික ව දැනුම සංස්කරණය කිරීමට, නිර්මාණය කිරීමට මට නො හැකි ය. මෙහි නිර්මාණය යන්න දෙවියන් වහන්සේගේ නිර්මාණය සමග පටලවා ගත යුතු නො වේ. ඒ හේතුවෙන් මට ද බටහිරයන් මෙන් ප්‍රවාද නිර්මාණය කිරීමට සිදු වී ඇත. ඒ මා බටහිරයන්ගෙන් ඉගෙන ගත් ප්‍රධාන ම කරුණ ය (ඇතැමුන් කෙසේ කීවත් මා බටහිරයන්ගේ සියල්ල ප්‍රතික්‍ෂෙප කරන්නේ යැයි කිසිම තැනක සඳහන් කර නැත). එහෙත් මට ඔවුන්ගේ චින්තනයෙහි, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි, ප්‍රවාද නිර්මාණය කිරීමට නො හැකි ය. මට බටහිර වි්‍යාඥයකු වීමට නොහැකි වූයේ එබැවිනි. මට ප්‍රවාද නිර්මාණය කළ හැක්කේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ව ය.
ආගමක් යනු කුමක් දැයි නිර්වචනය කිරීම පසුවට කල් තබමු. බුදුදහම එසේ නොවූවත්, බුද්ධාගම ද ඇතුළු ආගම් ද දැනුම් පද්ධති වෙයි (බුදුදහම හා ඕනෑම බුද්ධාගමක් අතර වෙනසක් වෙයි). ආගම් බිහිවන්නේ ද සංස්කෘතියක යම් චින්තනයක් පදනම් කරගනිමිනි. නැතහොත් චින්තන විප්ලවයක් කරමිනි. විප්ලවය යනු ලේ හලාගන්නා දෙයක් යන හැඟීම ඇති කළෝ මාක්ස්වාදීහු ය. බුදුන්වහන්සේ ද විප්ලවයක් කළහ. ඒ චින්තන විප්ලවයකි. එළඹෙන වෙසක් සමයෙහි දී ඒ චින්තන විප්ලවය මෙනෙහි කරමු. චින්තන විප්ලවයක් සමග සංස්කෘතිය ද වෙනස් වෙයි. චින්තන විප්ලවයක් නොමැති ව වුව ද ආගමක් මගින් සංස්කෘතිය වෙනස් කළ හැකි ය. මෙහි ඇත්තේ චක්‍රීය චින්තනයකි. ආගමක් සංස්කෘතියක බිහිවිය හැකි අතර ආගමෙන් සංස්කෘතිය වෙනස් කෙරෙයි. මේ කාරණය ප්‍රශ්නයක් වන්නේ රේඛීය චින්තනය අනුගමනය කරන්නන්ට ය. කිකිළිය ද බිත්තරය ද යන්න සිංහල බෞද්ධයන්ගේ නොව බටහිරයන්ගේ ප්‍රශ්නයකි. අපේ ශිෂ්‍යයන්ට එවැනි ප්‍රශ්නවල ඇති ව්‍යාජය කියා දිය යුතු ය. වෘත්තයකට, රවුමකට, අවශ්‍ය නම් සංවෘත වක්‍රයකට, ආරම්භයක් හෝ අවසානයක් හෝ නැත. එසේත් නැත්නම් අවසානයත් ආරම්භයත් එක ම ලක්‍ෂ්‍යක වෙයි.
බටහිර ක්‍රමයට දවස රාත්‍රී දොළහට අවසන් වී පසු දවසේ ආරම්භය සිදුවන්නේ රාත්‍රී දොළහයි නැනෝ තත්පරයකට (ක්‍ෂණයකට) පසුව ද එසේත් නැත්නම් දවස රාත්‍රී දොළහට නැනෝ තත්පරයකට (ක්‍ෂණයකට) පෙර අවසන් වී පසු දවස රාත්‍රී දොළහට ආරම්භ වන්නේ ද යන්න දැනගැනීමට මගේ මුණුබුරන්ට අවශ්‍ය විය. එකී අවසානයත් ආරම්භයත් එකවිට රාත්‍රී දොළහට සිදුවන බව තේරුම් ගැනීමට තරම් චක්‍රීය චින්තනයක් ඔවුන් සතු විය. පෙර දවසේ අවසානය ම පසු දවසේ ආරම්භය වෙයි. බටහිර විශ්වවේදයේ (Cosmology) විශ්වයට ආරම්භයක් ඇත. එය බිග් බෑන් (මහා පිපිරුම) යනුවෙන් හැඳින්වෙයි. සිංහල බෞද්ධ විශ්වවේදයේ විශ්වයට ආරම්භයක් නැත. ඇතැම් විද්‍යාත්මක බෞද්ධයන්ට අනුව බටහිර විශ්වවේදය බෞද්ධ විශ්වවේදය ම වෙයි!
මේ අතරක් නැති වීම අපේ චින්තනයෙහි වැදගත් ලක්‍ෂණයකි. ක්‍ෂණයක් ඇත්නම් ඒ කෙතරම් කුඩා වුවත් එහි පැවැත්මක් ගැන කියැවෙයි. එනම් ආත්මවාදී වෙයි. ක්‍ෂණවාදයට ප්‍රශ්නයක් වන්නේ එහි ය. බටහිරයන්ට ශූන්‍ය වූ ක්‍ෂණයක්, අතරක්, නැත. ඔවුහු බටහිර ගණිතයේ දී මෙන් සීමාවේ දී ශූන්‍ය කරා එළඹෙන අතර, අන්තර, ගැන කතාකරති.
සංස්කෘතීන් එකිනෙක මුණගැසීමේ දී සිදුවන්නේ කුමක් ද? එය දැනුම තවත් සංස්කෘතියක දැනුමට එකතුවීමේ දී ද සිදුවෙයි. දැනුම යනු සංස්කෘතියක එක් කොටසක් පමණකි. දැනුම ගැන කතාව මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි. සංස්කෘතියක් ද ක්‍රම හතරකින් වෙනස් වෙයි. එය තවත් සංස්කෘතියක් සමග මුණගැසීමෙන් සිදුවිය හැකි ය. එහි දී එක් සංස්කෘතියක යම් අංගයක් අනෙක් සංස්කෘතිය මගින් ආරෝපණය, අනුකරණය, අවශෝෂණය යන තුනෙන් එකක් හෝ කිහිපයක් හෝ කෙරීමෙන් සිදුවිය හැකි ය. මේ එකක්වත් නිසා ඇතිවන්නේ සංස්කෘතියෙහි වෙනස් වීමකි. එය අස්වාභාවික නො වේ. අවශෝෂණයෙහි දී පමණක් ඒ වෙනස්වීම සංගත ව කෙරෙයි. අනෙක් අවස්ථා දෙකෙහි එය අසංගත ව සිදුවිය හැකි ය. එබැවින් ම ඕනෑම සංස්කෘතියක ඒ ඒ අංග අතර අසංගතභාවයන් දැකිය හැකි ය. එය සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් විශේෂිත නො වේ. අද චීන සංස්කෘතියෙහි මේ අසංගතබව වෙන කවරදාටවත් වඩා කැපී පෙනෙන ආකාරයකට සිදුවෙයි. සංස්කෘතියක් වෙනස්වන හතරවැනි ක්‍රමයෙහි දී ඒ සංස්කෘතිය මගින් ම යම් යම් නව අංග ඇති කෙරෙයි.
යම් සංස්කෘතියක ආගමක් තවත් සංස්කෘතියකට බලයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ හඳුන්වාදීමේ දී ද දෙවැනි සංස්කෘතිය වෙනස් වෙයි. දෙවැනි සංස්කෘතියෙහි ආගමක් ද අනුරූප ව වෙනස් විය හැකි ය. මෙරට මූල සිංහලයන්ගේ බුද්ධාගම මහින්දාගමනයෙන් පසුව වෙනස් වී ඇත. එමෙන් ම ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පසුව සිංහල බුද්ධාගම ද වෙනස් වී ඇත. ඇතැමුන් අතර එය වෙන ම බුද්ධාගමක් වී ඇත්තේ ඕල්කට් බුද්ධාගම ලෙස ය. ඕල්කට් බෞද්ධයන් ඕල්කට්තුමා පැමිණීමට පෙර සිටිය ද ඒ සංවිධානාත්මක ආගමක් බවට පත්වූයේ එතුමාගේ පැමිණීමෙන් පසුව ය.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 මැයි 11