History

Friday, 13 May 2016

බුදුදහම හා බුද්ධාගම

බුදුදහම හා බුද්ධාගම

මහායාන, හීනයාන, එහි ප්‍රභේදයක් වූ ථෙරවාද, මූල සිංහල, සිංහල, ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා ආදී වශයෙන් බුද්ධාගම් රාශියක් වෙයි. මේ සෑම බුද්ධාගමට ම එයට ආවේණික බුදුදහමක් වෙයි. සියල්ලන්ට පොදු වූ බුදුදහමක් නැත. බුදුදහම හා බුද්ධාගම අතර වෙනසක් තිබුණ ද එහි බැඳීමක් ද වෙයි. ඕනෑම බුද්ධාගමකට බුදුදහමක් අවශ්‍ය වුව ද බුදුදහමකට බුද්ධාගමක් අවශ්‍ය නො වේ. විද්‍යාත්මක බුද්ධාගමෙහි බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ වෙයි. එහෙත් එහි ප්‍රශ්නයක් වෙයි. මේ එකඟත්වය වත්මන් බටහිර විද්‍යාවේ ප්‍රවාද සමග ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද වෙනස්වන විට විද්‍යාත්මක බෞද්ධයෝ තම බුදුදහම ද වෙනස් කරත් ද? ඔවුන් දැනටමත් එසේ කර ඇත. අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියැවෙන්නේ සංකෝචනය වන ප්‍රසාරණය වන විශ්වයකි. විශ්වයට ආරම්භයක් ඇත්නම් ජීවීන් ආරම්භ වූයේ කෙසේ ද? රසායනික පරිණාමයකින් ද? ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ නැවත ජීවිත ආරම්භ කරන්නේ මවන ලද ජීවීන්වත් රසායනික පරිණාමයකින් හටගත් ජීවීන්වත් නොව හිටපු ජීවීන් ය. එහෙත් අද විද්‍යාත්මක බෞද්ධයෝ මහා පිපිරුමට සරිලන ලෙස අග්ගඤ්ඤ සූත්‍රය වෙනස් කරති. 


ඕල්කට් බුද්ධාගමෙහි සිංහලකම නැත. එය ඊනියා මානවීය බුද්ධාගමකි. ඒ හේතුවෙන් ද එය සිංහල බුද්ධාමෙන් වෙනස් ය. එහි බුදුදහම යථාර්ථවාදී ය, හේතුවාදී ය, ඒ අතර පරම විඥානාර්ථයක් සමග ද ගැට ගැසී ඇත. පරමවිඥානාර්ථය අවශ්‍ය ම නම් මහායාන අදහසක් යැයි කිවහැකි වුවත් ඒ වෛදික සංකල්පයකි. ඕල්කට් බුද්ධාගමෙහි ඇතැම් අංග අද සිංහල බුද්ධාගමට ද එකතු වී ඇත. ඒ අතර ඉටිපන්දම්, බෞද්ධ කොඩිය (ඒ කලාත්මක බවක් නැති ජාත්‍යන්තර කොඩියකි), එලියපෙට්ටි හෙවත් බකට්, වෙසක් කාඩ් (සුබ පැතුම්), පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ ඊනියා බෞද්ධ පාසල් (දැන් ආණ්ඩුවේ බෞද්ධකම ආරෝපණය වූ පාසල්),  ඉරිදා පාසල් (දැන් දහම් පාසල්), කැරොල් (දැන් භක්ති ගී) ආදිය වෙයි. ඕල්කට් බුද්ධාගමට දන්තධාතූන් වහන්සේ නැත. ඕල්කට්තුමා ඒ අවිශ්වාස කෙළේ ය. එහෙත් සිංහල බුද්ධාගමෙන් දන්තධාතූන් වහන්සේ ඉවත් කිරීමට නො හැකි විය.    

බුදුන්වහන්සේගේ බුදුදහම කුමක් දැයි දන්නා අයකු සිටින්නේ යැයි මම නො සිතමි. ඒ දහම පසක් කරගත හැක්කේ තවත් බුදු කෙනකුට පමණක් යැයි මම සිතමි. රහතන් වහන්සේට නිවන ප්‍රත්‍යක්‍ෂ වුව ද බුදුන්වහන්සේගේ අවබෝධය (ප්‍රත්‍යක්‍ෂය) නැත. අප එකිනෙකාගේ බුද්ධාගම් වෙනස්වන්නාක් මෙන් ම එකිනෙකාගේ බුදුදහම් ද වෙනස් වෙයි. බුදුන්වහන්සේගේ බුදුදහම හැරෙන්නට අනෙක් බුදුදහම් ද අවසාන වශයෙන් ගත්කල එකිනෙකාගේ අර්ථකථන ය. ඒවා එකිනෙකාට සාපේක්‍ෂ ය. 

ථෙරවාදී බුදුදහමෙහි ත්‍රිපිටකයක් ඇත. ඇතැමුනට අනුව අභිධර්ම පිටකය බුදුන්වහන්සේගේ දෙසුමක් නො වේ. සෞත්‍රාන්තිකයන්ට ද අභිධර්ම පිටකයක් නො වී ය. ඔවුන්ට සූත්‍ර පිටකයෙන් බුදුදහම අවසන් විය. ඔවුන් සෞත්‍රාන්තිකයන් (සූත්‍ර + අන්ත) වූයේ  එබැවිනි. පළමු සංගායනාවේ දී අභිධර්ම පිටකයක් ගැන කියැවී නැති බව පැවසෙයි. අභිධර්ම පිටකය ඇතැයි ගන්නා අයගේ ද අභිධර්ම පිටක සමාන නො වේ. ථෙරවාදී අභිධර්ම පිටකය සර්වස්තවාදී අභිධර්ම පිටකයෙන් වෙනස්වන්නේ යැයි කියැවෙයි. ථෙරවාදී අභිධර්ම පිටකය පාලි භාෂාවෙන් ලියැවී ඇති අතර සර්වස්තවාදී අභිධර්මය අද දකින්නට ඇත්තේ චීන බසිනි. ඒ දැනට හමු වී නොමැති සංස්කෘත භාෂාවෙන් ලියූ පිටකයක චීන පරිවර්තනය ලෙස සැලකෙයි. කෙසේ වෙතත් ථෙරවාදී අභිධර්ම පිටකයෙහි මෙන් ම සර්වස්තවාදී අභිධර්ම පිටකයෙහි ද ධර්ම ගැන සඳහන් වෙයි. එහෙත් එහි වෙනස්කම් ද  වෙයි. ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් වන්නේ ධර්ම හතරකි. ඒ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යනුවෙනි. නිබ්බාන අසංකත වෙයි. නිබ්බාන උපදින්නේවත් නැසනේනේවත් නැත. ථෙරවාදයට අනුව අනෙක් ධර්ම ඉපදී පැවතී නැසෙයි. මේ පැවැත්ම ක්‍ෂණවලින් (චිත්තක්‍ෂණ, රූපක්‍ෂණ) ප්‍රකාශ වෙයි. වත්මනෙහි මේ සියල්ල බටහිරයන් අනුකරණය කරමින් ධර්මවාදය හා ක්‍ෂණවාදය ලෙස ප්‍රකාශ වෙයි. මෙහි වාද යනුවෙන් අදහස් කරන්නේ තියරි හෙවත් ප්‍රවාද ය. 

එහෙත් පැවැත්ම යන්න ගැටළු සහගත ය. පවතින යමක් වෙනස්වන්නේ ද? වෙනස්වන්නේ නම් එහි පැවැත්මක් ඇත් ද? වෙනස්වන යමක් පවතින්නේ යැයි කීමේ දී ආත්මයක් ඇතැයි ගැනීමට සිදුවෙයි. මා කුඩාකල සිට වෙනස් වී ඇතැයි කීම නිවැරදි නො වේ. එසේ කීමත් සමග වෙනස්වීමට යටින් ඇති මා කෙනකු ඇතැයි උපකල්පනය කෙරෙයි. ඇති වී නැතිවන සංස්කාර කුලකයක් ඊනියා මා විසින් වස්තුවක් ලෙස ගැනෙයි. සංස්කාර හටගැනෙන්නේ අවිද්‍යාව නිසා ය. ඇතැම් බුදුදහමක මේ පැවැත්ම නැති බව අපේ අවධානයට යොමු විය යුතු ය. ථෙරවාදය ලෙස  අප සලකන්නේ දෙවැනි හා තුන්වැනි සංගායනාවලින් පසුව සංස්කරණය වූ බුදුදහමකි. එහි බොහෝ විට අටුවා, ටීකා හා ටිප්පණි ද අඩංගු වෙයි. මේ අටුවා ආදිය රහතන් වහන්සේවත් නොව පෘථග්ජනයන් එකතු කළ කරුණු, අර්ථදැක්වීම් ආදියෙන් සමන්විත වෙයි.

සර්වස්තවාදී අභිධර්ම පිටකයෙහි ථෙරවාදයෙහි නැති පස්වැනි ධර්මයක් ගැන කියැවෙයි. ඒ චිත්තවිප්‍රයුක්තසංස්කාර යනුවෙනි. ඒ චිත්තයෙන් වෙන් වූ, විඝටනය වූ, සංස්කාර ය. එමෙන් ම සර්වස්තවාදීන්ට අනුව නිබ්බානයෙහි කොටස් තුනක් ඇතුළත් වෙයි. ඒ අවකාශ ධර්මය හා අවසන් (නැසුම්) අවස්ථා දෙකක් යනුවෙනි.  ථෙරවාදයෙහි ධර්ම අසූදෙකක් ගැන කියැවෙන අතර සර්වස්තවාදයෙහි කියැවෙන්නේ ධර්ම හැත්තෑපහක් ගැන ය. 

මෙහි දී බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා දෙයක් ද සඳහන් කළ යුතු ය. ථෙරවාදී සිංහල බුද්ධාගමට අනුව බුදුන්වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ මාතෘදිව්‍යරාජයාණන්ට ය. එහෙත් මූල සිංහල (යක්‍ෂ) බුද්ධාගමට අනුව බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කර ඇත්තේ ලංකාවේ දී යක්‍ෂ ජනතාවට ය! බුද්ධාගම් අතර මොන තරම් වෙනස්කම් වේ ද?

මගේ වැටහීම අනුව නම් බුදහමෙහි කියැවෙන්නේ දැනුම නොදැනුම බවට පත්කරගත යුතු ය යන්න ය. එහෙත් ඒ නිවන් අවබෝධය සඳහා මිස ගොවිතැන, වෙළෙඳාම, දේශපාලනය හෝ වෙනත් යමක් හෝ සඳහා නො වේ.  ඒ සඳහා දැනුම් අවශ්‍ය වෙයි. එහෙත් ඒ දැනුම් එකතු වන්නේ යම් සංස්කෘතියකට සාපේක්‍ෂව ය. පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දේශපාලනය යන වචනය නො වී ය. එහෙත් එහි රාජ්‍ය විචාළයක්, එයටත් වඩා රට කරවීමක් විය. එහි වත්මන් අර්ථයෙන් වෙළෙඳාමක් ද නො වී ය. වත්මන් වෙළෙඳාම බටහිර සංකල්පයකි. දැන වෙළෙඳම් නොදැන ගොවිතැන් යනුවෙන් කියමනක් සිංහලයන් අතර වෙයි. එහෙත් මෙය සිංහලයන්ගේ කියමනකට වඩා ඉංගිරිසින්ගේ කියමනකි. ඉංගිරිසි වෙළෙඳාම දැනගෙන කළ යුත්තකි. ඉංගිරිසින්ට අනුව සිංහල ගොවිතැනට දැනුමක් අවශ්‍ය නැත. සුද්දන් අපට දැන් විද්‍යාත්මක කෘෂිකර්මය කියා දී ඇත. එමගින් සතුන් මරන කෘමිනාෂක ඉසිය හැකි ය. එය බුදුදහමකට එකඟ නැතිවුවත්් බටහිර විද්‍යාවේ බලමහිමයෙන් සිංහල බෞද්ධ ගොවිතැනක් වී ඇත. මෙය බෞද්ධයනට යුද්ධය අකැප යැයි කියන තම්බයියා බුද්ධාගම සමග පටලවා ගත යුතු නො වේ. තම්බයියා බෞද්ධයෝ යුද්ධයට මිස කෘමිනාෂකවලට විරුද්ධ නො වෙති! කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව හමුදා මෙහෙයුම්වලින් මියගිය සංඛ්‍යාවට වැඩි නම් තම්බයියා බෞද්ධයන් කුමක් කරන්න ද? බුදුදහම් හා බුද්ධාගම් අතර වෙනස්කම් වෙසක් සමයෙහි දී අවධානයට ලක්කරමු.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා 

2016 මැයි 13