History

Thursday, 7 July 2016

සිංහල හා දෙමළ ප්‍රභූන්

සිංහල හා දෙමළ ප්‍රභූන්

මගේ පරම්පරාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් අයකුගෙන් ඔබ විශ්වවිද්‍යාලයේ සිටිය දී නවක වධය තිබුණා ද කියා ඇහුවොත් ඔහු බොහෝ විට දෙන පිළිතුර වනුයේ ඒ කාලෙ මේ වගේ අමානුෂික වධයක් තිබුණේ නැහැ , ඒ දවස්වල බොහොම සුන්දර දේවල් තිබුණෙ, සින්දුවක් කියන්න නැත්නම් ගැහැණු ළමයකුට මලක් දෙන්න වගේ දේ. මට නම් කියන්න තියෙන්නෙ වෙනත් ම කතාවක්. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජයතිලක ශාලාවේ නවකයකු ලෙස සිටියේ 1963-64 අවුරුද්දෙ. එහි දී මටත් මගේ මිතුරන්ටත් නාන කාමරවල නිරුවතින් බඩගාන්න සිද්ද වුනා. ඒ නාන කාමරවල වැසිකිළි ද තිබුණා. එය අමානුෂික ද නැද්ද යන්න මා කියන්න යන්නෙ නැහැ. නවක වධය කියන්නෙ මොන විධියට කිවුවත් තම ආධිපත්‍යය බලයක් නැති පිරිසක් මත පැටවීමක්. ඒ පිරිසෙන් සමහරකු පසුව වධකයන් බවට පත්වෙනවා. මෙය ලංකාවට පැමිණ ඇත්තෙ එංගලන්තයේ පබ්ලික් ස්කූල් කියන පෞද්ගලික පාසල්වලින්. එංගලන්තයේ පාසල්වල බුලි කරන්නන් (තම ශක්තිය මත අනෙක් ශිෂ්‍යයන් පෙළන්නන්) ඉන්නවා. එංගලන්තයෙ ප්‍රභූ වරන්ගෙ දරුවන් ඉගෙන ගන්න පෞද්ගලික පාසල්වල නවක වධත් තිබෙනවා. ඒත් මට ඕන නවක වධය ගැන කතාකරන්න නො වෙයි.
 

මගේ පරම්පරාවෙ සිංහල දෙමළ ශිෂ්‍යයන් එකට ඉගෙන ගත් පාසලක සිටි අයකුගෙන් ඒ කාලෙ පාසල්වල සිංහල දෙමළ භේදයක් තිබුණා ද කියා ඇහුවොත්, ඔහු ගත් කටට ම කියන්නෙ අපොයි නැහැ අපේ යහළුවන් සිංහල ද දෙමළ ද කියලා අප කවදාවත් විමසුවේ නැහැ. අප එකම පංතිවල ඉගෙන ගත්තා, එකට සෙල්ලන් කෙරුවා කිසිම භේදයකින් තොරව. මෙයත් තරමක බොරුවක්. මෙහි දී මට මතක් වෙන කරුණු දෙකක් තිබෙනවා. දෙකම අද කියන විධියට නම් උසස් පෙළ පංතිවල දී සිදු වූ දේ. සාමාන්‍ය පෙළෙන් පසු ගණිත හා ජීව විද්‍යා සිසුන් වෙන් වෙනවා. මා සමග සාමාන්‍ය පෙළ එකට සිට ජීව විද්‍යා හැදෑරීම සඳහා වෙන් වුණු සිංහල ශිෂ්‍යයකු  මට කීවේ හොඳට වැඩ කරන්න ඕන, දෙමළ අයට පරදින්න එපා කියා යි. ඔහු දැන් වෛද්‍යවරයෙක්. දෙවැන්න පාසලේ සඟරාවේ පිට කවරය සිංහලෙන් මුද්‍රණය කළ අවස්ථාවේ සිදුවූවක්. එක් දෙමළ ශිෂ්‍යයකු මා සමග කීවේ අහවල් ගුරුවරයා සිටියේ නම් මෙවැන්නක් සිදු නොවන බවයි. 

විග්නේෂ්වරන් 1956 දී පාසල් සිසුවෙක්. ඔහුගේ නිවස ඇත්තේ කුරුඳුවත්තේ. ඔහු යාපනයට පදිංචියට යන්න ඇත්තේ මහා ඇමති වීමෙන් පසුව විය හැකියි. ඔහුට සාමාන්‍ය මට්ටමකට සිංහල පුළුවන්. ඔහු කියා තිබුණා රාජ්‍ය භාෂා පනතට ඔහු වෛර කළ බව. පනත්වලට වෛර කරන්නන්ට ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන් වීමට සදාචාරාත්මක අයිතියක් තියෙනවා ද කියන එක වෙනම ප්‍රශ්නයක්. එහෙත් ඔහු ඉංගිරිසියෙන් වැඩ කිරීමට විරුද්ධ වූයේ නැහැ. කලින් කී දෙමළ ශිෂ්‍යයාත් සඟරාවේ පිට කවරය ඉංගිරිසියෙන් තිබීම ගැන විරෝධයක් පළ කෙළේ නැහැ. මේ විරුද්ධත්වය සිංහලට මෙරට හිමි තැන ලබාදීමටයි, මෙරට ඉතිහාසයට හා සංස්කෘතියට ගරු කිරීමටයි. ඔවුන් සිංහල දෙමළ භේදයක් පාසල් වියේ දී නොසැලකී යැයි කිව හැකි ද?

ඔබ්සර්වර් පත්‍රයේ කලක් කතෘවරයා ව සිටි මහින්දපාල ඊයෙ පෙරේදා ලිපියක් මගින් බෙන් බැවින්ක් නමැත්තකුගේ ඔෆ් ටැමිල්ස් ඇන්ඩ් ටයිගර්ස් නම් පොතෙන් කරුණක් උපුටා දක්වනවා. නීලන් තිරුචෙල්වම් සමග මුණ ගැසුණු අවස්ථාවක රධිකා කුමාරස්වාමි (ඉන්ද්‍රජිත්ගේ නැගනිය)  බෙන් බැවින්ක්ට පවසා ඇත්තේ ඇය සිංහල ප්‍රජාතන්ත්‍රවාදියකු හා දෙමළ ෆැසිස්ට්වාදියකු අතරින් සිංහල ප්‍රජාතන්ත්‍රවාදියා තෝරා ගන්නා බවයි. ඇය කිනම් ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූවා ද යන්න පැහැදිලි නැහැ. එහෙත් මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේත් ඇය සිංහල දෙමළ භේදයක් සලකන බවයි. 

කොහොමත් දෙමළ ප්‍රභූන් සිංහල ප්‍රභූන්ට වඩා ජාතිකත්වය ජනවාර්ගිකත්වය ආගමිකත්වය සලකනවා. ඔවුන්ට ලැබුණේ එකම බටහිර ක්‍රිස්තියානි (ඇංග්ලිකන්) අධ්‍යාපනයක් වුවත් ඒ අධ්‍යාපනයෙන් සිංහලයන්ගේ සිංහලකම වැඩියෙන් නැතිකර තිබෙනවා. දෙමළ ජනයාගේ ඉංගිරිසි උච්චාරණය පිළිබඳව සිංහල ප්‍රභූන් හාස්‍යයෙන් කතා කළා. දෙමළ ජනයාගේ දෙමළකමට විරුද්ධව කතාකරන දෙමළ පඬියන් නැහැ, සිංහල පඬියන් කොහොමටත් නැහැ.  ඒත් සිංහලයන්ගේ සිංහලකමට විරුද්ධව කතාකරන දෙමළ පඬියන්ටත් වඩා සිංහල පඬියන් ඉන්නවා. 

මෙයට හේතුව පඬියන් ඊනියා ආධිපත්‍යයක් ගැන කියන සිංහල බෞද්ධ සංස්කෘතියේ සහනශීලී බවයි. මහාභාරතයේ කොටසක් වූ භගවද්ගීතයෙහි ක්‍රිෂ්ණ දෙවියන් අර්ජුනට පවසන්නේ ධර්මය සඳහා නෑයකු වුවත් මරාදැමිය යුතු ය යන්න ය. මෙය යාපනයේ සිටි අරුමුගම් නවලාර් වෙනත් වචනවලින් කියා තිබෙනවා. නවලාර් කියන එකේ තේරුම ගුරුවරයා යන්නයි. ඔහු වෙල්ලාලයන්ගේ ආධිපත්‍යය දෙමළ සමාජයේ තහවුරු කළ වෙල්ලාල ගුරුවරයා. දෙමළ හින්දු සංස්කෘතියේ සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා දෘඪ ස්වභාවයක් තිබෙනවා. ජාතිකත්වය ඇත්තේ ලේ වල නොව ප්‍රධාන වශයෙන් සංස්කෘතියෙහි. ගැමුණු රජු  මාගේ මේ ව්‍යායාමය බුදුසසුනේ චිරස්තිථිය සඳහා යැයි නොකියන්නට සිංහල ජාතියක් ඉතුරු නොවන්නට තිබුණා. ධර්මපාලතුමාත් බුදුසසුන රැකගැනීම සඳහා කටයුතු කෙළේ ගැමුණු රජුගේ ආභාසයෙන් විය හැකියි. 

බටහිර ක්‍රිස්තියානි (ඇංග්ලිකන්) අධ්‍යාපනයක් ලැබ සුද්දන්ගේ  සංස්කෘතිය උකහාගෙන සුද්දන්ට කත් ඇද ඊනියා ප්‍රභූන් වූ  සිංහලයන්ට හා ඔවුන්ගෙන් පැවතෙන්නන්ට වඩා එවැනි දෙමළ අයට ජනවාර්ගිකත්වයක් තිබෙනවා. රනිල් හා රධිකා අතර ඇති වෙනස එයයි. ඒ ප්‍රභූන් වූ අය පැත්තකින් තබන්න. එවැනි ප්‍රභූන් විසින් සත පහකට ගණන් නොගැනෙන, සුද්දන්ගේ සංස්කෘතිය උකහා ගැනීමට දඟලන එහෙත් එසේ කළ නොහැකි, බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා ඇති සිංහල පඬියන් තමන්ට ජාතිකත්වයක් නැති බව පෙන්වීමට කෙතරම් උත්සාහ කරනවා ද? ඔවුන් සිතන්නේ එසේ කිරීමෙන් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය දරණ සමාජයේ තමන්ට පොරවල් විය හැකි බවයි. සිංහල බෞද්ධ සහනශීලීත්වය මේ පඬියන් ප්‍රයෝජනයට ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමටයි. එහෙත් ප්‍රභූන් අවසානයේ දී දෙහි ලෙල්ලක් මෙන් ඔවුන් විසිකරනවා. පසුගිය දා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී රඟ දැක්වුනේ ඒ නාට්‍යයයි. දෙමළ ප්‍රභූන් එවැන්නක් කරන්නේ නැහැ. ප්‍රභාකරන් ගැන මොන ෆැසිස්ට් කතන්දර කීවත් වෙල්ලාල ප්‍රභූන් ප්‍රභාකරන් සමරනවා, දෙමළ පඬියන්ට සලකනවා. 



මේ ලිපිය තමන්ට අවශ්ය  පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)





නලින් ද සිල්වා

2016 ජූලි 07