History

Thursday, 4 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 1

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 1

චන්න ජයසුමනගේ වකුගඩු සටන පළවෙලා. ඒ දොරට වැඩීමට මහින්ද, ගෝඨාභය, ජී එල්, ගම්මන්පිළ, අමරසේකර ආදීන්  සහභාගි වෙලා. මා ඒ බව දුටුවේ දෙරණ නාලිකාවෙන්. දෙරණත් වකුගඩු සටනේ ඉන්නවා. ඒකෙදි කතාකරන්න තිබුණු අයගෙන් තුන්දෙනකුගෙ, අනුරුද්ධ පාදෙනිය, වසන්ත බණ්ඩාර, චන්න ජයසුමන බටහිර වෛද්‍යවරුන්ගෙ කතා කොටස් පමණයි දෙරණෙ ප්‍රචාරය වුනෙ. මූලාසනේ සිටි පූජ්‍ය ඕමාරෙ කස්සප අනුනායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවෙනුත් කොටසක් ප්‍රචාරය වුනා. අනෙක් දෙදෙනාගේ, විජේරත්න සකලසූරියගේ හා මතුගම සෙනෙවිරුවන්ගේ කතා ප්‍රචාරය වුනේ නැහැ. නාලිකාවකට ඔක්කොම කතාවල කොටස් ප්‍රචාරය කරන්න බැහැ. ඒත් මේ වාර්තාව බලන කොට මට අතීතය මතක් වුනා. ඒ සියල්ල කියන්න බැහැ. මගේ අතීතය ගැන ඒ තරම් හොඳක් කියන්නත් නැහැ. ඒත් ඒ සියල්ල බැරිවුනත් ටිකකවත් කියන්න ඕන. ජනමාධ්‍ය නැතිවුනත් අද සමාජයීය මාධ්‍ය මගින් පණිවුඩය යවන්න පුළුවන්. චන්නට දෙරණට හා තවත් අයට වකුගඩු සටන පිළිබඳ ගෞරවය ලැබෙන්න ඕන.


මේ වකුගඩු කතාවට සම්බන්ධ පොතක් කලකට පෙර මාත් ලිවුවා. එහි දීත් දොරට වැඩීමක් තිබුනා. පොතේ නම බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ. ඒ උත්සවයට දේශපාලනඥයන් සහභාගි වුනේ නැහැ. ජනමාධ්‍ය ප්‍රචාරයක් දුන්නෙත් නැහැ. ඒත් මා හිතන්නේ පොත තරමක් විකුණුනාය කියලා. වකුගඩු ගැන මට නම් අහන්න ලැබුනෙ බැනුම්. අදත් මා ඒ නිසා බැනුම් අහනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුයි කීම හා නාථ දෙවියන් ගැන කතාකිරීම නිසා. මා මිථ්‍යාව පතුරුවන්නෙක් කියන එකයි විද්වතුන්ගේ මතය. ඒත් පොතේ උත්සවයට මෙරට බටහිර විද්‍යාවෙ ආරක්‍ෂකයකු ලෙස කටයුතු කරන කාලෝ ෆොන්සේකාටත් මා කතාවක් ලබාදුන්නා. 

මට විවෘත මනසක් නැහැ කියලා ඒ අය කියනවා. ඒත් මා ලෝකය දිහා බලන් ඉන්නවා. ඒ කියන්නෙ මා මගේ ලෝකය නිර්මාණය කරනවා. ඒ විවෘතව ද නැද්ද කියලා මා කියන්නේ නැහැ. මා නම් බලන්නෙ මට සාපේක්‍ෂව. එහෙම බලන කොට මට පේනවා මේ මහුණු පොත් පිටුවට කලින් කැමති වූ අය දැන් එසේ නොකරන බව. ඒ කියන්නෙ ඔවුන් ලයික් ලකුණු කරන්නේ නැහැ. ඒ අය එක්තරා දේශපාලන පක්‍ෂයක හිතවතුන් බවත් මට පේනවා. ඒ පක්‍ෂයේ අය අද වකුගඩුව පක්‍ෂ දේශපාලනීකරණයට ලක්කරලා තියෙන බවත් මට පේනවා. මා කියන්නේ නැහැ මට විවෘත මනසක් තියෙනවා කියලා. ඒ මට පේන හැටි. විවෘත මනස් මට විතරක් නෙවෙයි කාටවත් නැහැ.   

මගේ ලෝකය පොත පිට කරලා මේ අවුරුද්දට අවුරුදු තිහක් පිරෙනවා. ඒක ගැන රැස්වීමක් පැවැත්වුවොත් මහින්ද කොහොම වෙතත් ජී එල් ඒවි ද? ජී එලුත් ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ. ඒ කාලෙ ඔහු උපකුලපති නෙවෙයි. එහෙම වුනා නම් මට කලින්ම ගෙදර යන්න තිබුණා. අද ජනමාධ්‍ය ලෝකයේ ලොක්කන් කිහිප දෙනකුත් එදා කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයන් ලෙස හිටියා. මගේ සටන ආරම්භ කෙළේ මගේ ලෝකය පිටවෙන්න අවුරුදු තුන හතරකට කලින්. ඒ සටනෙ ප්‍රතිඵලයක් හැටියට මට 1992 දි කොළඹ විශ්වවිද්‍යාලෙන් පිටවෙන්න සිද්ධ වුනා. මගේ සටන රසායනික ද්‍රව්‍ය නිපදවන බෙදාහරින බහුජාතික සමාගම්වලට විරුද්ධව පමණක් නොවෙයි. ඒක මගේ සටනේ ඉතා සුළු කොටසක්. මා සටන් කරන්නෙ සමස්ත බටහිර ආධිපත්‍යයට එරෙහිව. අද ඒ ආධිපත්‍යයෙ ප්‍රධානම සංරචකය සංස්කෘතික සංරචකයි. එහි ද ප්‍රධාන කොටස දැනුම් ආධිපත්‍යයයි. මුහුණු පොතේ එක ලයික් එකක් නැති වුනත් මට කමක් නැහැ. මගේ සටන නවතින්නෙත් නැහැ.  

මා ආසනික් ගැන දැනගත්තෙ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන්. ඒ නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියකුගෙන්. චන්න වකුගඩු රෝගය ගැන මට කිවුව ම මා ඔහු ප්‍රියන්තට යොමු කළා. එදා රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වූ අද මා කෘෂිරසායනික වකුගඩු රෝගය නමින් හඳුන්වන රෝගයට හේතුව ආසනික් ජලය හා පස කියලා එදා ප්‍රියන්තා අපට කිවුවා. එදා කැලණි කණ්ඩායම නමින් ආසනික් ගැන පර්යේෂණ කරන කණ්ඩායමක් ද තිබුණා. අපට ඕන වුනේ බටහිර රසායනික විද්‍යා ක්‍රම යොදගෙන ආසනික් කතාව ගැන හොයන්න. කණ්ඩායමේ සාමාජිකයන් අතර චන්න වගේ ම මහාචාර්ය ප්‍රියානි පරණගමත් මහාචාර්ය මාලා අමරසිංහත් හිටියා. 

විද්‍යාභිවර්ධන සංගමයේ අය ඒ දෙදෙනාට තර්ජනය කළා මා සමග වැඩ කළහොත් ඔවුන් විද්‍යාඥයන් ලෙස නොසලකන බවට. මා කොහොමටත් විද්‍යාඥයකු නොවෙයි. මා ඒ දෙදෙනාට ගරු කරන්න ඕන ඔවුන් ඒ තර්ජනය සත පහකටවත් මායිම් නොකිරීම ගැන. විද්‍යාභිවර්ධන සංගමයෙ සමහරුන්ට ඕන වුනා මා සංගමයෙන් අස්කරන්න. මගේ මෝඩ කාලෙ මා සංගමයෙ යාවජීව සාමාජිකයකු වෙලා තිබණා. යාවජීව සාමාජිකයන් අස්කරන්නෙ කොහොමද කියලා විද්‍යාඥයො දැන හිටියෙ නැහැ! චන්න ඒ දිනවල ප්‍රියානි යටතේ කැලණිය විශ්වවිද්‍යාලයෙ ආචාර්ය උපාධියකට ලියා පදිංචි වෙලා හිටියා. මොකක්දෝ වැරදීමකින් විද්‍යා ගුරුවරු මා විද්‍යා පීඨාධිපති ලෙස පත්කරගෙන තිබුණා. බහුජාතික සමාගම් අපේ පර්යේෂණ ප්‍රශ්න කළා. අපේ කීවාට මා කළ පර්යේෂණයක් තිබුණෙ නැහැ. මා දන්න රසායන විද්‍යාවකුත් නැහැ. මා උසස් පෙළ රසායන විද්‍යා විෂයයෙන් අසමත්. මා ඒ විෂයයට කැමතිත් නැහැ. ඒත් රසායන විද්‍යාවෙ දර්ශනය මා දන්නවා. පිඨාධිපති ලෙස මා බහුජාතික සමාගම්වලට ආරාධනා කළා එක් සෙනසුරාදා දවසක ඇවිත් අපේ පර්යේෂණ නිරී’ක්‍ෂණය කරන්න කියා. ඔවුන් ඒ පර්යේෂණවලින් සෑහීමකට පත්වුනා. චන්නගෙ පොතේ උත්සවයෙ දි ප්‍රියානිගෙ නම කියවුනා ද කියලා මා දන්නෙ නැහැ. ඒ පර්යේෂණ නිසා ඇයට විඳින්න වුනු ගැහැට පීඨාධිපති ලෙස මා දන්නවා. මගේ නම නම් කියවෙලා තියෙනවා. ඒ මතුගම සෙනෙවිරුවන්ගෙ කතාවෙදි මිසක් එයට පෙර නොවෙයි. ඒ පර්යේෂණවල ඉතිහාසය කැලණිය විශ්වවිද්‍යාලයෙ  පීඨ රැස්වීම් හා උසස් උපාධි රැස්වීම්වල වාර්තා වෙනවා. ඒ රැස්වීම්වල මුලසුන දැරුවෙ මා නිසාත් එහි දී  විද්‍යා පීඨ ගුරුවරුන් කළ කෙණෙහිලි චන්න දන්නේ නැති වුනාට මා දන්නවා. අවසානයේ දී ඔවුන් මගේ ඡායාරූපය අනෙක් පීඨාධිපතිවරුන්ගේ ඡායාරූප එල්ලා ඇති පීඨ මණ්ඩල රැ්ස්වීම් ශාලාවෙ එල්ලුවෙ නැහැ. එල්ලන්න මට ඡායාරුපයක් ඇත්තෙත් නැහැ.  (මතු සම්බන්ධයි)    


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 අගෝස්තු 04