History

Saturday, 4 June 2016

අපට සර්වජන ඡන්දය ලැබීම

අපට සර්වජන ඡන්දය ලැබීම

ලංකාවට සර්වජන ඡන්දය ලැබුණේ 1931 දී තරම් ඈත කාලයක දී. එය ඈත කාලයක් ලෙස හඳුන්වන්නේ එවකට ඊනියා නූතනත්වයේ දියුණු රටවල් ලෙස සැලකෙන යුරෝපීය රටවල ද සර්වජන ඡන්දය ලැබී වැඩිකලක් ගත වී නොතිබීම නිසයි. 1931 දී මෙරට අවුරුදු විසිඑකට වැඩි සියළු පුරවැසියනට (බිරිතානි අධිරාජ්‍යයේ පූරවැසියනට, එවකට ඉංගිරිසින් යටතේ මෙරට පුරවැසියන් සැලකුණේ ඔවුන්ගේ අධිරාජ්‍යයේ පුරවැසියන් ලෙසයි. ඉංගිරිසින් විසින් ගෙන්වනු ලැබ මඩකලපුව ඇතුළු නැගෙනහිර ද, පසුව කඳුකරයේ ද පදිංචි කරනු ලැබු දෙමළ ජනයා ද මෙරට පුරවැසියන් ලෙස සැලකුණේ එපරිදියි) ඡන්ද බලය හිමිවූවා. එයට පෙර සීමිත අයට පමණයි ඡන්ද බලය තිබුණේ. එංගලන්තයේ කාන්තාවන්ට මුලින් ම ඡන්ද බලය ලැබුණේ 1918 දී. එයත් සීමිත කොටසකට. 1928 දී තමයි එරට අවුරුදු විසිඑකට වැඩි ස්ත්‍රී පුරුෂ සියළු දෙනාට ඡන්ද බලය ලැබුණේ.


1928 දී එංගලන්තයට ලැබුණු සර්වජන ඡන්දය අපට 1931 දී ම ලැබුණේ ඇයි? එයට හේතු ගණනාවක් තිබෙනවා. 1929 දී රැම්සෙ මැක්ඩොනල්ඩ් යටතේ එංගලන්තයේ  කම්කරු පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ඒ එංගලන්තයේ පිහිටුවපු දෙවැනි කම්කරු පක්‍ෂ ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ යටත්විජිත පිළිබඳ ලේකම් වූයේ සිඩ්නි වෙබ්. ඔහු හා ඔහුගේ  භාර්යාව බියට්‍රිස් සමාජවාදී අදහස් තිබූ අය. ඔවුන් ෆේබියන් සමාජයේ ද මුල් සාමාජිකයන් වී සිටියා. ඒ සමාජයේ බර්නාඩ් ෂෝ වගේ ම ඇනී බෙසන්ට් මැතිණියත් සාමාජිකයන් ව සිටියා. සිඩ්නි වෙබ් ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට 1929 දී ඩොනමෝර් කොමිසම පත්කළා. ඒකෙ සාමාජිකයන් හතර දෙනා එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමාජිකයන්. ඩොනමෝර් ලිබරල් අදහස් තිබූ අයෙක්. දෙදෙනෙක් සමාජවාදී අදහස් තිබූ අය. 

1929 ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය කඩා වැටුණු අවුරුද්ද. ඒක එංගලන්තයට ඒ තරම් බලපෑවෙ නැතත් වෙබ් වගේ සමාජවාදීන් කීවේ ඔවුන් ධනවාදය කඩාවටෙන බවට කී අනාවැකි සත්‍යවන බව. කොහොමටත් ඩොනමෝර් කොමිසම මෙවැනි පසුබිමක් යටතෙයි ලංකාවට ආවෙ. ලංකාවෙ එවකට තිබුණේ ජාතිවාදී දේශපාලනය මත පදනම් වුනු ව්‍යවස්ථාදායක සභාවක්. ඒ සඳහා මන්ත්‍රින් වැඩි සංඛ්‍යාවක් පත්කෙළේ ආණාඩුකාරයා. ඒ කළේ ජනවාර්ගික පදනමක් මත. එය  ඉංගිරිසින්1831 ආරම්භ කළ එකක්. එහි අරමුණ වුනේ සිංහල නියෝජනය ජන අනුපාතයට නොසරිලන ආකාරයකට අඩු කිරීම. 1912 දී ඊනියා උගත් ලාංකිකයන්ට ඡනදයෙන් එක මන්ත්‍රීවරයකු තෝරා ගැනීමේ අවස්ථාව ලැබුණා. කුල වශයෙන් බෙදුණු සිංහල නායකයන් ඒ සඳහා පත්කර ගත්තෙ පොන්නම්බලම් රාමනාදන් කියන ජාතිවාදියා. ඔහුටත් ඔහුගේ සහෝදරයා වූ අරුනාශලම්ටත් අවශ්‍ය වුනේ ව්‍යවස්ථාදායක සභාවෙ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම. දෙමළ නායකයන් කුල වශයෙන් බෙදිලා හිටියේ නැහැ. ඒකට හේතුව වෙල්ලාලයන්ට හැරෙන්නට අනෙක් අයට බලයක් නොතිබීමයි. දෙමළ ජනයාගේ ඊනියා නායකයන් වුනේ වෙල්ලාලයන් පමණයි. 

ඩොනමෝර් කොමිසමට අවශ්‍ය වුනේ ජනවර්ග මත මන්ත්‍රීන් තේරීම හා පත්කිරීම අහෝසි කිරීම. එයින් කියැවෙන්නෙ සිංහල නියෝජනය වැඩි කිරීම නොවෙයි. කොහොමත් කම්කරු පක්‍ෂය එදත් අදත් දෙමළ ජනයාට පක්‍ෂපාතියි. කොමිසම් සිංහල නියෝජනයට බලයක් නොලැබෙන තැනට සූත්‍රයක් ගෙතුවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ඇතිකරලා ඒකෙ මන්ත්‍රීවරුන් කාරක සභාවලට වෙන්කරලා ඒ කාරක සභාවලට ඒ ඒ දෙපාර්තමේන්තු පරිපාලනය භාර දීම ඒ සූත්‍රයයි.  ඒ මගින් සිංහල මන්ත්‍රීවරුන් රාජ්‍ය මන්තයණ සභාවෙ වැඩි බලයක් ලබාගැනීම වැළැක්වීමට ඔවුන් කල්පනා කළා. කාරක සභාවල සභාපතිවරු වැඩි ගණන සිංහල නොවේවි කියා කොමිසම හිතූ බව පැහැදිලියි. අදත් මේ කාරක සභා කතාව රනිල් අගයනවා. 

මේ ක්‍රමය ආණ්ඩුකාරයා පත්කරන මන්ත්‍රීන් මගින් ක්‍රියාත්මක කිරීමට බැරි බව කොමිසම තේරුම් ගත්තා. ඒ නිසා ඡන්දයෙන් මන්ත්‍රීන් පත්කර ගැනීමට ඔවුන් යෝජනා කළා. එහි දී ඔවුන් සමාජවාදී අදහස් දරපු අය ලෙස සර්වජන ඡන්දය යෝජනා කළා. ඔවුන්ගේ කල්පනාවට අනුව පත්වන මන්ත්‍රීවරුන් එංගලන්තයට පිටු නොපාන අය. එයට හේතුවක් වන්නට ඇත්තේ ලංකාවේ තරම් ඊනියා නූතනත්වයට ගැටගැසුණු උගතුන් හා ධනචතුන් පිරිසක් ලෝකයේ වෙනත් තැනක නොවීම විය යුතුයි. විශේෂයෙන් ම සිංහල ප්‍රභූන් යැයි කියන අය ඉංගිරිසින්ට දීන ලෙස සෑලකුවා. එකල වේල්ස්හි කුමාරයා ලංකාවට පැමිණි විට රත්තරන් පිඟන්වල රත්තරන් ගෑරුප්පු පිහියාවලින් කෑමට සැලැස්සුවෙ සිංහල ප්‍රභූන්. මේ ප්‍රභූන් ඊනියා නුතනත්වයට පිටුපාන්නෙ නැති බව කොමිසම දැනගන්න ඇති. කොමිසමේ සමාජවාදී අදහස් දැරූ අයත් ඊනියා නූතනත්වයට පිටුනොපාන බව දැනගැනීම වැදගත්. ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයන් වුවත් නූතනත්වයේ ම දරුවන්. 

කොමිසම සරවජන ඡන්දය දීම ගැන දෙමළ නායකයන් නම් විරුද්ධ වුණා. ඒ වෙල්ලාල නොවන දෙමළ ජනයාට ඡන්දබලය ලැබීමට විරුද්ධව. රාමනාදන් කොමිසම ඉදිරියට ගොස් සර්වජන ඡන්දයට විරුද්ධව සාක්‍ෂි දුන්නා. ඒත් කොමිසම ව්‍යවස්ථාදායක සභාවේ ජාතිවාදී දේශපාලනය අවසන් කර සිංහල බලයක් මතුවීම වැළැක්වීම සඳහා කාරක සභා සහිත රාජ්‍ය මන්තයණ සභාවක් නිර්දේශ කළා. එහෙත් දෙමළ ජාතිවාදී දේශපාලනය එයින් අවසන් වුනේ නැහැ. පනහට පනහ ඉල්ලීම ආදිය මගින් දෙමළ ජාතීිවාදීන් තම දේශපාලනය දිගින් දිගට ම කරගෙන ගියා. 

ඩොනමෝර් කොමිසම සර්වජන ඡන්දය දුන්නේ සිංහල බලය වැඩිවීම වැළැක්වීමට. එය ඔවුන්ට සිදු වූ වරදක්. ඔවුන් නොසිතූ විධියට සිංහලයන්ට ක්‍රමයෙන් බලය ලැබුණා. 1936 දී කාරක සභාවල සභාපතීන් සියළු දෙනා ම සිංහලයන් වුනා. එහෙත් මේ සිංහල නායකයන් ඊනියා නූතනත්වයේ දරුවන් වීම නිසා එයින් පලක් වුනේ නැහැ. ඩොනමෝර් කොමිසමට සිංහල නායකයන් කාරක සභා සියල්ලේ ම සභාපතිවරුන් වීම වැළැක්වීමට නොහැකි වුනත් අධ්‍යාපනය මගින් බිහිකර තිබූ නායකයන් කොමිසම සිතූ ආකාරයට ම කටයුතු කළ බව පේනවා. 
  

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා 

2016 ජූනි 04