History

Friday, 1 July 2016

ක්වොන්ටම් තේරෙන්නේ කාට ද?

ක්වොන්ටම් තේරෙන්නේ කාට ද?

සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද එකී විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වූ ද රිචඩ් ෆයින්මාන්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව කිසිවකුටවත් ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරෙන්නේ නැහැ. මා නොබෙල් ත්‍යාගය ගැන සඳහන් කෙළේ බටහිර උගතුන්ගේ ලෝකයේ මෙන් ම මෙරට උගතුන්ගේ ලෝකයෙහි ද එයට වැදගත් තැනක් ලැබෙන බැවින්. ෆයින්මාන් එකී ප්‍රකාශයෙන් කියන්නේ බටහිරයන්ට ක්වොන්ටම් යාන්ත්‍රිකය නොතේරෙන බවයි. එහි තේරෙන කියන එකෙන් අදහස් වන්නේ ඇඟට දැනෙනවා වැනි දෙයක් කියලා හිතන්න පුළුවන්. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සමීකරණ, ඒවා විසඳන ආකාරය සාමාන්‍ය අයකුට දැනගන්න, තේරුම් ගන්න බැරිකමක් නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා උසස් ශ්‍රේණියේ උපාධි ගන්නත් අවශ්‍ය නම් පර්යේෂණ කරලා පශ්චාත් උපාධි ගන්නත් පුළුවන්.


ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය අපට දැනෙනවා. එය පංචෙන්ද්‍රිය ගෝචර පමණක් නොවෙයි, සිතට පමණක් දැනෙන දේත් එක්ක, සිතත් ඉන්ද්‍රියක් ලෙස ගෙන.  මේ දැනෙන බව, නිවන් අවබෝධයට මෙහායින් තියෙන දේ. අපට දැනෙන දේ එක්කෝ ඇඟට දැනෙනවා නැත්නම් හිතට දැනෙනවා. ඇඟට දැනෙන්නෙත් හිතට දැනීමක් එක්ක. දැනගන්නවා කියන්නෙ දැනෙනවා කියන එක නොවෙයි. අප ගණිතයේ දී දැනගන්න ඇතැම් දේවල් දැනෙන්නෙ නැහැ. අප එක එක දේ එක එක විධියට දැනගන්නවා. පොතපතින් ඇසීමෙන් දැකීමෙන් තර්කයෙන් ආදී වශයෙන්.  මේ හැම එකක් ම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙන්නෙ නැහැ. 

අපට තර්ක කරලා යමක් දැනගන්න පුළුවන්. තර්ක කිරීමේ දී අප බොහෝ විට අමතක කරන කරුණු තුනක්් තියෙනවා. එකක් තර්ක කරන්නෙ යම්කිසි න්‍යායක් මත පදනම් වෙලා කියන එක. දෙවැන්න තර්කය පටන්ගන්නෙ යම් කිසි මුලක් උපකල්පනය කරල, එහෙම නැත්නම් හරිය කියලා පිළිඅරගෙන කියන එක. තුන්වැන්න අපෝහනය කිරීමේ, එනම් නිගමන ලබාගැනීමේ, නීති තිබෙන බව. න්‍යාය කියන එක පරණ වේද වචනයක්. සිංහලෙන් නය කියලා කියනවා. ඉංගිරිසියෙන් ලොජික් කියලා කියනව.  අප දහසක් නයින් තේරුම් ගන්නවා කියලා කියනවා. ඒත් බටහිරයන් දන්නෙ එක නයක් පමණයි. ඔවුන් ණය දීම හා ගැනීම (පොලියත් එක්ක) ගැනත් දන්නවා. ඒක වෙන ම දෙයක්. 

බටහිරයන් දන්න නය ඇරිස්ටෝටල්ගෙ නමින් තියෙන නය. මෙයට ද්විකෝටික න්‍යාය කියලත් කියනවා. ඒකෙ තියෙන්න කෝටි, එනම් කෙළවරවල්, එනම් අන්ත දෙකයි. යමක් එක්කෝ හරි නැත්නම් වැරදියි. දෙක ම වෙන්න බැහැ. ඒවගේ ම එකක්වත් නොවන්නෙත් නැහැ. යමක් එකවිට එක්කෝ එක තැනක තියෙනවා, නැත්නම් වෙනත් තැනක තියෙනවා. යමක් එකවිට දෙතැනක තියෙන්න බැහැ. ඒ වගේ ම පවතිනවයි කියල කියන යමක් නම් එකතැනක නොවී තියෙන්නත් බැහැ. ජ්‍යාමිතියේ (භූමිතියේ) ප්‍රමේය සාධනය කරන (ඔප්පු කරන) විට ඇතැම් විට අප යමක් උපකල්පනය කරලා වැරදි නිගමනවලට එනව නම් උපකල්පනය වැරදි කියලා කියනවා. ඒ උපකල්පනය එක්කො වැරදි නැත්නම් නිවැරදි කියන ද්විකෝටික න්‍යාය මත හා අපෝහන නීතිවලට එකඟ ව තර්ක කිරීමෙන් නිවැරදි උපකල්පනවලින් වැරදි නිගමනවලට එළඹෙන්න බැහැ කියන උපකල්පනය මත. ඒකත් උපකල්පනයක්!

තර්කයේ ඇති දෙවැනි් කරුණ මුලක් තියෙන එක. අප තර්කය කොතැනකින් හරි පටන්ගන්න ඕන. ඊට පස්සෙ යම් න්‍යායක් මත පදනම් වෙලා තර්ක කරනවා. දැන් ඒ මුල් ම උපකල්පනය හරි කියලා අප දන්නෙ කොහොම ද? නැවතත් ජ්‍යාමිතියට ගියොත් ඒකෙ එක උපකල්පනයක් (මේවාට ගණිතයෙ ප්‍රත්‍යක්‍ෂ නැත්නම් ස්වසිද්ධි කියලා කියනවා. ඉංගිරිසියෙන් ඇක්සියම්ස් කියලා කියනවා.) තියෙනවා දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව ඒ රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඇඳිය හැක්කේ එකම එක සරල රේඛාවක් ය කියා. ඒ උපකල්පනය මත තමයි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියලා සාධනය කරන්නෙ. දැන් ඒ උපකල්පනය හරිද කියලා දන්නෙ කොහොම ද? මේ උපකල්පනය තියෙන්නෙ යුක්ලීඩීය ජ්‍යාමිතියෙ. දහනවවැනි සියවසේ බටහිර ගණිතඥයන් ඒ උපකල්පනය වෙනුවට වෙනත් උපකල්පන යොදා ගෙන වෙනත් ජ්‍යාමිති නිර්මාණය කළා. මේ ජ්‍යාමිතිවලින් හරි එක මොකක් ද? නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණයෙදි යොදා ගැනෙන්නෙ යුක්ලීඩිය ජ්‍යාමිතිය. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි යොදා ගන්නෙ වෙනත් ජ්‍යාමිතියක්. කෝක ද හරි? 

තුන්වැනි කාරණෙ තමයි අපෝහනයේ, එනම් නිගමනයේ නීති.  යමක් තවත් දේවල් දෙකකට සමාන නම් ඒ දේවල් දෙක ද එකිනෙකට සමාන විය යුතුයි කියලා අප කියනවා. ඒ කියමන වියුක්ත කරලා A=B හා B=C  නම් A=C කියලා අප කියනවා. ඒක හරි ද? අප ඒ බව දන්නෙ කොහොම ද? අප එහෙම නොවෙයි කියලා ගත්තොත් අපට මොන වගේ නිගමනවලට එන්න පුළුවන් වෙයි ද?  ඉහත සඳහන් නිගමන නීතිය පංචෙන්ද්‍රිය ගෝචර කියලා කියාවි. 

පංචෙන්ද්‍රිය ගෝචර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය, පංචෙන්ද්‍රිය ගෝචර මුල් උපකල්පන හා පංචෙන්ද්‍රිය ගෝචර නිගමන නීති යොදා ගෙන ලබාගන්න නිගමන අප හරිය කියලා පිළිගන්නවා. ඒ වගේම පංචෙන්ද්‍රිය ගෝචර නොවන මුල් උපකල්පන යොදා ගෙන ලබා ගන්න නිගමන පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සමග ගලප්පලා ඒ මුල් උපකල්පන හරිය, පවතිනවාය කියලා කියන ක්‍රමයකුත් තියෙනවා. බටහිර විද්‍යාවෙ දි ඒ ක්‍රමය අනුගමනය කරනවා. පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය හරිය පවතිනවාය කියලා කියන්නෙ එහෙමයි. නිගමනය පංචෙන්ද්‍රිය ගෝචර එකක් බවට පත්කරගන්න හැකිනම්, ගලප්පන්න පු්‍රවන් නම් මුල් උපකල්පනය පංචෙන්ද්‍රිය ගෝචර නූනත් කමක් නැහැ!

ක්වොන්ටම් යාන්ත්‍රිකයෙ දි, ක්වොන්ටම් භෞතිකයෙ දි වෙන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර නොවන නිගමන ලැබීමයි. ඉලෙක්ට්‍රෝනයක් එක විට සිදුරු දෙකකින් ගමන් කිරීම මේ පිලිබඳ ඇති ප්‍රසිද්ධ ම උදාහරණයයි. බටහිර විද්‍යාඥයන්ට ඒක දිරවන්නෙ නැහැ. ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරෙන්නෙ නැහැ කියලා ෆයින්මාන් කියන්නෙ ඒ නිසයි. ඉලෙක්ට්‍රෝනයක් එකවිට සිදුරු දෙකකින් ගමන් කිරීම තබා ඉලෙක්ට්‍රෝනයක්වත් කිසිවකුට නිරීක්‍ෂණය කරන්න බැහැ. ඒත් ක්වොන්ටම් යාන්ත්‍රිකයෙන් ඒක බැහැර කරන්නත් බැහැ. ඩේවිඩ් බෝම් වගේ අයකු ඒ සිදුරු දෙකේ නිගමනය සහිත විවරණය වෙනුවට එක් සිදුරකින් පමණක් ගමන් කරන බවට වෙනත් විවරණයක් ඉදිරිපත් කළත් එය සාර්ථක නැහැ. එන්න එන්න ම සිදුරු දෙකේ නිගමනයට සාක්‍ෂි එකතු වෙනවා. 

සිංහල බෞද්ධයන්ට නම් ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරුම් ගන්න, දැනගන්න අපහසු නැහැ. කරන්න තියෙන්නෙ ඇරිස්ටෝටල්ගෙ න්‍යාය වෙනුවට වෙනත් න්‍යායක් යොදා ගන්න එක පමණයි. චතුස්කෝටික න්‍යායෙන් එය තේරුම්ගන්න පුළුවන්. අවුරුදු තිහකට විතර ඉස්සර ලියපු මගේ ලෝකය පොතේ මේ කතාව තියෙනවා. හැබැයි මේ සියල්ල පෘථග්ජන අපේ නිර්මාණ කියන එක මිසක් ඊනියා යථාර්ථයක් නොවන බව අමතක කරන්න එපා.  




මේ ලිපිය තමන්ට අවශ්ය් පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)   



නලින් ද සිල්වා

2016 ජූලි 01