History

Friday, 20 May 2016

ගංවතුර

ගංවතුර

ගංවතුර නිසා බොහෝ දෙනකු පීඩාවට පත්වෙලා. අරණායක නාය යෑමෙන් කී දෙනකු මිය ගිහින් දැයි හරියට ම කියන්න බැහැ. පාසල් වසා දැමීමට තිබුණේ මෙයට කලින්. කොළඹ පාරවල් යට වී ගොස්. ගෙවල්වලට උඩින් වතුර ගලා ඇවිත්. පාර්ලිමේන්තුව නම් යට වී නැහැ. ගංවතුර ගලාවත් ඒක හෝදන්න බැරි බව ගංවතුරට ම තේරෙන්න ඇති.


සුළිසුළඟට කරන්න පුළුවන් දේ  කෙතරම් ද කියා හිතෙනවා. මොන තරම් වීරිය ගත්තත් අපට සොබා දහම පාලනය කරන්න බැහැ. ඒ වුනත් බටහිර චින්තනයට අනුව ඔවුන් සොබා දහම පාලනය කිරීමට උත්සාහ ගන්නවා. සොබා දහම සමග සහජීවනයෙන් පැවතීම අපේ චින්තනයට, එනම් සිංහල බෞද්ධ චින්තනයට, එකඟයි. මේ වෙසක් පෝය දා ඒ ගැනත් හිතුවොත් හොඳයි. රටට හා අහිංසක ජනයාට වෙලා තිබෙන විපත්ති ගැන හදවතින් ම කණගාටුවෙන අතර අප එයින් පාඩමක් ද ඉගෙන ගත යුතුයි.

සුළිසුළඟ ගැන කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි කීවා ද කියා මා දන්නේ නැහැ.  කීවත් අප එහි බරපතලකම ගැන එච්චර කල්පනා කර නැහැ. අනෙක් අතට සියයට සියයක් හරියන අනාවැකි කීමට බටහිර විද්‍යාවට බැහැ. ඒ බව බටහිර ගණිතයේ ම ඇති ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියැවෙන බව හිතන්න පුළුවන්. ඒ ප්‍රමේයට අනුව ඇතැම් පද්ධතිවල සාධනය කරන්න බැරි ප්‍රකාශ තිබෙනවා. අප යමක් ගැන කියන්නෙ, නැත්නම් අනාවැකි පළකරන්නෙ, නිගමනය කරන්නෙ, දන්න දේ හෝ ස්වසිද්ධි හෝ වෙනත් එවැන්නක් මත, තර්කය හා නිගමන නීති (බටහිර බොහෝ දෙනකුට මේ නීති ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒවා නීති ලෙස ගන්නේ නැහැ. අපේ රටේ අය ඒ ගැන හිතලවත් නැහැ) මත පදනම් වෙලා. ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියන්නෙ ඇතැම් පද්ධතියක එහෙම අනාවැකි ගැන කියන්න බැරි දේ තිබෙන්න පුළුවන්  කියා යි. මා හිතනනේ ජ්‍යොතිෂයට වුනත් ඒ අදාළ විය හැකි බවයි. 

ඒ කොහොම වුණත් ගංවතුරෙන් මෙතරම් විපතක් සිදු වුනේ අපට සොබා දහම සමග සහජීවනයක් නැතිකම. මේ පොළොව මත ඇත්තේ මිනිසුන් පමණක් නො වෙයි. සතා සර්පයා, ගහකොළ ආදියත් එහි පැවතිය යුතුයි. ඒ විතරක් නො වෙයි. ඉබේට, එනම් සොබා දහමින් ම දී ඇති ගහකොළවලට අමතර ව ගහකොළ් වවනවා නම් ඒ ඒ පළාතට අනුව ඒ වවන්න අප දැනගත යුතුයි. අප කඳුකරයේ වවා ඇති තේ පඳුරු නම් ගැලපෙන්නේ නැහැ. කලකට පෙර සිටි මුදියන්සේ තෙන්නකෝන් හෙවත් අගමැති අයියා කියා සිටි කාරණයක් තමයි තේ පඳුරු ගලවා දැමිය යුතු බව. රෝහණ විජේවීර අගමැති අයියා අනුව ගොස් තේ පඳුරු උදුරා දැමීය යුතු බව කීවා. 

සුද්දන් අපේ කඳුකරයේ තේ වැව්වෙ මුදල් බලාගෙන පමණයි. ඔවුන්ට ඇත්තේ වෙළෙඳ ආර්ථිකයක්. ඔවුන් තේ පඳුරු බිමට හොඳ ද නැද්ද කියා බැලුවේ නැහැ. අරණායක වෙච්ච නාය යෑමට වැඩිය විපත්තිදායක නාය යෑම් කඳුකරයේ සිදුවෙන්න පුළුවන්. මා කියන්නේ අද හෙට ම තේ පඳුරු ගලවා දැමිය යුතු බව නො වෙයි. ඒත් අපට හා පොළොවට ගැලපෙන දෙයක් අප වැවිය යුතුයි. එකල සිංහලයන් ඉහළ කඳුකරයේ පදිංචි වෙන්න ගියේ නැහැ. ඒ වගේ ම එහි කැලෑ කැපුවේත් නැහැ. දැන් කැලෑ කපාගෙන යන ආකාරයට අනාගතයේ දී වැස්ස ලබාගැනීමට සුළිසුළඟක් එනකම් ම බලා ඉන්න වේද කියලත් හිතෙනවා.  

අපේ රට වියළි කලාපය තෙත් කලාපය හැටියට බෙදුවෙ සුද්දන්. අපට දැන් වියළි කලාපයේ මහා වේලිච්ච ගතියක් දැනෙනවා. ඒත් පදිංචියට වඩාත් සුදුසු වියළි කලාපය කියන ප්‍රදේශ තමයි. පිහිටි රට හා රුහුණේ මාගම වැනි ප්‍රදේශ වියළි කලාපයේ බව අමතක කරන්න එපා. 

අද අප අලි ගමන් කරන පාරවල ගෙවල් හදාගෙන අලින්ගෙන් වෙන කරදර ගැන කතාකරනවා. එහෙම නැත්නම් මිනිසුන් පදිංචි ප්‍රදේශවලට අලි ගිහින් දමා විදුලි වැටවල් ගහනවා. එ ජා ප අලින්ට නම් මේවා කොහොමටවත් තේරෙන්නේ නැහැ. අපට පැරැන්නන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. ඒ අමතක කරලා අපට නොගැලපෙන දේ බටහිරින් ගැනීම සුළිසුළං කැන්දා ගැනීමක් පමණයි.

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා 

2016 මැයි 20