History

Saturday, 6 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 3

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 3

මා ලිවීමට බලාපොරොත්තුව සිටි සමහර කරුණු දැනටමත් ප්‍රතිචාර ලෙස ලියැවිලා. ඒත් තව බොහෝ කරුණු කියන්න තියෙනවා. එයට පෙර වෙනත් කරුණක් කිව යුතුයි. මෛත්‍රිපාලටයි දුමින්දටයි රටට කරන්න පුළුවන් සේවය තමයි මහින්ද ඇතුළු අනෙක් අය මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස්කිරීම. ඔවුන් මේ අත ගගා සිටින්නේ නඩුවක පැටළෙන්නේ නැතිව මහින්දලාගේ මන්ත්‍රීකම් නැතිකරන්නයි. මන්ත්‍රීකම් නැතිකළත් කමක් නැහැ. ඔය පාර්ලිමේන්තුවේ කාලය දැන් නීතියෙන් කෙසේ වෙතත් අවසන්. ඒත් තවමත් රනිල්ට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ඒ නිසා පනත් සම්මත කරගන්න හිතනවා ඇති. ඒ වුනත් දැන් බලය උරගා බැලෙන්නේ මහාපාරේ. මහින්දලා අස්කරාම ජාතික සංවිධානයක් ගොඩනැගේවි. එය අප කියන ප්‍රමාණයට ජාතික වෙන එකක් නැහැ. ඒත් ඒකෙ වරදක් නැහැ. චන්නගේ උත්සවයේත් ප්‍රධාන ම අඩුපාඩුව තමයි ඒකෙ ජාතිකත්වය වෙනුවට ව්‍යාජ සමාජවාදයට තැන දීම. බහුජාතික සමාගම්වලට පහර ගැසීමෙන් පමණක් වකුගඩුව හොඳ වෙන්නේ නැහැ. එසේ කිරීම වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීමක්.


පසුගිය වසරේ චින්තන පර්ෂදයෙන් අනුරාධපුරේ වකුගඩු සම්බන්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. සුපුරුදු පරිදි එයට විශාල සෙනගක් ආවේ නැහැ. ඒත් අපේ කොළඹ රැස්වීම්වලට පැමිණෙන පිරිසට වඩා වැඩියෙන් සහභාගි වුනා. සම්මන්ත්‍රණය සංවිධානය කෙළේ සමන් නමැති අයෙක්. ඔහුට සමන්ත නම් අයකු සහාය දුන්නා. එහි දී අනුරාධපුරය පදනම් කරගත් ජනමාධ්‍යවේදියකු කී දෙයක් සඳහන් කරන්න ඕන. ඔහු කියා සිටියේ රජරට වකුගඩු රෝගය ගැන ඔහු ජනතාව දැනුවත් කළ බවත් චන්නට පළමුව වෙනත් බටහිර වෛද්‍යවරයකු ඒ සම්බන්ධ සමීක්‍ෂණ කළ බවත්. ඒ බව මතක් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත වෙනවා. 

එහෙත් රජරට වකුගඩු රෝගය ගැන රටේ ජනතාව විමසිලිමත් වූයේත් ආණ්ඩුව සුපුරුදු පරිදි වැඩකට නැති උනන්දුව දැක්වූයේත් ආසනික් කතාව පැතිර යෑමෙන් පසුව. එවකට තිබුණේ මහින්දගේ ආණ්ඩුවක්. සෞඛ්‍ය ඇමති රජරට ම මෛත්‍රිපාල. කැලණි කණ්ඩායම අනුරාධපුරයට යන ගමන් හරි එන ගමන් හරි මෛත්‍රිපාල දඹුල්ලේ දී හමුවී වකුගඩු රෝගය ගැන කතා කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා ඔහු වෙත ඒ වන විටත් ලැබී තිබුණ බවත් ඔවුන් මා සමග කීවා. අපේ කණ්ඩායම කිහිප වතාවක්ම අනුරාධපුරයට හා වෙනත් ප්‍රදේශවලට ගියා. මා නම් ගියේ එක වතාවක් පමණයි. මා මේ කියන සමහර කරුණු මහින්දගේ ආණ්ඩුවට හොඳ නැහැ. මහින්ද එහි දී අපට පක්‍ෂ වන දේත් කළා. දිනේෂ්ට පමණ ජාතිකත්වයක් මහින්දට  තිබුණා නම් හරි මහින්දට පමණ නායකත්ව ගුණ දිනේෂ්ට තිබුණ නම් හරි මේ රට මෙයට වඩා යහපත් වන්න තිබුණා. එහෙනම් රනිල්ට සම්ම ජාතියෙ බලයට එන්න ලැබෙන්නෙ නැහැ. විමල්ටත් බැසිල්ටත් ඒ තරම් ජාතිකත්වයක් නැහැ. ඒත් විමල්ට කථිකත්වයකුත් බැසිල්ට සංවිධාන හැකියාවකුත් තියෙනවා.

ප්‍රියන්තා මගින් චන්න අමනුෂ්‍ය ප්‍රාණින් සමග කළ සාකච්ඡාවක දී ඔවුන් සහල්වල ආසනික් තියෙන බව කියා චන්නට ඒ පිළිබඳ ලිපියක් ලියන්න කියා තිබෙනවා. මා කීවා ඒ ලිපිය ලියන්න එපා කියලා. නමුත් චන්න නාථ හා විපස්සක දෙවිවරුන්ට අවනත වී ඒ පිළිබඳ විදුසරට ලිපියක් ලිවුවා. ආණ්ඩුව කලබල වුනා. මහින්ද මට එන්න කිවුවා. ඔහු මා තනිව හමු වූ එකම එක වතාව එයයි. ප්‍රේමදාසත් මට එක් වරක් එන්න කීවුවා. ඒ භීෂණ දවස්වල විශ්වවිද්‍යාල විවෘත කිරීම ගැන. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්වූයේ ඒ හමුවීමෙන් පස්සෙ. මහින්ද මට කීවා මෙය අපේ අපනයනවලට හොඳ නැති බවත් විශේෂයෙන් ම තේවලට බලපාන බවත්. තේවල ආසනික් ඇති බවට මතයක් දැනටමත් පැතිර ගොස් ඇති බවත් ඔහු කීවා. මා එය එතරම් ගණන් ගත්තේ නැහැ. මේ නිලධාරීන් දෙන බොරු උපදෙස්. එහෙත් එයට වඩා භයානක කතාවක් සමහර ඇමතිවරු කීවා. අප කණ්ඩායම ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන පාන් කෑමට ජනතාව පෙළඹවීම සඳහා සහල්වල ආසනික් තිබෙන බව ප්‍රචාරය කරන බව. කවුරුන්වත් මට මුහුණට ඒ බව කීවේ නැහැ. ඒ් ප්‍රචාරය තරමක් අපට අවාසිදායක වුණා. අපි බත් කමු කියා ලිපියක් ලියන්නත් මට සිද්ධ වුනා. මේ පිටුපස නිලධාරීන් ඉන්න ඇති. 

අපේ පර්යේෂණ කරගෙන යෑමට විද්‍යා පීඨයෙන් බොහොම බාධක ඇතිවුණා. මා පීඨාධිපතිව සිටි නිසා ඒ බාධක පරාජය කිරීමට හැකි වුණා. ඒත් 2009 දෙසැම්බර් මාසෙ විශ්වවිද්‍යාල නීති අනුව මා විශ්‍රාම ගතයුතුව තිබුණා. අදෘෂ්‍යමාන ප්‍රාණීන් ප්‍රියන්තා මගින් මට දිගුවක් ලබාගැනීමට කටයුතු කළා. විශේෂ කැබිනට් මණ්ඩළ තීරණයකින්  මහින්ද මගේ සේවා කාලය අවුරුදු තුනකින් දීර්ඝ කළා. එයට මුළු විශ්වවිද්‍යාල පද්ධතියම විරුද්ධ වුනා. ඒත් ඔවුන් කිසි පියවරක් ගත්තේ නැහැ. ඒත් මගේ පීඨාධිපතිකම නැතිකරන්න උත්සාහ ගත්තා. මා පීඨාධිපති ලෙස පත්කරගෙන තිබුණේ 2011 වෙනකන්. ඒ නිසා ඒ වනතුරු මට පීඨාධිපති තනතුර දරන්න පුළුවන් වුනා. ඒකෙ තිබුණ සියුම් නීතිය ගුරුවරුන්ට තේරුනෙ නැහැ. මා උපකුලපති සරත් අමුණුගමට නීතිය පැහැදිලි කළා. මහින්දත් ඔහුට කතා කර තිබුණා.  මට පීඨාධිපති ලෙස කටයුතු කරගෙන යෑමට නීතියෙන් ම ඉඩදීමට සරත්ට සිදුවුනා. එය නව පත්වීමක් නෙවෙයි. විද්‍යා ගුරුවරු ආචාර්ය උපාධියට චන්නගේ ලියා පදිංචි කිරීම ප්‍රශ්න කළා. විද්‍යා ගුරුවරු වෛද්‍ය පීඨයේ ගුරුවරුන් පත්කිරීමේ හා උපාධි ප්‍රදානයේ නීති රීති දැනගෙන හිටියේ නැහැ. චන්නගේ ලියා පදිංචිය රැකගැනීමට මට හැකි වුනා. 2012 වන තුරු මගේ පත්වීම දීර්ඝ කර තිබුණ නමුත් 2011 දී පීඨාධිපති ධුරයේ කාලය අවසන් වුනා. මා තව අවුරුද්දක් සිටියේ නැහැ. පරයේෂණත් ඒ වන විට අවසන් වෙලා. මා විශ්වවිද්‍යාලයේ සේවය අවසන් කළා. එය නීතිය අනුව විශ්‍රාම ගැනීමක්වත් ඉල්ලා අස්වීමක්වත් වුනේ නැහැ. එහෙත් අවාසනාවන්ත සිද්ධිය වුනේ මා විශ්වවිද්‍යාලයේ සේවය අවසන් කළ පසු චන්නගේ ලියා පදිංචිය නැතිකිරීම. ඒ සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි අර්ථනායක ලවා ඊනියා පරීක්‍ෂණයක් කර වාර්තාවක් ලබාගත්තා. ඒ පරීක්‍ෂණයට මා කැඳවන ලෙස මා ඉල්ලා සිටි නමුත් ඔවුන් එසේ කෙළේ නැහැ. මගේ තර්ක බිඳින්නට බැරි බව ඔවුන් දැන සිටියා. පසුව චන්න රජරට විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා. 

මේ සියල්ලට හේතුව ජාතිකත්වයයි. නාථ දෙවි කතාව නොවන්නට මේ එක බාධාවක්වත් වන්නේ නැහැ. බටහිර විද්‍යා ආධිපත්‍යයට එරෙහි වීම සිය දිවි නසා ගැනීමක්. වසන්ත බණ්ඩාරවත් අනුරුද්ධ පාදෙනියවත් නාථ දෙවියන් ගැන කියන්නේ නැතිව ඇති. ඒත් ඔවුන් දෙදෙනාම මට ප්‍රියන්තාගේ නිවසේ හමු වී තිබෙනවා.  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 අගෝස්තු 06