History

Friday, 26 August 2016

අලි කරුණාව

අලි කරුණාව

බෞද්ධ පෙරහැරවලට අලි ගෙන යෑමෙන් ඔවුන්ට සිදුවන හිරිහැරයක් ගැන කරුණාවක් මතුවෙලා. කොච්චර ද කියනව නම් යුනෙස්කො ලොක්කියකුටත් අලි ගැන කරුණාව ඇතිවෙලා. මේ තවත් සංස්කෘතික උච්චාධිපත්‍යයක් මිසක් කරුණාවක් නොවෙයි.  ඇංග්ල්කන් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය වෙලා තියෙනවා මුළු ලෝකෙම තමන්ගෙ සංස්කෘතිය පතුරුවන්න. අශ්වයන්ට නැති කරුණාවක් බල්ලන්ට නැති කරුණාවක් සත්වෝද්‍යානවල ඉන්න සතුන්ට නැති කරුණාවක් අලි ගැන ඇතිවෙන්නෙ මොකද කියලා ඇහුවට උත්තරයක් හම්බවෙන්නෙ නැහැ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි නැත්නම් කෙටියෙන් ඇංග්ලිකන් සංස්කෘතියට අවශ්‍යයි අනෙක් සංස්කෘතීන් නැති කරන්න. නැත්නම් තමන්ගෙ අණසක යටතෙ පවත්වාගෙන යන්න. අලි කරුණාව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම සඳහා ගන්නා තවත් පියවරක් පමණයි.

මේවට අපත් වැරදි කාරයො. අපත් අශ්ව රේස් දුවවනවා. බණ්ඩාරනායක මහත්තයා ඒවා නැති කළත් අද අවුරුදු කාලෙට නුවරඑළියෙ අශ්ව රෙස් පවත්වනවා. අප ඒවට තුරඟ තරග කියලා පදයක් හදාගෙන. අප බල්ලන් ඇති කරනවා. කුවේණි බල්ලන් ඇති කළාද කියලා මා දන්නේ නැහැ. ඒත් දැන් අප බල්ලන් ඇතිකරනවා විතරක් නොවෙයි බල්ලන් එක්ක ඉංගිරිසියෙන් කතාකරනවා. සමහරවිට බල්ලන්ට තේරෙන්නෙ ඉංගිරිසි විතරක් වෙන්න ඇති. බල්ලන්ටත් තේරෙන ඉංගිරිසි අපේ කොල්ලන්ට අමාරු මොකද කියන එක නම් ප්‍රශ්නයක් තමයි. ඒකටත් උත්තරයක් තියෙනවා. අප සත්වෝද්‍යාන පවත්වාගෙන යනවා.  අප පාසල් සිසුන් ඒවා බලන්න ගෙනියනවා. ඔවුන්ටත් බටහිර සත්ව සංස්කෘතිය පුරුදු කරනවා.

ඔබාමා තවමත් මුළු ලෝකෙට ම ජනාධිපති නොවෙයි. අපට මෛත්‍රිපාල නමට ඉන්නවා. ඔහු පස්සෙන් රනිල් ඉන්නවා. ඒක ඔබාමා හිටියට වඩා හුඟක් වෙනස් නැහැ. රනිලුත් ඇංග්ලිකන් සංස්කෘතියේ ම තමයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ අයකු කවදාවත් ගෞතමගෙ කේශ ගැන කතාකරන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ට ඒ කේශ ධාතූන් වහන්සේ නැත්නම් කේශ ධාතු. කේශ නම් නොවෙයි. රනිල්ටත් අලි කරුණාව පහළ වෙන්න බැරි නැහැ. මේ අප බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙන හැටි. අද සමහරු ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා ගෞතමිසම් හෙවත් ගෞතමවාදයක් ගැන කතාකරනවා. ඔවුන්ට බුදුසසුන පවත්වාගෙන යන ආකාරය හේතුවාදී නැහැ. කොහොමටත් ජීසස් ක්‍රයිස්ට් මුල් කරගෙන ක්‍රිස්ටියෑනීිටි තියෙනවා නම් සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ මුල්කරගෙන ගෞතමවාදයක් තියෙන්න බැරි ඇයි කියලා අහන්න පුළුවන්.

රටක නීති තියෙනවා. ඒත් ලෝකෙට ම තවම නීති නැහැ. ඇංග්ලිකන් ක්‍රිස්තියානීන්ට ඕන ලෝකෙට ම ඔවුන්ගෙ නීති පනවන්න. ඇංග්ලිකන් නීතිය හැදෙන්නෙ ඇංග්ලිකන් සංස්කෘතිය අනුව. ඔවුන්ගෙ නීතිය හා සංස්කෘතිය අතර සම්බන්ධයක් තියෙනවා. අපෙත් ඉස්සර එහෙම තමයි. අපේ සිරිත් අපේ සංස්කෘතිය සමග සම්බන්ධ වුනා. සිරිත් ලේනා ඒ සිරිත් බලා කියා ගත්තා. ඒත් අද අපේ නීතිය හා සංස්කෘතිය දෙකක්. නීතිය රෝම ලන්දේසි. සංස්කෘතිය එහෙම නොවෙයි. අපට තවම ඉංගිරිසි රෝම ලන්දේසි නීතියට අනුව රිය පදවන්න බැහැ. කාර්යාල පවත්වගන්න බැහැ. වෙලාවට දුම්රිය දුවන්න බැහැ. කොටින් ම ආණ්ඩුවවත් පවත්වගන්න බැහැ. ඒත් අපට පන්සලේ වැඩ කටයුතු පිළිවෙළට කරන්න පුළුවන්. කඨින පෙරහැර පවත්වන්න පුළුවන්. නුවර පෙරහැර හා අනෙක් පෙරහැරත් පවත්වන්න පුළුවන්. ඒවා වෙලාවට, නැකතට වෙනවා. අපට බටහිර විද්‍යාවෙ නිර්මාණ කරන්නත් බැහැ. අපට අවුරුදු නැකත්  නම් තේරෙනවා. අපට බිග් බැන් හෙවත් මහා පිපිරුම තේරෙන්නෙ නැහැ. ඒත් අපට සංවට්ට කප්ප විවට්ට කප්ප තේරෙනවා.

රටක තිබෙන නීතිවලට රටවැසියන් අවනත වෙන්න ඕන. රෝම ලන්දේසි නීතිය කවදා හරි වෙනස්කරන්න ඕන. එතෙක් අප ඒක පිළිපදිනවා. මේ නීතිය ඇතුළෙ විවිධ ප්‍රශ්න පැන නගිනවා. එක්සත් රාජ්‍යයන්හි වයඹ කොණ අන්තයේ  ඉස්සර හිටියෙ මකා ජනතාව. ඔවුන්ගෙ නෑදෑයන් හිටියා ශාන්තිකර සාගරයේ වැන්කුවර් කියන දූපතේ. ඒ දුපත අද අයිති වෙන්නෙ කැනඩාවට. නෑදෑයෙන් රටවල් දෙකක. කැනඩාව එක්සත් රාජ්‍යයන්ගෙන් වෙන් කරලා තියෙන්නෙ බොහෝ තැන්වල සරල රේඛා ඛණ්ඩවලින්. අප්‍රිකාවෙ රටවල් බොහෝ විට වෙන් කරලා තියෙන්නෙත් එහෙමයි.  අපේ රටේ පළාත් වෙන් කෙරුවෙ අශ්වයා පිට නැගලා සුදු ඒජන්තයට යන්න පුළුවන් වුනු දුර අනුව. බටහිරයන් තමන්ට වුවමනා විධියට ලෝකෙ බෙදලා අද ජාතික රාජ්‍ය ගැන කියවනවා.

ඒ කොහොම වෙතත් අර මකා ජනතාවගේ සංස්කෘතිය බැඳිලා තිබුනෙ තල්මස් දඩයම සමග. මේ දඩයමට බෞද්ධයන් විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒක මකාවරුන්ගෙ අවුරුදු දහස් ගණනක සංස්කෘතිය. මේ සංස්කෘතිය ගැන චාලට් කෝට් නම් ඇමරිකානු ස්වදේශික මහාචාර්යවරියක් පොතක් ලියලා තියෙනවා ස්පිරිට්ස් ඔෆ් අවර් වේලින්ග් ඇන්සෙස්ටර්ස් හෙවත් අපේ තල්මසුන් මැරූ මුතුන් මිත්තන්ගේ මළගිය ආත්ම යනුවෙන්. මට වැදගත් වන්නෙ ඇය කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙ මහාචාර්ය වීම නොවෙයි. අද ඉංගිරිසින් පදිංච වුනු ඒ වගේම එංගලන්තෙ හැරුණු විට ඇංග්ලිකන් සංස්කෘතියෙ ප්‍රධාන රටවල් හතර වන එක්සත් රාජ්‍යයෙ, කැනඩාවෙ, ඕස්ටේ‍ර්ලියාවෙ හා නවසීලන්තයෙ ස්වදේශිකයන් ඒ රටවල විශ්වවිද්‍යාලවල තම සංස්කෘතිය, ඉතිහාසය හදාරනවා, උගන්වනවා ඔවුන්ගෙ අදහස අනුව ඔවුන්ගෙ ඇසින් බලා. ඒ සම්බන්ධ පොත් රාශියක් පහුගිය අවුරුදු විස්සෙ පළවෙලා. ඒත් මේ සියල්ල කෙරෙන්නෙ ඇංග්ලිකන් සංස්කෘතිය යටතෙ. ලංකාවෙ මට ඒ නිදහස තිබුනෙ නැහැ. කොළඹ විශ්වවිි්‍යාලෙ ජාතික චින්තනය උගන්නන්නෙ මොකද කියලා ජී එල් පීරිස් මගෙන් තර්ජනාත්මක ව  ඇහුවා. කැලණිය විශ්වවිද්‍යාලෙ තව අවුරුදු දෙකක් විතර හිටිය නම් ඒකෙනුත් මා අස්කරනවා. සමහරවිට මා ඇංග්ලිකන් සංස්කෘතියට යටත්වුනූ නැති නිසා වෙන්න ඇති.

අර පොත මට ලැබුණෙ මකාවරුන්ගෙ පළාතෙ කෞතුකාගාරයකින්. කෞතුකාගාරත් අපේ සංස්කෘතියෙ නොවෙයි. අපේ ඉතිහාසය ජීවමාන සන්තතික ඉතිහාසයක්. සිංහලයන් ගැන දැනගන්නත් කාලෙක දී කෞතුකාගාරයකට යන්න වෙයි ද? තල්මසුන් මුහුදෙ ඉන්න ලොකුම සතුන්. ඔවුන් ක්‍ෂිරපායින්. අලි ගොඩබිම ඉන්න ලොකුම සතුන්. ඔවුන් ද ක්‍ෂිරපායින්. අලි (ඇත්) රංචුවක පැටියකු බිහිවුණා ම රංචුවේ ගැහැණු සතුන් ඔක්කොට ම කිරි එරෙනවළු. තල්මසුන්ටත් එහෙමයි කියලා දැනගන්න නැහැ. ඒ කොහොම වුනත් තල්මස් දඩයම හා අලි කරුණාව අතර සම්බන්ධයක් තියෙනවා. ඒක හෙට කතා කරමු. 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2016 අගෝස්තු 26