History

Sunday, 12 June 2016

පඬියන්ගේ නිවන් අවබෝධය

පඬියන්ගේ නිවන් අවබෝධය

ආගමක් කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නයට කවුරුත් පිළිගත්ත පිළිතුරක් නැහැ. කවුරුන් මොනවා කිවුවත් ඒ ප්‍රශ්නෙටත් වෙනත් ප්‍රශ්නවලටත් ඊනියා වාස්තවික පිළිතුරු නැහැ. වාස්තවික කියලා සිංහලෙන් කියන්නෙ ඉංගිරිසියෙන් ඔබ්ජෙක්ටිව් කියන වචනයට. ඒකට සමහරවිට වෛෂයික, විෂය නිශ්‍රිත කියලත් කියනවා. ඒකෙ විරුද්ධ වචනය තමයි ඉංගිරිසියෙන් සබ්ජෙක්ටිව් කියන්නෙ. ඒකට සිංහලෙන් ආත්මීය, පුද්ගල නිශ්‍රීිත වැනි වචන යොදා ගැනෙනවා. ආත්මීය නැත්නම් පුද්ගල නිශ්‍රිත කියන්නෙ තම තමන්ට නැත්නම් පුද්ගලයන්ට සාපේක්‍ෂ දැනුමක්. මෙතනදි දැනුම කියන එකට අපට හැඟීමක් වේදනාවක් ආදිය ද ඇතුළත් කරන්න පුළුවන්.


මට රසවත් දෙයක් තවත් අයකුට රසවත් නොවන්න පුළුවන්. මට වෘත්තයක් වගේ පෙනෙන දෙයක් මට සාපේක්‍ෂව ඉතා විශාල වේගයකින් ගමන් කරන අයකුට  ඉලිප්සයක් වගේ පෙනේවි. නිවුටන්ට ගුරුත්වාකර්ෂණය ලෙස පෙනුන දේ අයින්ස්ටයින්ට පෙනුනෙ නැහැ. ඔහු දැක්කෙ අවකාශ කාලයෙ වක්‍රතාවක්. ඒ කියන්නෙ නිවුටන්ට ගුරුත්වාකර්ෂණය හැටියට පෙනුන දේ අයින්ස්ටයින්ට වෙනත් ආකාරයකට පෙනු කියන එක නෙවෙයි. පොල් ගෙඩි නැත්නම් ඇපල් ගෙඩි පොළොවට වැටෙන්නෙ මොකද කියන ප්‍රශ්නෙට දෙන්නා උත්තර දෙකක් දුන්න. එහෙම නැත්නම් එකිනෙකාට සාපේක්‍ෂයි.   

දැනුමක් වාස්තවික කියලා කියන විට ඒකෙන් කියන්නෙ නිරපේක්‍ෂ, එහෙමත් නැත්නම් කාටත් පොදු එකඟ විය හැකි දැනුමක් තිබෙන බවයි. ඒකෙ තේරුම දැනුම ලබාගන්න තැනැත්තාගෙන් ස්වායත්ත ව ස්වාධීන ව, දැනුමක් තියෙනවයි කියන එක. එහෙම දැනුම් තියෙනවයි කියන එක ඒ කියන අයට සාපේක්‍ෂයි.  මා ඉදිරිපිට තිබෙන මේසය කාටත් පොදු ද? කවුරුන් නැතත් ඒක මේසයක් ලෙස තියෙනවා ද? ඒක මේසයක් වෙන්නෙ මේස තියෙන සංස්කෘතියක අයට. මේස නැති සංස්කෘතියක අය ඒ වස්තුව වෙන වෙන ආකාරවලින් හඳුනා ගනීවි. වෛදික සංස්කෘතියේත් බටහිර සංස්කෘතියේත් සංඛ්‍යාවල පදනම දහය. එහෙත් මාල දිවයිනේ සංඛ්‍යාවල පදනම දොළහ. මාල දිවයිනේ ඉන්නෙ ලංකාවෙන් ගිය සිංහල බෞද්ධයන්ගෙන් පැවත එන අය. අපෙත් කාලෙක දී සංඛ්‍යා පදනම වෙලා තියෙන්නෙ දොළහ. අපේ සංස්කෘතියෙ බොහෝ වෙලාවට කියැවෙන්නෙ දොළහෙ ඒකකවලින්. සමහර වෙලාවට ඒකෙ බාගෙනුත් (හරි අඩත්, අඩක් කියන්නෙ බාගෙ නෙවෙයි, කොටසක් කියන එකයි)  කියැවෙනවා. දහඅට රියන් පිළිම වහන්සෙ, සුවිසි විවරණ, තිස්පැය වගේ ව්‍යවහාර සලකන්න. අමතක කරන්න එපා සමහර භාෂාවල සංඛ්‍යා කියන සංකල්පය ම නැහැ. 

මේ ටික කිවුවෙ සමහර අය මේ වගේ වචන තේරුම් කරන්න කියලා ඉල්ලන නිසා. අප පටන් ගත්තෙ ආගම කියන වචනෙන්. ඒ ඒ අය ආගම කියලා හඳුන්වන්නෙ ඒ ඒ අය කැමති දෙයක්. ආගම කියන වචනෙට තිබුණු පරන අර්ථ දැක්වීම මොකක් වුනත් අද ආගම  වෙනත් ආකාරවලින් හඳුන්වන්න පුළුවන්. මා ආගම කියලා කියන්නෙ මරණින් මතු යම් ආකාරයක භවයක් ගැන කියන, ඇතැම් විට ඒ භවය නැවතීමක් ගැන කියන, ඇතැම් විට ඊළඟ භවයෙන් හොඳ තැනක නැවතීමක් ගැන කියන, ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු ක්‍රියා මාර්ග ගැන කියන, වත් පිළිවෙත් ආදිය ඇති පද්ධතියකට. මෙයට තව තවත් දේ එකතුකරන්නත් ඒ වගේ ම එයින් යම් යම් දේ අඩුකරන්නත් පුළුවන්. ඒක එක්කෙනාගෙ කැමැත්ත හැටියට. 

මරණයත් සමග සියල්ල කෙළවර වෙනවයි කියල හිතන අයත් ඉන්නවා. ඒ වුනත් අද ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම්වල මරණයෙන් පස්සෙ භවයක්, ජීවිතයක් ගැන කතා කරනවා. විවිධ ක්‍රිස්තියානි ආගම්වලත් සදාකාලික ස්වර්ගයක් අපායක් ගැන කියැවෙනවා. හින්දු ආගමිකයොත් සංසාරයක් ගැන කතා කරනවා. ඒක අවසන් වන්නේ බ්‍රහ්මන් එක්ක එකතුවෙලා. මහායාන බෞද්ධයො අනෙක් අයට නිවන් දක්වන බෝධිසත්වයන් ගැන කියනවා. ථෙරවාදීනට සසර කෙළවර වන්නෙ නිවන් අවබෝධයෙන්. 

මෙරට බොහෝ බෞද්ධ උගතුන් කියන අය සංසාරයක්, පුනබ්භබයක් විශ්වාස කරන්නෙ නැහැ. ඒ අය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යටවෙලා. ඔවුන්ගේ දැනුමේ මිම්ම පංචෙන්ද්‍රිය ගෝචර අනුභූතිය, එනම් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම. ඔවුන් එහි ඵස්සිකො කියන වදනත් විකෘත කරනවා. ඇවිල්ල බැලුවම ඔවුන්ට පුනබ්භවයක් පෙනෙන්නෙ නැහැ. ඔවුන් පඬියන් බැවින් සංසාරයට හා නිවන් අවබෝධයට බටහිර චින්තනයට ගැලපෙන විධියට අර්ථකථන කරනවා. පුනබ්භවයක් ගැන විශ්වාසයක් නැති ඔවුන් බොහෝ දෙනකු හිතන්නෙ මේ භවයෙ ම නිවන් අවබෝධ කරගන්න. 

බෞද්ධයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේත් විශ්වාස කරනවා. ඒ ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් තිබෙන නිසා නෙවෙයි. විඤ්ඤූන්, එනම් දැන උගත් අය එසේ කියන නිසාත් එහි වරදක් නැති නිසාත්, එසේ විශ්වාස කිරීමෙන් එලොවට බැරිනම් මෙලොවට අවැඩක් නොවන නිසාත් ආදී වශයෙන් කාලාම සූත්‍රයට එකඟව වුනත් කියන්න පුළුවන්. මේ විඤ්ඤූන් කියන්නෙ කාලාමලා අතර සිටිය දැන උගත් අය. ඒත් දැන උගත් අය සංස්කෘතියෙන සංස්කෘතියට වෙනස් වෙනවා. කාලෙක දී මේ රටේ විඤ්ඤූන් වුනෙ භික්‍ෂූන් වහන්සේ ඒ වගේම යහපත් ගිහියො. යහපත් කියන වචනෙත් ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා. මෙරට ඒ කාලෙ යහපත් මිනසුන් වුනේ පවට ලජ්ජා බය ඇති, සංසාරයට බය, සංසාරයෙන් මිදෙන්නට උත්සාහ කළ, සිල්වත් අය. අද මෙරට විඤ්ඤූන් වන්නෙ බටහිර අධ්‍යාපනයක් ලබපු උදවිය. ඔවුන් සමහර දෙනා හවසට මත්පැන් පානය කර (ඔවුන්ගේ බසින් ඩ්‍රින්ක් එකක් ගෙන, මදුවිත තොල ගා) පටිච්චසමුප්පාදය ගැන කතාකරනවා. ඒ අය බුදුන් වහන්සේ කාලාම සූත්‍රයෙ දේශනා කළ විඤ්ඤූන් නෙවෙයි.

පුනබ්භවයක් නැති නිසා ඔවුන් මේ භවයේදීම නිවන් අවබෝධ කරගත හැකි බව කියනවා. ඔවුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවම අර මත්පැන්වල  වෙරි හිඳෙනවා. මේ භවයේ නිවන් අවබෝධ කරගෙන  භවය කෙළවර කරන අය හා අවබෝධ නොකර භවය කෙළවර කරන අය (මැරෙන අය) අතර ඇති වෙනස කුමක් ද? 

භික්‍ෂූන් වහන්සේ අපට අවශ්‍ය වන්නේ නිවන් අවබෝධ කරවීමට නො වෙයි. සිංහල භික්‍ෂූන් වහන්සේ ඓතිහාසික ව කරුණු දෙකක් ඉටුකරනවා. එකක් තමන් වහන්සේගේ නිවන් අවබෝධය සඳහා කටයුතු කරන අතර අන්‍යයන්ට විඤ්ඤූන් වීම. අනෙක රට ජාතිය ආගම රැකගැනීම හා ඒ සඳහා ගිහියනට උපදෙස් දීම. අප උන්වහන්සේට ජාතියේ මුරදේවාතාවුන් වහන්සේ කියන්නේ ප්‍රධාන වශයෙන් ම ඒ දෙවැනි කරුණ නිසා. ගිහියනටත් ඒ දෙකම කරන්න පුළුවන්. ඒත් පවුල් බරත් එක්ක බොහෝ දෙනාට බාධක ඇතිවෙනවා. ගිහියකු ලෙස ජීවත්වීත් නිවන් අවබෝධ කළ හැකි බව අප දන්නවා. ශුද්ධෝදන රජු ඒ බව පෙන්වා දී තිබෙනවා. ඒත් ඒක පඬියන් හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ඕනෑම අයකු නිවන් අවබෝධ කරගන්නේ එක් භවයක දී තමයි. ඒත් ඒ සඳහා පෙරුම් පුරා තිබිය යුතුයි. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 ජූනි 12