History

Saturday, 13 August 2016

ව්‍යවස්ථා සංශෝධනයක්

ව්‍යවස්ථා සංශෝධනයක්

වැසිකිළියේ කරන දේ කෑම සාලයේ දී කරන්නේ නැහැ කියලා කතානායක කියලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කරු ජයසූරිය යටතේ පාර්ලිමේන්තුව මොකක් ද කියන එක. ඒ ඒ අය ඒ ඒ විධියට හිතාගන්නවා ඇති. ලංකාවෙ ඇමරිකන් තානාපති කොහොම හිතනව ද කියලා අප දන්නේ නැහැ. බටහිරයන් ලංකාවට එන්නෙ මොහොකට  යනව කියලා හිතාගෙන ද? මේ ඉන්දියන් සම්භවයක් ඇති තානාපති තමන්ගෙ සුවච සේවකයන්ට කියනවා ඇමරිකන් කාරයො කියන විධියට ගුඩ් ජොබ් කියලා. සමහරවිට ග්‍රේට් ජොබ් කියන්නත් ඇති. ඇමරිකන් සංස්කෘතියෙ අතිශයොත්තිය මමායනය දකින්න පුළුවන්. ඔවුන් මේ ඊනියා ජාතික ආණ්ඩුව පත්කරගත්තෙම මේ වගේ ගුඩ් ජොබ් කරන්න තමයි. අප ඒ දවස්වල ඒ බව කියන විට අද ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අය ගණන් ගත්තෙ නැහැ. අද ඇමරිකානුවන්ගෙන් තිස් ලක්‍ෂයක් පමණ ඉන්දීය සම්භවයක් ඇති අය. ඔවුන්ගෙන් සමහරු ඇමරිකාවෙ ඉහළ තනතුරුවල ඉන්නවා.


ඒකාබද්ධ විපක්‍ෂෙට වගේ ම අප කාටත් බැරි වුනා අතුරුදහන් වූවන්ගේ කාර්යාල (ඒකෙ නියම නම නොවෙයි) පනතට විරුද්ධව උසාවි යන්න. ඒකාබද්ධ විපක්‍ෂෙ අය තවමත් ජාතිකත්වයට වඩා බොරු සමාජවාදයට බරයි. ඔවුන්ට ජාතිකත්වයට වඩා ආර්ථික ප්‍රශ්න වැදගත්  වැට් ප්‍රශ්නය අතුරුදහන් වූවන්ගෙ කාර්යාල පනතට වඩා වැදගත් වුනා. මෙරට අද මූලික ප්‍රශ්නය මොකක් ද කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ දන්නෙ නැද්ද? මෙතන ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය හරියට විසඳගන්න කම් ඒකාබද්ධ විපක්‍ෂෙට ප්‍රමුඛතාවක් ලැබෙන එකක් නැහැ. ඒකෙන් වාසිය රනිල්ටයි. රනිල් ජාතිකත්වයක් ඇති අයකු නොවෙයි. 

මා කලින් දවසෙ කිවුවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවෙ හැටතුන්වැනි වගන්තිය අනුව ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දීලා තියෙනවා. ඒත් ප්‍රතිඥාව කැඩුවොත් මොකද වෙන්නෙ කියන එක ව්‍යවස්ථාවෙ නැහැ. කතානායක තේරීම පමණයි ප්‍රතිඥාව නැතිව කෙරෙන්නෙ. ප්‍රතිඥාව කඩන මන්ත්‍රීවරුන් අස්කිරීමේ ක්‍රමයක් තියෙන්න ඕන. මන්ත්‍රිවරයකු වීමට පාර්ලිමේන්තුවේ වාඩිවීමට ඡන්දය දීමට නොහැකි හේතු ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අනූඑක්වැනි වගන්තියෙ සඳහන් වෙනවා. ඒත් හැටතුනේ සඳහන් ප්‍රතිඥාව කැඩීම එයින් එක් හේතුවක් නොවෙයි. ඒ කියන්නෙ ප්‍රතිඥාව කඩපු, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නැතිව, උල්ලංඝනය කරපු අයටත් මන්ත්‍රීන් හැටියට කටයුතු කරන්න පුළුවන්. 

ඒකාබද්ධ විපක්‍ෂයට ඒ අවස්ථාව නැතිකිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න පුළුවන්. ඕනෑම ඡන්දදායකයුට එලෙස ව්‍යවස්ථාව කඩකර ඇති මන්තීවර්‍රයකුට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්න පුළුවන් වන විධියටත් ශ්‍රෙෂ්ඨාධිකරණයට එවැනි පෙත්සමක් විභාග කර අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධුරය අහෝසිකිරීමටත් බලය ලැබෙන අයුරිනුත් ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් වෙනස්කර තවත් වගන්තියක් දෙකක් එකතු කිරීම පමණයි. ඒ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත්කිරීමට දක්‍ෂ නීතිඥයකුට පැය කිහිපයකට වඩා යන්නේ නැහැ. අවශ්‍ය වන්නේ අදාළ සංශෝධනවලින් පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට හානියක් නොවීමට වගබලාගැනීමයි.  

එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෞද්ගලික මන්ත්‍රීවරයකුට වුනත් පුළුවන්. එසේ කළ නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල හෝ  සඳහන් වන්නේ නැහැ. මෙහි දී වැදගත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූදෙවැනි වගන්තිය අනුව පෞද්ගලික මනත්‍රීවරයකුගේ යෝජනාවක් ලෙස ඒ සංශෝධනය ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි ව්‍යවස්ථා සංශෝධනයකින්් බලාපොරොත්තුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඌනතාවක් නැතිකිරීම පමණයි. අද ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හැටතුන්වැනි වගන්තියට නිගා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රැඳී ඉන්න පුළුවන්. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ ඒ නැති කිරීමයි.

මෙයට ආණ්ඩුව සහාය දේචි ද නැද්ද කියා හිතන්න ඕන නැහැ. ආණ්ඩුව සහාය නුදුන්නොත් ඒකෙන් කියන්නෙ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමට ඉඩ දෙන බවයි.






මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 අගෝස්තු 13