History

Monday, 30 May 2016

ඕල්කට් බුද්ධාගමේ විපාක

ඕල්කට් බුද්ධාගමේ විපාක

කලින් ලිපිවල සඳහන් කර ඇති පරිදි ඕල්කට්තුමා ප්‍රොතෙස්තන්තවාදී පවුලක උපත ලැබුවත් බටහිරයන් පාරසාමාන්‍ය හෙවත් අතීන්ද්‍රිය ලෙස දක්වන දේ ගැන උනන්දුවක් දක්වා තිබෙනවා. බ්ලැවට්ස්කි මැතිණියත් සමග ඇමරිකාවේ පරම විඥානාර්ථ සමාගම ගොඩ නගා තිබෙනවා. බ්ලැවට්ස්කි මැතිණියට අනුව සියළු ආගම් බිහිවී තිබෙන්නේ එක ම මූලයකින්. පරම විඥානය එහි මුලයි. එහෙත් බ්ලැවට්ස්කි මැතිණිය තම රුසියන් ඕතොඩොක්ස් ක්‍රිස්තියානි ආගමෙන් ඈත් වී නැහැ. ඇයට සියල්ල රුසියන් ඕතොඩොක්ස් ආගමට යටයි. ඒ ආගමත් මුලික වශයෙන් ගත්කල ආසියාතික මනසකට හිමිකම් කීවා.
  

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය අතර තිබූ වෙනස අප තේරුම් ගත යුතුයි. බ්ලැවට්ස්කි මැතිණියගේ පරම විඥානාරථය ආසියාතික මනසක ඇතිවූවක්. ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථය බටහිර විද්‍යාවෙන් පෝෂණය වුූ මනසක් මත ආරෝපණය වූවක්. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. බටහිර විද්‍යාව වියුක්තයි. එහෙත් එහි ඵලයක් වූ තා’ක්‍ෂණය සැමට දකින්න පුළුවන්. ඕල්කට්තුමාට වැදගත් වී ඇත්තේ මේ සැමට දකින්න පුළුවන් දේයි. දහනවවැනි සියවසේ අග බටහිරයකු  ලෙස ඔහුට අවශ්‍ය වූයේ පරම විඥානය ද සැමට පෙනෙන ප්‍රායෝගික බටහිර විද්‍යාත්මක ඇසකින් තේරුම් ගැනීමටයි. ඔහු බුදුදහම ගැන සිතා ඇත්තේත් එලෙස බටහිර විද්‍යාව පැත්තෙන්. 

ඕල්කට්තුමා  ලංකාවට පැමිණීමෙන් පසු සිංහල බුද්ධාගම දැක්කේ කළකිරුණු මනසකින්. එබැවින් සිංහල බුද්ධාගමේ තිබූ වත් පිළිවෙත් ගැන ඔහු පැහැදුනේ නැහැ. මේ වත් පිළිවෙත් අපට ලැබෙන්නේ හයවැනි සියවසේ ඇති වූ හින්දු ආගමකින් නොව යක්‍ෂ ජනතාවගේ සංස්කෘතියෙන්. මෙරට යක්‍ෂ ජනතාවට යක්‍ෂයන් යැයි කියා ඇත්තේ විජය හා වෛදිකයන්. වෛදිකයන්ගේ රටට පර්සියාවෙන් පැමිිණි යක්‍ෂ ජනතාවක් ගැන කියැවෙනවා. අජන්තා චිත්‍රවල ඒ ජනතාව නිරුපණය වෙනවා. එහෙත් ඒ යක්‍ෂ ජනතාව හා මෙරට යක්‍ෂ ජනතාව එක ම යැයි කියන්න බැහැ. ඒ කුමක් වුවත් ඕල්කට්තුමා සිංහල බුද්ධාගම ගැන කළකිරී තිබෙනවා. 

ඕල්කට්තුමාට අවශ්‍ය වූයේ සිංහල බුද්ධාගමේ ඊනියා අවිද්‍යාත්මක පැත්ත නැති කිරීමයි. එමෙන් ම ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇතැම් අංග හඳුන්වා දී බුද්ධාගම ක්‍රිස්තියානි ආගම සමග තරග කිරීමට හැකි තත්ත්වයකට පත්කිරීමයි. ඒ මිස ප්‍රොතෙස්තන්තයට බුද්ධාගම ගැනීමක් එතුමාට අවශ්‍ය වී නැහැ. සාමූහිකත්වය අභිබවා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම, භික්‍ෂූන් වහන්සේ ඉවත් කිරීම වැනි අංග එතුමාගේ වැඩ පිළිවෙළෙහි තිබුනේත් නැහැ. කතෝලික පූජකවරුන් දෙවියන් වහන්සේ හා මිනිසුන් අතර වූ ඒජන්තයන් මෙන් භික්‍ෂූන් වහන්සේ බෞද්ධයන් හා නිවන අතර වූ ඒජන්තයකු වුනේ නැහැ. නිවන් අවබෝධයෙහි දී හැර බුද්ධාගමෙන් සාමූහිකත්වය ඉවත් කිරීමටත් බැහැ. ප්‍රොතෙස්තන්තයට බුද්ධාගම ගැනීමක්වත් බුද්ධාගමට ප්‍රොතස්තන්තය ගැනීමක්වත් කරන්න බැහැ. 

ඕල්කට්තුමාට ක්‍රිස්තියානිට විරුද්ධව ක්‍රියාකිරීම බ්ලැවට්ස්කි මැතිණියගෙන් ලැබුණු දෙයක්. එහෙත් ඇයටත් බටහිර විද්‍යාවෙන් නිදහස්වන්න බැරිවුනා. ඇයත් පරම විඥානය බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න උත්සාහ කළා. එය ඇයට ඕල්කට්තුමාගෙන් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. බ්ලැවට්ස්කි මැතිණියගෙන් ඇතැම් දේ ඕල්කට්තුමාටත්, එතුමාගෙන් වෙනත් දේ බ්ලැවට්ස්කි මැතිණියටත් ලැබී තිබෙනවා. ඕල්කට්තුමාගේ ක්‍රිස්තියානි විරෝධය එක් තැනක නැවතුනා. මහු ක්‍රිස්තියානියේ වැදගත්කම පිළිගෙන බුද්ධාගම ක්‍රිස්තියානිය සමග තරග කිරීමේ තත්වයකට පත්කිරීමට උත්සාහ ගෙන ඇති බව පැහැදිලියි. එහෙත් බ්ලැවට්ස්කි මැතිණියට ක්‍රිස්තියානියට එයට වැඩි විරුද්ධත්වයක් තිබී ඇති බව පැහැදිලියි. ඒ බ්ලැවට්ස්කි මැතිණියගේ රුසියන් මනස හා ඕල්කට්තුමාගේ ඇමරිකන් මනස අතර වූ වෙනසයි. 

ක්‍රිස්තියානිය සමග තරග කිරීම සඳහා එක් පැත්තකින් බුද්ධාගම කාටත් පෙනෙන ආකාරයට විද්‍යාත්මක කිරීමටත්, වෙසක් කාඩ්, ඉරදදා පාසල් ආදී දේ හඳුන්වාදීමටත් කටයුතු කළ ඕල්කට්තුමා බෞද්ධ පාසල් ද ඇති කිරීමට පියවර ගත්තා. ඒත් එය ද කෙළේ ක්‍රිස්තියානි සංස්කෘතියේ පාසල් ආකෘතියේම යි. ආනන්ද විදුහල බෞද්ධ රාජකීය විදුහලක් පමණක් බවට පත්වුවා. බ්ලැවට්ස්කි මැතිණිය මේ වැඩ පිළිවෙළට එකඟ වූයේ නැහැ.  ඇය හා ඕල්කට්තුමා අතර විරසකයක් පැන නැංගා. ඇය  1885 දී, 1886 දී ආනන්ද විදුහල පිහිටුවීමටත් පෙර, ඉන්දියාව අත්හැර යුරෝපයට ගියා. ඇගේ ජීවිතයේ අවසාන කාලය ආධ්‍යාත්මික පොතපත ලිවීමට යෙදෙවුවා.

මා ඕල්කට් බුද්ධාගම යනුවෙන් හඳුන්වන්නේ ඕල්කට්තුමා හඳුන්වා දුන් ඉහත කී ලක්‍ෂණ සහිත බුද්ධාගමයි. එය ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නො වේ. ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ඇති කිරීමට බැරි මූලික හේතුව බුද්ධාගම කිසි විටෙකවත් කතෝලික ආගමේ ආකෘතිය අනුව සකස් වී නොතිබීමයි.  ප්‍රොතෙස්තන්ත ආගම ඇතිවුණේ කතෝලික ආගමට විරුද්ධ ව. සිංහල බුද්ධාගමේ පාප්වහන්සේ කෙනකු නැහැ. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ධර්මය ම අනුගමනය කිරීමට මිස නායකයකු අනුගමනය කිරීමට නො වේ. සිංහල බුද්ධාගමේ මේ ලක්‍ෂණය අදත් පවතිනවා. විවිධ පුද්ගලයන්ගේ බුදුදහම් හා බුද්ධාගම් වෙනස් විය හැකියි. එහෙත් සිංහල බුද්ධාගමට පාප් වහන්සේ කෙනකු මෙන් ම දලයි ලාමා කෙනකු ද නැහැ. 

ඕල්කට් බුද්ධාගමේ සිංහලකමක් නැහැ. එය ඊනියා ජාත්‍යන්තරවාදී බුද්ධාගමක්. එහි බටහිර විද්‍යාවේ දෘශ්‍යමාන ලක්‍ෂණ තිබෙනවා. එහෙත් බටහිර විද්‍යාවේ වියුක්ත චින්තනය නැහැ. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය එයට ආගන්තුකයි. එයට විවිධ ක්‍රිස්තියානි ආගම් (කතෝලික ආගම ද ඇතුළුව) සමග තරග කිරීමට අවශ්‍යයි. ඒ සඳහා ඉරිදා පාසල් ද දිනපතා පාසල් ද වෙසක් සුබ පැතුම් ද, භක්ති ගීත ද ආදී අංග ද බටහිර විද්‍යාව ද ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ම ගැනුනා. බුද්ධාගම විද්‍යාත්මක කිරීමට උත්සාහ ගත්තා. එහෙත් සිංහල බුද්ධාගමට ඕල්කට් බුද්ධාගමෙන් මේ සමහර දේ අවශෝෂණය වූයෙ නැහැ. සිංහල බුද්ධාගම ජාත්‍යන්තරවාදී වූයේ නැහැ. එය විද්‍යාත්මක වූයේ ද නැහැ. ඕල්කට්තුමා විශ්වාස නොකළත් සිංහල බුද්ධගමේ දන්ත ධාතූන් වහන්සේ තවමත් වැඩ වසනවා. සිංහල බෞද්ධයන් ඊනියා විද්‍යාත්මක නොවුවත් කර්මය, පුනබ්භවය පිළිගන්නවා. 

එහෙත් මෙරට ඕල්කට් බෞද්ධයනුත්, එහි අනුප්‍රාප්තිකයන් වූ විද්‍යාත්මක බෞද්ධයනුත්, තම්බයියා බෞද්ධයනුත් කිහිප දෙනකු බැගින් ඉන්නවා. සමහරු මේ තුන් වර්ගයෙන් එක් වර්ගයකට වඩා අයිති වෙනවා. මේ අය බුදුදහාමුදුරුවන් විකුණමින් බටහිර විද්‍යාවේ තම නොහැකියාව වසා ගන්නවා. කාලාම සූත්‍රය විද්‍යාත්මක බෞද්ධයන්ගේ බයිබල ය. ඒකෙ විද්‍යාත්මක ක්‍රමය තියෙනවාලු. ඒත් මේ එක් අයකුටවත් තමන් අගය කරන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වීමට බැහැ.  ඔවුන් සමහරකු සිංහලයන්ට යුද්ධ කිරීම අකැප යැයි කියනවා.   

මේ අය අද මතවාදී ආධිපත්‍යයක් දරණවා. ඔවුන් නිසා සිංහල බෞද්ධයනට තමන්ගේ මතවාද ගොඩ නැගීමේ දී බාධා ඇති වෙනචා. ඔවුන් නිසා අවසානයේ දී දෙමළ ජාතිවාදයට වාසිදායක තත්වයක් උදාවෙනවා. ඔවුන්ගෙන් ඇතැමකු දෙමළ ජාතිවාදයට විරුද්ධයි. එහෙත් ඔවුන්ට දෙමළ ජාතිවාදයට විරුද්ධව මතවාදයක් ගොඩනගා ගැනීමට බැහැ.

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද   කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 30