History

Monday 11 July 2016

ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද

ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට මේ රටේ සංස්කෘතිය මිනිසුන්ගේ හද ගැස්ම නොතේරෙන අය උපදෙස් දෙන බව ඊනියා ඡායා කැබිනට් සිද්ධියෙන් ද පැහැදිලි වෙනවා. මෙරට කලින් ද ඡායා කැබීනට් පත් කර ඇති නමුත් ඒවාට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එංගලන්තයේ ෂැඩෝ කැබිනට් කිව්වම එයට එහි ඉතිහාසයක් හා සම්ප්‍රදායක් තියෙනවා. ඒ වුනත් ඡායා කැබිනට් කිව්වම ඒකෙන් මොකක් ද කියැවෙන්නෙ. එංගලන්තෙ ඉංගිරිසියෙන් කියන දේ මෙහෙ සිංහලෙන් කිව්වම සමහර වෙලාවට විකෘති අදහසක් ගෙන දෙනවා. මහින්දට ඕන වෙලා තියෙන්නෙ ඇමතිවරුන්ගෙ වැඩ ගැන සොයා බැලීමට ඒ ඒ මන්ත්‍රීවරුන්ට පැවරීමට. ඒ වුනත් කාගෙ දෝ නමක් හින්ද රටට ගිය අදහස වෙනත් එකක්. එ ජා පක්‍ෂය එයින් ප්‍රයෝජන ගත්ත. ඉංගිරිසියෙන් දේශපාලන විද්‍යාව ඉගෙනගත් පමණින් මෙහේ දේශපාලනය කරන්න බැහැ.


බැඳුම්කර මගඩිය ගැන රජිව් විජේසිංහ සිරස නාලිකාවට ජූලි පස්වැනිදා ඉතා වැදගත් ප්‍රකාශයක් කරලා තිබුණා. සිරස නාලිකාවට මගේ කිසිම මනාපයක් නැහැ. ඔවුන් රජිව් විජේසිංහ සමග සාකච්ඡ්වක් පැවැත්තුවෙ රටට හොඳක් කරන්න නම් නෙවෙයි. සිරස රනිල්ට කැමති නැහැ. සාකච්ඡා පැවැත්වුවෙ ඒ නිසයි. ඒ වුනත් රජිව් කිව්ව දේ ඉතා වැදගත්. රජිව් කියන්නෙ ලිබරල් අදහස් තියෙන පුද්ගලයෙක්. ජාතිකත්වයක් ගැන ඔහුට දැනුමක් නැහැ. ඔහු සෑම් විජේසිංහගෙ පුතා. රනිල්ගෙ නැන්දගෙ පුතා. ඔහු කියා සිටි කරුණු මෙහි දක්වා ඇති සබැඳියෙන් අසාගන්න පුළුවන්. ඔහු කියන්නෙ බොරු කියලා හිතන්න බැහැ. ඔහු කියන දේ හා එයින් කියැවෙන දේ පහත පළකරනවා.

ඔහු කියන්නෙ බැඳුම්කර විකිණීමෙන් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ බෑණා ලැබූ මුදලින් යම් ප්‍රමාණයක් එා ජා පක්‍ෂයට දුන් බවයි. ඒ වගේ ම ඔහුගෙ කතාවෙන් කියැවෙන්නෙ ඒ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්ත බවයි. පක්‍ෂයකට මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නෙ මැතිවරණ කටයුතුවලට. ඒ මුදල් පක්‍ෂවලට විවිධ ආකාරයෙන් ලැබෙනවා. රජිව් කියන්නෙ රනිල් පෞද්ගලික ව අවංක පුද්ගලයෙකු වෙන්න පුළුවන් නමුත් පක්‍ෂයට අනිසි අන්දමින් මුදල් සොයා ඇති බවයි. මේ මුදල් ගනුදෙනුව සිදුවුනාට පස්සෙ තමයි අගෝස්තු මැතිවරණය පැවැත්තුවෙ. බැඳුම්කර වංචාවට කලින් එ ජා පක්‍ෂෙට එතරම් ලොකු අරමුදලක් තිබිලා නැහැ.  සිංගප්පූරු වසන්තයටත් ඒ මුදල් යෙදවුව ද කියලා කියන්න බැහැ. රජිව් තවත් දෙයක් කියනවා. විසිවැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කී මෛත්‍රිපාල එය නොකර ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව. එතනදි රනිල් බලපෑම් කරන්න ඇති. රජිව් කියන්නෙ යමකුගේ අවංක බව තිරණය කිරීමේ දී පෞද්ගලිකව අනිසි මුදල් ඉපැයීම් නොකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව. පක්‍ෂයට අනිසි ආකාරයෙන් මුදල් සොයා ගැනීමත් වංචනික ක්‍රියාවක්.

මෙහි දී අපට තවත්  කරුණු කිහිපයක්් මතක් වෙනවා. එකක් මහා බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියේ අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර අලෙවිය සාමාන්‍ය ක්‍රමයට නොකළ බවත් එයට තමන් විරුද්ධ වූ විට අර්ජුන් එය අගමැතිගේ උපදෙසින් කළ බවත් කීම. දෙවනුව රනිල් මේ සිද්ධියේ දී අර්ජුන් වෙනුවෙන් පෙනී සිටි අන්දම හා ක්‍රියා කළ අන්දම කවුරුත් දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. තුන්වනුව අද රනිල් කෝප් කමිටුවේ එ ජා පක්‍ෂ මන්ත්‍රීවරුන් හසුරුවන ආකාරය. දැන් සුජීව සේනසිංහ එයට පත්කරලා. හඳුන්නෙත්තිව කෝප් කමිටුවේ සභාපති කෙළේ ඔහුත් ජ වි පෙත් එ ජා පක්‍ෂය සමග දීග කාපු කාලෙ. තාමත් දීගය අත්හැරී නැහැ. වෙන්ව වාසය කරනවා පමණයි. දැන් කියන විධියට කෝප් කමිටුවේ එ ජා ප මන්ත්‍රීන් වෙන ම වාර්තාවක් නිකුත් කරන්න යනවළු. කෝප් වාර්තාව කෝපි වාර්තාවක් වෙන හැඩ තියෙනවා.

හතරවනුව ඊයෙ පෙරේදා දැනගත්ත විධියට එංගලන්තෙන් උපදේශකයෙක් ඇවිත් තියෙනවා ඊනියා ජාතික ආණ්ඩුව හැදීම ගැන උපදෙස් දෙන්න. දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙළේ ඔහුගේත් උපදෙස් මත වෙන්න පුළුවන්. ඔහු නැවතත් ඊයෙ පෙරේදා ඇවිල්ල කියලා ගිහින් කොහොමටවත් ඊනියා ජාතික ආණ්ඩුව කඩන්න එපා කියලා. දෙවැනි සිංගප්පූරු වසන්තයක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව පත් කෙරුවෙත් පවත්වගෙන යන්නෙත් මූලික ව එංගලන්තය. ඒ වෙන මොනවටවත් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට හා හැකිනම් ඒ සංස්කෘතිය නැති කිරීමට. එහි දී  ආණ්ඩුව ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රතික්‍ෂෙප කරන්නත් යනවා. ඒ මූලික වශයෙන් ම ජෙනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට. ඒකත් අර උපදේශකයගෙ ම උපදේශයක් වෙන්න බැරි නැහැ.

පස්වනුව මෙහි තිබෙන ප්‍රධාන ම වංචාව අපේ මුදල් අපට විරුද්ධ ව යොදා ගැනීම. රටේ මුදල් අනිසි විධියට පක්‍ෂවලට ලබාගැනීම පෞද්ගලිකව ලබාගැනීමටත් වඩා වැරදියි. බලාගෙන යනකොට රජිව්ගෙන් කියැවෙන්නෙ අපට වංචා කරලා තියෙන්නෙ එ ජා ප මැතිවරණ ව්‍යාපාරයත් වෙනුවෙන් බව. ඒ කියන්නෙ අපට වුවමනා නැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අපේ ම මුදල් වංචාවෙන් ලබාගෙන. මීට වඩා වංචාවක් තියෙන්න පුළුවන් ද? සමහරු සිංගප්පුරු යන්නත් ඇත්තෙ සමහරවිට අපෙන් වංචා කරපු මුදලින්. මේවට විරුද්ධ ව මොනවද කරන්නෙ. ඒකාබද්ධ විපක්‍ෂය මෙහි දී ද අනාගැනීමට පුළුවන්.

කාට හරි හිතෙන්න බැරි නැහැ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යන්න. ඒක අර ජෙනීවා ගියා වගේ වෙනවා. ඒකෙන් වෙන්නෙ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පිළිගැනීමක් ලැබෙන එක විතරයි. කළ යුත්ත මොකක්ද කියලා ඒකාබද්ධ විපක්‍ෂයට කිව්වට වැඩක් නැහැ. ඒකෙ උපදේශකයන් ඉන්නවා.

මේ අපට වංචා කරලා අපේ මුදලින් ආණ්ඩු පිහිටුවා ගත්ත ප්‍රථම අවස්ථාව වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට තවත් මොහොතක්වත් බලයේ ඉන්න අයිතියක් නැහැ. ඒත් සුද්දගෙ නීතිය අනුව අයිතිය තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕනෙ මෛත්‍රිපාල හා ඔහුගෙ කණ්ඩායම.  කෝප් කමිටුවේ දි ඒ අයටත් ජ වි පෙරමුණටත් පව් හෝදා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක කරාවි ද? රනිල් මේක ලෙහෙසියෙන් අත් හරින එකක් නැහැ. හඳුන්නෙත්ති ඔහුට කොහොම මුහුණ දෙයි ද? මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී පරාජය කරන්න බැරි වෙයි. ඒත් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න බලකරන ජනතා ව්‍යාපාරයක් ඇති කරන්න පුළුවන්.


රජිව්ගෙ සාකච්ඡාව මේ සබැඳියෙන් අහන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=4r3vLE0NM_4





මේ ලිපිය තමන්ට අවශ්ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.  

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
               
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)  


නලින් ද සිල්වා


2016 ජූලි 11