History

Tuesday, 28 June 2016

ක්වොන්ටම් මිනුමේ සීමාව පෘතග්ජන මනසේ සීමාවයි




ක්වොන්ටම් මිනුමේ සීමාව පෘතග්ජන මනසේ සීමාවයි

වංශපුූර දේවගේ ජානක



සාමාන්‍යයෙන් ගත්විට සම්භාව්‍ය භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර ප්‍රපංචය. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර නොවන ප්‍රපංචය. නමුත් බටහිර සංස්කෘතිය සම්භාව්‍ය භෞතික විද්‍යාව මෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවද යම් වාස්ථවිකවූ යථාර්තයක් විස්තර කරන්නේ යැයි සිතයි. ඊට ප්‍රතිවිරුද්ධව බුදු දහම වාස්ථවික යථාර්තය බොරුවක් යැයි බැහැර කරයි. වාස්ථවික යථාර්තය බොරුවක් යන පදනම මත ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් නිරීක්‍ෂණ තේරුම් ගැනීමට අපට උත්සාහ කල හැකිය.


ක්වොන්ටම් යන නම ඊට ලැබෙන්නේ සියුම් දේවල් වල ඇති අසන්තතික බව නිසාය. උදාහරණයක් වශයෙන් ශක්තිය පිහිටුම වැනි මිනුම් වලට සාමාන්‍ය ලෝකයේ සන්තතික බවක් ලැබෙනවිට ක්වොන්ටම් ලෝකයේ වස්තු සම්බන්ධයෙන් ඒ මිනුම් වලට ලැබෙන්නේ අසන්තතික බවකි. මෙසේ වෙන්නේ ඇයි? එමෙන්ම සාමාන්‍ය ලෝකයේ (සංකීර්ණ) වස්තුවල ගුණවලට නිශ්චිත බවක් ඇති නමුත් ක්වොන්ටම් ලෝකයේ (සරල) වස්තු වල ගුණ වලට අවිනිශ්චිත බවක් ඇත. මෙසේ වෙන්නේ ඇයි? සාමාන්‍ය ලෝකයේ අපේ අත්දැකීම් තුලින් මේ ක්වොන්ටම් භෞතික ගුණ පිළිබඳව පුරෝකථනය කල නොහැක්කේ ඇයි? එසේත් නැත්නම් ක්වොන්ටම් භෞතික ගුණ සම්භාව්‍ය භෞතික ගුණ වල දිගුවක් නොවන්නේ ඇයි? ක්වොන්ටම් භෞතික විද්‍යාව ඊට නිසි පිළිතුරක් ලබා නොදෙයි.

බුදු දහමට අනුව අපි වස්තු වාස්ථවික යථාර්ත නොවේ යැයි විශ්වාස කරන්නෙමු. එසේ නම් සාමාන්‍ය ලෝකයේදී සංකීර්ණ වන්නේත් ක්වොන්ටම් ලෝකයේදී සරල වන්නේත් වස්තු යැයි කීම වැරදිය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවට අනුව සංකල්ප වලින් තොරව ප්‍රපංච තිබිය නොහැකිය. සියලු වස්තු වාස්ථවික යථාර්ත නොවේ නම් (බොරු නම්) සැලකිය යුත්තේ වස්තු නොව සංකල්පය. ඒ අනුව සාමාන්‍ය ලෝකයේ සිට ක්වොන්ටම් ලෝකයට ගමන් කරද්දී සංකීර්ණ සිට සරල බවට පත්වන්නේ ඊනියා වස්තු නොව ඊනියා වස්තු පිළිබඳව පෘතග්ජන අපි ගොතන සංකල්ප යැයි කීම නිවැරදිය.

මෙහිදී අපි යම් සංකල්පයක් තේරුම් ගත හැක්කේ වෙනත් සංකල්ප කිහිපයක ආධාරයෙන් නම් ඒ සංකල්පය සංකීර්ණ සංකල්පයක් ලෙස හඳුන්වමු. ඒ අනුව පරිවාරක සංකල්ප වැඩිවෙන තරමට යම් සංකල්පයක් සංකීර්ණ වේ යැයි සිතිය හැකිය. ඒ අනුව සත්වයා, පොල් ගෙඩිය, පංදුව, ඉලෙක්ට්‍රෝණය යන සංකල්ප ඒ පිළිවෙලට සංකීර්ණ බවින් අඩු සංකල්ප ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව සාමාන්‍ය ලෝකයේ සිට ක්වොන්ටම් ලෝකයට ගමන් කරද්දී සංකල්ප වල සංකීර්ණ බව අඩුවේ යැයි කිව හැකිය.

දැන් සංකීර්ණ සංකල්ප සුළු කරගෙන යාමේදී අවසානයේ ලැබෙන්නේ වෙනත් කිසිම සංකල්පයක් ආධාරයෙන් තේරුම් ගත නොහැකි තනි සංකල්ප නම් එහි යම් ගලා යාමක් දැකිය හැකිය. එසේවී නම් සාමාන්‍ය ලෝකයේ සිට ක්වොන්ටම් ලෝකය දක්වා ගමන් කරද්දී අපට අනපේක්‍ෂිත ලක්‍ෂණ හමු නොවන්නට ඉඩ තිබිනි. නමුත් කරුණු එසේ නොවේ.


මීට ඉහතදී “වෙනස්වීම හඳුනාගැනීම සහ පැවතීම” යන ලිපියෙන් පෙන්වා දුන් පරිදි සංකල්ප සුළු කරගෙන යාමේදී අපට හමුවෙන්නේ තනි සංකල්ප නොව එකිනෙකින් වෙන් කරගත නොහැකි සංකල්පය. එවැනි සංකල්ප අපි සියුම් සංකල්ප ලෙස හඳුන්වමු. සියුම් සංකල්ප පෘතග්ජන මනසේ සීමාවය. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මිනුම් ලෙස සැලකෙන්නේ එකිනෙකින් වෙන් කර ගත නොහැකි සියුම් සංකල්ප යැයි අප මෙහිදී යෝජනා කරමු. ඒ අනුව අසන්තතිකබව අවිනිශ්චිතබව වැනි ක්වොන්ටම් ගුණ අපට ලැබෙන්නේ සියුම් සංකල්ප වල වෙන් කල නොහැකි ලක්‍ෂණය නිසාය. ඒ අනුව හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූල ධර්මයද සංකල්ප වෙන් කරගෙන තේරුම්ගත නොහැකිවීම නිසා ඇතිවන ප්‍රතිථලයක් ලෙස ඉදිරියේදී තේරුම් ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය හැකිය. නමුත් පෘතග්ජන අපි කිසියම් හේතුවක් නිසා සංකීර්ණ සංකල්ප එකිනෙකින් වෙන් කර තේරුම් ගන්නෙමු. (පෘතග්ජනයා යනු වෙන් කරන්නා බවද අමතක කල නොහැකිය.) එබැවින් සංකීර්ණ සංකල්ප භාවිතා වෙන සාමාන්‍ය ලෝකයේ ක්වොන්ටම් ගුණ දකින්නට නැත.

අවසානයේ ගත්විට ක්වොන්ටම් ගුණ යැයි අපි හඳුනාගන්නා ගුණ ඊනියා සියුම් වස්තුවල ගුණ නොව පෘතග්ජන මනසේ සීමාවන්ය.