History

Wednesday, 24 August 2016

නැති අවස්ථිති රාමු


නැති අවස්ථිති රාමු

කාලෙකින් බටහිර විද්‍යාවෙ සංකල්ප ගැන කතාකරන්න බැරිවුනා. නිවුටන්ගෙ බලය පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව කලින් ලිපියක කියා ඇති. ගුරුත්වාකර්ෂණ බලයත් පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. ඒක අපට දැනෙන්නේ නැහැ. ඒත් බටහිර විද්‍යාවෙ කතාකරන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර දේ ගැන. ඔවුන් පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් පංචෙන්ද්‍රිය ගෝචර දේවලින්. බටහිර යථානුභූතවාදීන්ට (පොසිටිවීිස්ට්ස්) අනුව පවතින දේ පංචෙන්ද්‍රිය ගෝචර විය යුතුයි. බටහිරයන් පශ්චාත් යථානුභූතවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යුහවාදය ආදිය ගැන කතාකරනවා. පශ්චාත් කියන වචනෙම තියෙන්නෙ බංකොළොත් බවක්. මේ වචන වැඩියෙන් ම භාවිතා වෙන්නෙ බටහිර සමාජයීය විද්‍යාවල.

අපට මේ සංකල්පවල වැදගත්කම තියෙන්නෙ යථානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් බටහිර විද්‍යාව ගැන පළ කළ යම් යම් මත නිසා. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර දේ තේරුම් කිරීමේ දී පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප පමණක් යොදා ගත යුතු ය කියායි. මේ අදහස තරුණ අයින්ස්ටයින්ට විශාල වශයෙන් බලපෑවා.  මාක් පරමාණු වගේ ම අවස්ථිති සමුද්දේශ රාමුත් ප්‍රතික්‍ෂෙප කළා ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන නිසා. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණ බලයක් කියා එකක් නැහැ. එවැන්නක් පවතින්නේ නැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවන නිසා. පවතිනවා කියන එක පැහැදිලි කරන්න බැහැ. ඇතැම් සිංහල බෞද්ධයන් ද අසංගත යථානුභූතවාදුීන් වෙලා. ඔවුන් දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කරන්නේ නැහැ, ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන නිසා. ඒත් ඔවුන් ගුරුත්වාකර්ෂණය පවතින බව විශ්වාස කරනවා ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවීත්. බෞද්ධයන්ට කිසිවක් වාස්තවික ව, නිරපේක්‍ෂ ව  නිරීක්‍ෂකයාගෙන් තොරව ‘ක්‍ෂ‘ණයක්වත් පවතින්නේ් නැහැ. එමෙන් ම නොපවතින්නෙත් නැහැ.  පවතින්නේ සාපේක්‍ෂව. මේ හුදු සාපේක්‍ෂතාවක්, එනම් පවත්නා ලෝකයක් ඒ ඒ අයට පේන ආකාරය පිළිබඳ සාපේක්‍ෂතාවක් නොවෙයි නිර්මාණය කරන සාපේක්‍ෂතාවක්. නිරීක්‍ෂකයා තමාට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරනවා.  පටිච්චසමුප්පාදයේ පැවැත්මක් ගැන කියන්නේ නැහැ. එහි කියැවෙන්නේ හටගැනීමක් ගැන. යම් යම් හේතු නිසා යම් යම් ඵල හටගන්නවා. ඒ ඒ හේතු නැත්නම් හටගැනීමක් නැහැ.

පසුගිය දා කාලෝ ෆොන්සේකා කියලා තිබුණා නිවන හැරෙන්නට අනෙක් දේ වර්ධනය කරන්න පුළුවන් කියා. බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වෙනවා කියලා අප කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව කියලා දෙයක් පවතින බව පිළිගනිමින්. එය අපේ පිළිගැනීමක් මිස ඊනියා යථාර්ථයක් නොවෙයි. මේ පවත්නා දෙය වර්ධනය වෙනවා කියලා අප කියනවා. ඒ පවතින්නේ යැයි කියන දේක  වෙනස්වීමක්. මේ අනිත්‍ය එහෙම නම් නොවෙයි. වෙනස් වන දෙයක් ඇතැයි ගැනීම වැරදියි. වෙනස්වීමක් මිස වෙනස්වන්නක් නැහැ. කාලෝ නිවන ගැන හිතන්නෙත් දෙයක් හැටියට. නිවන වර්ධනය කරන්න බැහැ කියන්නෙ ඒකයි. නිවන හැරෙන්න අනෙක් දේ ගැන කියන කොට ම නිවනත් දෙයක් බවට පත්වෙලා. නිවන දෙයක් නොවෙයි. නිවන පවතින්නේ නැහැ. සාපේක්‍ෂව හරි නිරපේක්‍ෂව හරි යමක් පවතිනව යැයි කීම වැරදි බව අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය.   

නිවුටන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන බලයක් ඉදිරිපත් කළා. ඔහුගේ සුප්‍රසිද්ධ චලිත නියම වලංගු වන්නේ අවස්ථිති සමුද්දේශ රාමුවල. අපි පළමුවෙන් ම බලමු මේ අවස්ථිති සමුද්දේශ රාමු මොනවාද කියා. අප නිරීක්‍ෂණය කරන්නේ යම්කිසි රාමුවක. එය කාමරයක, කරත්තයක, දුම්රිය මැදිරියක, නැවක, අහස් යානයක නැත්නම් තමන්ගෙ ම ශරීරයෙ විස්තෘත, දික්කෙරුණු, අවකාශය විය හැකියි. අප වෙනත් වස්තුවක ප්‍රවේගය, ත්වරණය ආදිය මනින්නෙ මෙවැනි රාමුවකට සාපේක්‍ෂව. මේ රාමුවලට සමුද්දේශ රාමු කියලා කියනවා.

අවස්ථිති සමුද්දෙශ රාමු කියන්නෙ විශේෂිත සමුද්දේශ රාමු කුලකයක්. මේ රාමු එක එක විධියට නිර්වචනය කෙරෙනවා. සමහරවිට ඈත ඈත පිහිටි තාරකාවලට සාපේක්‍ෂව නිසලව තිබෙන සමුද්දේශ රාමු හැටියට අර්ථදැක්වෙනවා. ඒ කියන්නෙ යම් රාමුවකට සාපේක්‍ෂව, ඒ රාමුවේ සිට නිරීක්‍ෂණය කරන විට ඈත ඈත පිහිටි තාරකා නිසල නම් එවැනි සමුද්දේශ රාමුවකට අවස්ථිති සමුද්දේශ රාමුවක් කියලා කියනවා.
ප්‍රශ්නයක් වන්නෙ ඈත කියන්නෙ කොපමණ ඈත ද කියන එක. තාරකා නිසල නැහැ. ඒවාට විවිධ චලිත තිබෙනවා. අප පියවි ඇසින් බැලූ විට නිසලව ඇති තාරකා දුරේක්‍ෂයකින් බැලූ විට චලනය වන බව පේනවා. විශ්වය ප්‍රසාරණය වෙනවා. දැනට අවුරුදු විස්සකට පමණ පෙර විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බව පර්ල්මටර්, රීස් හා ෂ්මිඩ්ට් නිරීක්‍ෂණය කළා. ඒකට ඔවුන්ට 2011 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග හිමිවුණා. එසේ වන්නේ ඇයි ද කියන එකට තවමත් කවුරුත් පිළිගන්නා වියුක්ත කතාවක් නැහැ. ඒ කොහොම වුණත් ඈත ඈත නිසලව පිහිටි තාරකා මගින් අවස්ථිති සමුද්දේශ රාමු අර්ථදක්වන්න බැහැ.

තවත් අර්ථදැක්වීමක් අනුව නිරපේක්‍ෂ අවකාශයක් ගැන කියැවෙනවා. එය නිවුටන් කියපු දෙයක් නොවෙයි. පස්සෙ හිටපු අය හදාගත්ත සංකල්පයක්. නිරපේක්‍ෂ අවකාශය කියන්නෙ කිසිම දෙයක්, විකිරණ, ද්‍රව්‍ය කිසිවක් නැති අවකාශයක්. ඉර හඳ මන්දාකිණි සියල්ල ඉවත්කරාම ලැබෙන අවකාශය නිරපේක්‍ෂ අවකාශය. මේ අවකාශයත් එයට සාපේක්‍ෂව ඒකාකාරව ප්‍රවේගවලින් චලනය වන රාමුත් අවස්ථිති සමුද්දේශ රාමු ලෙස පිළිගැණුනා. එය හොඳ වියුක්ත සංකල්පයක්. පොඩි ප්‍රශ්නයක් වුනෙ ඒ රාමුවක ඉඳලා නිරීක්‍ෂණය කරන්න බැරි එක. අවස්ථිති සමුද්දේශ රාමුවකට නිරීක්‍ෂකයකු ඇතුල් කරපු ගමන් එහි යමක් පවතිනවා. එවිට  එය තවදුරටත් අවස්ථිති සමුද්දේශ රාමුවක් වන්නේ නැහැ, එහි වියුක්තව හරි යමකු ඉන්න නිසා. අවස්ථිති සමුද්දේශ රාමුවක් හොයාගන්න බැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවෙයි. මාක් අවස්ථිති සමුද්දේශ රාමු ප්‍රතික්‍ෂෙප කළා. කිසිම දෙයක් නැති රාමුවක කිසිම දෙයක් නිරීක්‍ෂණය කරන්න බැහැ.

මේ නැති අවස්ථිති සමුද්දේශ රාමුවල තමයි නිවුටන්ගෙ චලිත සමීකරණය වලංගු වෙන්නෙ. අවස්ථිති සමුද්දේශ රාමුවක් කියන්නෙ වියුක්ත සංකල්පයක්. මේ වියුක්ත සංකල්පය ඇරිස්ටෝටල්ට තිබුණෙ නැහැ. නිවුටන්ට පෙර ඒ සංකල්පය තිබුණෙ නැහැ. බලයක් නැත්නම් වස්තුවක් ඒකාකාරව චලනය වන්නෙ මේ රාමුවල. බලයක් යෙදුවම අංශුවක් හරි වස්තුවක් හරි ත්වරණයකින් චලනය වන්නෙත් මේ රාමුවල.  නිවුටන්ගෙ බලයත් වියුක්ත සංකල්පයක්. අනෙක් අතට අංශුවකට ත්වරණයක් තිබෙනවා නම් බලයක් අවශ්‍ය වන්නේ මේ රාමුවල. පොල් ත්වරණයකින් පොළොවට වැටෙනවා. අප එය නිරීක්‍ෂණය කරනවා. අප උපකල්පනය කරනවා අපේ සමුද්දේශ රාමුව අවස්ථිති සමුද්දේශ රාමුවක් කියලා. එහෙම නම් පොල් ගෙඩිය ත්වරණයකින් වැටීමට බලයක් ඕන. ඒ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය.

නිවුටෝනීය යාන්ත්‍රිකය අවස්ථිති සමුද්දේශ රාමු මත පදනම් වෙලා. එහි ලෝකය, චලිතය තේරුම් ගන්නෙ අවස්ථිති සමුද්දේශ රාමු ඇති බව පිළිගනිමින්. ගුරුත්වාකර්ෂණ බලය එවැනි රාමුවල පොල් ගෙඩිවලට ත්වරණයක් දීමට ගෙතුව හොඳ වියුක්ත කතාවක්. අවස්ථිති රාමු අයින් කරලා භෞතික විද්‍යාව කළොත් මොක ද වෙන්නෙ. මුළු භෞතික විද්‍යාව ම බැරි වුවත් කොටසක් හරි කරන්න පුළුවන් ද? පුළුවන්, ඒක තමයි අයින්සටයින් කෙළේ. ඔහු නිවුටන්ගෙ අවස්ථිති සමුද්දේශ රාමු ඉවත් කළා. එවිට ගුරුත්වාකර්ෂණ බලයත් ඉවත් වුනා. ඒක අවශ්‍ය වුනේ නැහැ. දැන් ගුරුත්වාකර්ඃණ බලය තියෙන්නෙ නිවුටෝනීය යාන්ත්‍රිකයෙන් ගැලවෙන්න බැරි අයගෙ ඔළුවල විතරයි.
 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

නලින් ද සිල්වා
2016 අගෝස්තු 24