History

Wednesday, 8 June 2016

ආකිමිඩීස් කෙළේ මොකක්ද ?

ආකිමිඩීස් කෙළේ මොකක්ද ?

මුහුණු පොතේ මේ ලිපිවලට තරුණ පරම්පරාව දක්වන ප්‍රතිචාර ගැන මා ආඩම්බර වෙනවා. ඔවුන්ට විවිධ දේ ගැන දැනගැනීමට කුතුහලයක් තිබෙනවා. මගේ පරම්පරාවේ අයට බටහිර හෝ අශෝක හෝ චින්තනයෙන් ගැලවීමට නොහැකියි. ඇතැමුන් ඒ දෙකට ම වහල් වී ඇති බව පේනවා. අපට නිදහස් විය හැක්කේ මූලික වශයෙන් ම බටහිර චින්තනයෙන් (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි) චින්තනයෙන් නිදහස් වීමෙන්. මේ ලිපි වැඩියෙන් ම ලියන්නේ තරුණ පරම්පරාව වෙනුුවෙන්.


බටහිර චින්තනයේ ආරම්භය ඇත්තේ ග්‍රීකයන් හා යුදෙවුවන් අතර. අප බොහෝ දෙනකු ආකිමිඩීස් ගැන අසා තිබෙනවා. බටහිරයන් කියන විධියට ආකිමිඩීස් ලොවේ පහළ වූ ඉහළ ම බුද්ධිමතා. දෙවනුවට එන්නේ නිවුටන්. තුන්වනුවට එන්නේ අයින්ස්ටයින්. අප ඒ තුන්දෙනා ගැන පමණක් නොව වෙනත් යුරෝපීය බුද්ධිමතුන් ගැනත් කතා කරමු. ආකිමිඩීස් ජීවත්වුනේ ක්‍රිස්තු 287-212 කාලයෙහි ග්‍රීසියෙහි සිසිලි දූපතේ සයිරාක්‍යුස් නගරයේ. මේ ග්‍රීක පෞර රාජ්‍යවල බුද්ධිමය සම්ප්‍රදායෙහි සෞාග්‍යමත් කාලය. ජ්‍යාමිතිය ඇතුළු ගණිතය ඒ පෞර රාජ්‍යවල වර්ධනය වූනා. ස්වසිද්ධි කිහිපයකින් පටන්ගෙන වියුක්ත ව නිගමනවලට (අනුමානවලට) එළඹීමේ ක්‍රමය ඔවුන් වර්ධනය කළා. ජ්‍යාමිතිය වෛදික ගණිතයෙහි නැහැ. ජ්‍යාමිතියට අවශ්‍ය ප්‍රමාණයට වියුක්ත චින්තනයක් වෛදිකයන් සතුවූයේ නැහැ. ආකිමිඩීස් බොහෝ විෂය ගැන දක්‍ෂතාවක් දැක්වුවා පමණක් නොව නිර්මාණ ද රාශියක් කළා. සයිරාක්‍යුස් නගරය රෝමයන්ගෙන් ආරක්‍ෂා කිරීමට ඔහු ආරක්‍ෂක පද්ධතියක් ගොඩනගා තිබෙනවා. රෝමයන්ගේ පළමු වැටලීමේ දී නගරය බේරා ගැනීමට මේ ආරක්‍ෂක පද්ධතිය සමත් වී තිබෙනවා. එහෙත් දෙවැනි වැටලීමේ දී (ක්‍රි පූ 214-212) එය ප්‍රමාණවත් වී නැහැ. ආකිමිඩීස්ට කිසිම හිරිහැරයක් කරන්නට එපා යැයි රෝම හමුදා  ප්‍රධානියා නියෝග කර තිබියදීත් රෝම භටයකු අතින් ආකිමිඩීස් මැරුම් කෑවා. මේ පිළිබඳ විස්තර පොතපතේ සඳහන් වෙනවා.

ආකිමිඩීස් නාන තටාකයකට ගිහින් යුරේකා කියමින් ආපසු විදිවල නිරුවතින් ගියා කියා කතාවක් තිබෙනවා. මොකක් ද මේ යුරේකාව? යුරේකා  කියන වචනයේ තේරුම සොයාගත්තා කියන එක. ආකිමිඩීස් මොකක්දෝ සොයාගෙන. ඔහු සොයාගත් දේ කුමක් ද? එ ආකිමිඩීස් මූලධර්මය කියලා කියනවා. අප පාසලේ දී ඒ ඉගෙන ගන්නවා. ඇතැමුන් කියන්නේ ආකිමිඩීස් නාන තටාකයේ බැස සිටිය දී අඩ වශයෙන් හෝ මුළුමනින් ම හෝ ගිල්වූ වස්තුවක ගිල්වූ පරිමාවට සමාන පරිමාවක ජල ප්‍රමාණයක් විස්ථාපනය වන බව සොයාගත්තා කියා. එය එතරම් දෙයක් නොවෙයි. එය අප කාගේත් අනුූූභූතියක්. අපට එය දැනෙනවා. එය අපේ ප්‍රත්‍යක්‍ෂයක්.  

ආකිමිඩීස්ට රජු ප්‍රශ්නයක් දී තිබුණා. රජු රන්කැමියකු ලවා ඔටුන්නක් සාදවා ගෙන. රජුට අව්‍ය වුනේ රන්කැමියා තමන් දුන් රන් සියල්ල භාවිතා කෙළේ ද නැත්නම් රිදී හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ එයට මිශ්‍ර කෙළේ ද කියා දැනගැනීමට. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව හොරුන් බොරුකාරයන් බිහි වී බොහෝ කල්. රන්කැමියා තමාට දුන් රත්රන්වල බරට සමාන බරක් ඇති ඔටුන්නක් සාදා දී තිබුණා. ආකිමිඩීස් ස්කන්ධය කියන සංකල්පය දැන සිටියේ නැහැ. ඔහු බර කියන සංකල්පය නම් දැන සිටියා. ඒත් ඒ පොළොවට වස්තුවක් ආකර්ෂණය කෙරෙන බලයක් හැටියට නොවෙයි. ආකිමිඩීස් හිටියේ නිවුටන්ට අවුරුදු එක්දහස් අටසියයකට පමණ පෙර. ආකිමිඩීස් තරාදියක දෙපැත්තට වස්තු දාල බර සංසන්දනය කර දැනගෙන හිටියා. 

ආකිමිඩීස් තම නාන තටාකයෙන් සූත්‍රගත කරගත් එක් සංකල්පයක් වුනෙ ඝනත්වය.  එය අප දැන් පාසලේ ඉගෙන ගන්න ඝනත්වය ම නෙවෙයි. අද ඝනත්වය ඉගෙන ගන්නෙ ඒකක පරිමාවක ඇති ස්කන්ධය ලෙස. එහෙත් ස්කන්ධය කියන්නෙ මොකක්ද කියලා උගන්නන්නෙ නැහැ. තාමත් ඒ උගන්වන්නෙ වස්තුවක කාටවත් නොතේරෙන ද්‍රව්‍ය ප්‍රමාණය හැටියට. ඒක නිසා උගත්තු ආලෝකයට (විකිරණ) ස්කන්ධයක් නියම කරන්න බයයි. ආලෝකයේ ද්‍රව්‍ය නැති නිසා! හිග්ස් බෝසෝනයක් ගැනත් කියනවා.   ඒත් ආලෝකයට බර තියෙනවා. ආලෝකයේ බර මනින්න චිත්ත පරීක්‍ෂණයක් තියෙනවා. ඒක කවුරුවත් කරල ද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ආලෝකයට විතරක් නෙවෙයි අවකාශ කාලයටත් බරක්, ශක්තියක් තියෙනවා. ඒ බටහිර භෞතික විද්‍යාවෙ උගන්වන රික්ත ශක්තිය නෙවෙයි. අවකාශ කාලයෙ ශක්තිය ගැන කලින් ම කතාකරපු දෙන්නා තමයි එවකට කැලණිය විශ්වවිද්‍යාලයෙ පශ්චාත් උපාධි ශිෂ්‍යයන් වූ හේමන්ත හා වසන්ත. ඒ දෙදෙනගෙ නම්වලත් අපුරු සමාන කමක් තියෙනවා. හේමන්ත අද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලයක සේවය කරනවා. වසන්ත කැලණිය විශ්වවිද්‍යාලයෙ ගණිත අධ්‍යායනංශයෙ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙක්. කාහට හරි වැඩිදුර යමක් දැනගන්න ඕන නම් කැලණිය විශ්වවිද්‍යාලයට ගිහින් වසන්ත කටුගම්පල මහතා හමුවන්න.  

ආකිමිඩීස්ගෙ ඝනත්වය වුනෙ වස්තුවක ඒකක පරිමාවක තියෙන බර. ඔටුන්නෙ පරිමාව දීපු රත්තරන්වල පරිමාවට සමාන නැත්නම් එයින් කියැවෙන්නෙ ඔටුන්නෙ හා දීපු රත්තරන්වල බර සමාන වුනත් ඝනත්වය වෙනස් කියන එකයි.ආකිමිඩීස්ට කරන්න තිබුනෙ ඔටුන්නෙ පර්මාව දීපු රත්තරන්වල බරට සමාන බරක් ඇති රත්තරන්වල පරිමාවට සමාන ද නැද්ද කියන එක හොයන එකයි. ඒ වුනත් අර විස්ථාපනය වන ජල පරිමාව මැන ගන්න එක ඒ දවස්වල සියුම් ව කරන්න බැහැ. මෙතනදී තමයි ආකිමිඩිස් මූල ධර්මය වැදගත් වෙන්නෙ. ආකිමිඩිස් නාන තටාකයෙ ඉන්න ගමන් දෙවනුව සූත්‍රගත කලේ අඩ හෝ සම්පුර්ණව හෝ ගිළුණු වස්තුවකට ඒ වස්තුව මගින් විස්ථාපනය වන ජල පරිමාවෙ බරට සමානව උඩුකුරු තෙරපුමක් ක්‍රියාත්මක වන බව. (මෙය නිවැරදි වන්නෙ නිසල ජලයේ මිස ගලායන ද්‍රවයක නොවන බව අමතක කරන්න එපා. නාන තටාකයෙ ජලය නිසල කියල ගන්න පුළුවන්)  යොදාගත්ත වචනය තෙරපුම මිස බලය නොවන බවත් අමතක කරන්න එපා. ඒ දවස්වල බලය කියන සංකල්පය තිබුනෙ නැහැ. 

දැන් ඔටුන්න හා රන්කැමියාට දීපු බරට සමාන බරක් ඇති රත්තරන් තරාදියකට (තුලාවකට) දැම්මොත් තරාදිය (තුලාව) තුලනය වේවි. ඒ අප තුලාව වාතයේ තිබ්බෙත්. අප තුලාව ජලයෙ දමා සංසන්දනය කළොත් කුමක් වෙයි ද? ඔටුන්නෙ පර්මාව වෙනස් නම් විස්ථාපනය වන ජල පරිමාත් වෙනස්. එවිට උඩුකුරු තෙරපුම් ද වෙනස් වෙනවා. දැන් තුලාව තුලනය වන්නේ නැහැ. රන්කැමියා වංචා කරල නම් තරාදිය වතුරෙ දැම්ම ගමන් එක පැත්තක් පහත් වී ඒ බව හෙළිවෙනවා. අප තුළාව වාතයෙ තියෙද්දි සංසන්දනය කරාමත් ඉතා කුඩා වෙනසක් තියෙන්න ඕන වාතයෙ උඩුකුරු තෙරපුම් අසමාන නිසා. ඒත් රන්කැමියන්ගෙ වාසනාවට ඒ සුළු වෙනස මනින්න අමාරුයි. 

ආකිමිඩිස් කළේ මොකක් ද? ඇතැම් පඬියන් කියන විධියට රත්තරන් උරච්චි කරල බැලීමක් නොවෙයි. උරච්චි කිරීම අනුභූතියක්, ප්‍රත්‍යක්‍ෂයක්. ආකිමිඩීස් අනුභූතියෙන් ඉවත්වුනා. ඔහු වියුක්ත සංකල්ප ගෙතුවා. අපට ජල විස්ථාපනය දැනෙනවා. ඒත් අපට උඩුකුරු තෙරපුමවත් ඝනත්වයවත් දැනෙන්නෙ නැහැ. ඒ වියුක්ත සංකල්ප. ඒ අපේ ප්‍රත්‍යක්‍ෂ නෙවෙයි. බටහිර විද්‍යාවෙදි කෙරෙන්නෙ අනුභූතියෙන් ඉවත්වන එක. ඒත් අපට කියල දෙන්නෙ බටහිරව විද්‍යාව ආනුභවික කියලයි. අනෙක් අතට ආකිමිඩීස් සොයාගත්තා නෙවෙයි. ඔහු යම් යම් දේ සුත්‍රගත කළා, නිර්මාණය කළා. යුරේකා කියන වචනයෙන් අප මුළා වෙනවා.

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා 

2016 ජුනි 08