History

Tuesday, 5 July 2016

සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය




සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය

     වංශපුර දේවගේ ජානක 


විදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්‍රයෙන් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබීමය.




ජනගහණය වර්ධනය වුවද රටක පුද්ගලිකව අත්පත් කරගත හැකි ඉඩම් වපසරිය සීමිතය. මේ රටේ වැඩි ජනගහණ වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැක්කේ බහුතරයක් වන සිංහලුන්ගේය. ඒ නිසා ඉඩම් සීමාවීමේ ආනිසංස මුලින්ම දැනෙනු ඇත්තේ සිංහලුන්ටය. නමුත් අද වෙනවිට දෙමලුන්ට සහ මුසල්මාණුවන්ට නැති ඉඩම් සීමාවක් සිංහලුන් සඳහා පැනවී ඇත. ජාතියක් වශයෙන් සිංහලුන්ගේ ඉඩම් ප්‍රශ්ණය වැදගත් වන්නේ ඒ නිසාය.



මේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. නමුත් අද අපි හොඳින් දන්නා ආකාරයට කොටි ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලින් පන්නා දැමුනු සිංහල වැසියන්ට ඒ ඉඩම්වල නැවත පදිංචිවී නිදහසේ ජීවත්වීමට සාධාරන අවස්ථාවක් සලසා දී නැත. නැඟෙනහිර සහ උතුරු පළාත්වල පාසල් වල සිංහල භාශාවෙන් ඉගැන්වීම අත් හැරෙනවිට සිංහලුන්ට එහි නිදහසේ ජීවත්විය හැකියැයි කිව හැකිද?



නමුත් අපි කථා කල යුත්තේ කොටි ත්‍රස්තවාදීන් විසින් පලවා හැරි එනම් අසූවේ දශකයේ පමණ එහි ජීවත්වූ සිංහල පවුල් ගැන පමණක්ද? හෙට උපදින සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට අයිතියක් නැද්ද?



විවාදයකින් තොරව ඔවුන්ටද එහි ජීවත්වීමට අයිතියක් තිබිය යුතුය. මේ රට සියලු ජාතීන්ට එකසේ අයිති යැයි පවසන්නේ නම් එය එසේ විය යුතුය. නමුත් ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය දී ඇති පමණින් අනාගත සිංහලුන්ට නැඟෙනහිර හෝ උතුරේ ගොස් පදිංචි විය නොහැකිය. ඒ සඳහා සිංහල පාසල් ඇතිවිය යුතුය, සිංහලුන් සඳහා පංසල් පල්ලි ඇති කල යුතුය, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය. මේවා කර දීම ආණ්ඩුවක වගකීමය. ව්‍යවස්ථාව කොළයක ලියා තැබූ පමණින් එහි ඇති අයිතීන් තහවුරු වන්නේ නැත. ආණ්ඩුවකට විධායක බලය දී ඇත්තේ ව්‍යවස්ථාව තහවුරු කිරීමටය. නමුත් මේ ආණ්ඩුව ඒ සඳහා කරන්නේ කුමක්ද?



ඉතා පැහැදිලිවම දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීන් ගේ උවමණාව සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට ඇති අයිතිය නැති කිරීමය. දැනටමත් ඔවුන් මේ අයිතිය සිංහලුන්ගෙන් උදුරා ගැනීම සඳහා බොහෝ දුර ගොස් ඇත. දෙමළුන්ට සහ මුසල්මාණුවන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමට යම් බාධක තියෙන්නට පුළුවන. ඒවා නිවැරදි කල යුතුය. නමුත් ඔවුන් හා සසඳන විට සිංහලුන්ට උතුරේ හෝ නැඟෙනහිර ජීවත්වීමට ඇති බාධාව අති මහත්ය. එය හිතාමතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන දේශපාලන ව්‍යාපෘතියකි. හෙළුවෙන්ම ජාතිවාදයකි.



සිංහලුන් නැඟෙනහිර සහ උතුරු පළාත්වල පදංචිවීම ඊනියා ජනාවාසකරණයක් ලෙස හැඳින්වීමට අප පුරුදු කර ඇත. අපි මේ සංකල්පයෙන් නිදහස්විය යුතුය. ඉංග්‍රීසීන් ඕස්ටේ‍ර්ලියාවට ගොස් එහි බලෙන් පදිංවි වීම අඩුම තරමින්වත් ජනාවාසකරණයකි. ලංදේසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් මෙරට උතුරේ පදිංචි කෙරවීම ජනාවාසකරණයකි. ඉංග්‍රීසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් උඩරට ඉඩම්වල පදිංවි කරවීම ජනාවාසකරණයකි. නමුත් හම්බන්තොට සිංහලුන් කිලිනොච්චියේ ගොස් පදිංචිවීම ඕස්ටේ‍ර්ලියාවේ පුරවැසියෙක් එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක පදිංචි වීමට වඩා වැඩි දෙයක් නොවේ. අද පවතින තත්වයේ සිට එවැනි සමබරතාවක් ඇති කරගැනීමට වසර තිහ හතලිහක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය. නමුත් එය රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විය යුතු වැඩ සටහණකි. එසේ නොවී ස්වභාවිකව ඒ සමබරතාව ඇති වන්නේ නැත. විශේෂයෙන් ඒ සඳහා ඇති ජාතිවාදී දේශපාලන බාධක රාජ්‍යය මැදිහත්වී ඉවත් කල යුතුය. ව්‍යවස්ථාව තහවුරු කරනවා යැයි කියන්නේ එයටය.



අනාගත සිංහලුන්ට නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඉඩම් අත් පත් කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතීන් බුක්ති විඳිමින් එහි ජීවත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම රජයේ වගකීමය. එය කල හැකි රාජ්‍යයක් අපි තනාගත යුතුය. එවැනි රාජ්‍යයක් ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අපි පත් කරගත යුතුය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පත්කර දී ඇත්තේ සිංහලුන්ගේ අයිතීන් පැහැර ගෙන රාජ්‍යය දියකර හැරීමට විනා සිංහලුන්ට අයිතීන් ලබාදීමට නොවේ. ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනස් කරමින් උතුරට එකක් සහ දකුණට එකක් වශයෙන් මේ රටේ සමාන බල ඇති ආණ්ඩු දෙකක් පිහිටවුවහොත් සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණ ගැන කථා කරලා හමාරය.