History

Sunday, 28 August 2016

ක්වොන්ටම් විවරණයක්

ක්වොන්ටම් විවරණයක්

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්ය කිව්ව ම බොහෝ දෙනකුට කේන්ති යනවා. ඒ ගැන එක එක්කෙනා පඬි කතා කියනවා. බටහිර විද්‍යාව අද ලෝකයේ ම ආධිපත්‍යය දරන්නේ ඒක ඇත්ත කියලා හිතන්න පුරුදු කරල තියෙන නිසාත් බටහිරයන්ගෙ දේශපාලන ආධිපත්‍ය නිසාත්. බටහිර විද්‍යාව කියන්නෙ තවත් දැනුමක් පමණයි. මිථ්‍යා කියල අද සමාජයෙ කියැවෙන්නෙ බොහෝ වෙලාවට අපේ දැනුමට. අපේ දැනුම පහතට දැමීමට බොහෝ දෙනාට අවශ්‍යයි. ඒ බටහිර අධ්‍යාපනයක් ලබපු අය. ඔවුන් බටහිරයන්ගෙ ඒජන්තයන්, වහලුන් හැටියට කටයුතු කරන්නෙ. සමහරවිට ඔවුන් ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්. තමන් වහලුන් බව නොදත් වහලූන් කොතරම් සංඛ්‍යාවක් ලෝකෙ ඉඳලා තියෙනවා ද? ඔවුන්ට නාථ දෙවියන් වහකදුරු වගේ.


බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ කතන්දර ගොතන එක. ඒවා වියුක්ත කතන්දර. වියුක්ත කියන්නෙ සිතෙන්වත් මවාගන්න බැරි කියන එක. ඒවා කොහොමටත් පංවෙන්ද්‍රියවලට ගෝචර වෙන්නෙ නැහැ. පංචෙන්ද්‍රියවලට ගෝචර වෙන්නත් සිත අවශ්‍යයි. සිත නැතිව කිසිවක් කරන්න බැහැ. ගුරුත්වාකර්ෂණ බලය සිතෙන්වත් මවාගන්න පුළුවන් අයකු ඉන්නවා නම් දැනුම් දෙන්න. ඒක පංචෙන්ද්‍රියවලට කොහොමටත් ගෝචර වෙන්නෙ නැහැ. පිටි මුට්ට කරගහගෙන යන කෙනකුට ගුරුත්වාකර්ෂණ බලයක් තේරෙන්නෙ නැහැ. එයාගෙ පිටට දිගට ම පොල්ලකින් තද කරගෙන හිටියොත් දැනෙන්නෙ මොකක් ද? ඒකත් ගුරුත්වාකර්ෂණ බලයක් ද? අපි මේ ගැන පස්සෙ තවදුරටත් කතාකරමු.

බටහිර විද්‍යාඥයන් කියන අය එක එක නිරීක්‍ෂණ පැහැදිලි කරන්න එක එක වියුක්ත කතන්දර ගොතනවා. මේ කතන්දර දහස් ගණනක් ගොතනවා. මේ ළඟදි එක්තරා අංශුවක් නිරීක්‍ෂණය කරාය කියලා අංශු භෞතික විද්‍යාඥයන් කිව්ව. ඒකෙ විස්තර දැනගන්න ඕනෙ නැහැ. ඒත් එකක් කියන්න ඕන කිසිවකු මේ අංශු නිරීඳණය කරන්නෙ නැහැ. පාපන්දුවක් දෙහි ඇටයක් වගේ ඒ අංශු නිරීක්‍ෂණය කරන්න බැහැ. අංශුවක් අංශු ත්වරකයක (පාටිකල් ඇක්සලරේටර්) නිරී’ක්‍ෂණය කරනවා කියන්නෙ විවරණයක් පමණයි. යම් යම් නිරීක්‍ෂණ විවරණය කෙරෙනවා අංශු හැටියට. මේ අංශුවත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ.

අර අංශුව නිරීක්‍ෂණය කළා කියලා ප්‍රසිද්ධ වුනාම, ඒ කියන්නෙ යම් යම් නිරීක්‍ෂණ අංශුව කියලා විවරණය කළාම ඒක පැහැදිලි කරන්න පත්‍රිකා පන්සියයකට වඩා විද්‍යා සඟරාවල පළවුනා. ඒ ෙසෙද්ධාන්තික නැත්නම් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් අතින්. ඔවුන් ගොතපු කතන්දර තමයි ඒ පත්‍රිකාවල තිබුණෙ. ඒත් සතියකට දෙකකට විතර ඉස්සෙල්ලා කියවුනා අර නිරීක්‍ෂණ නැත්නම් විවරණ වැරදි කියලා. එහෙම අංශුවක් නැත කියලා. දැන් අර ගොතපු කතන්දර පට්ටපල් බොරු වුනා.

කවුරු හරි කියන්න පුළුවන් ඒ නිරීක්‍ෂණ නැත්නම් විවරණ වැරදි වුනාට නිරීක්‍ෂණ හරි තැන්වල ඒ නිරීක්‍ෂණ පැහැදිලි කරලා දීමට ගොතන කතන්දර හරි එහෙමත් නැත්නම් ඇත්ත කියලා. ඒත් එහෙමත් නැහැ. ගුරුතාවාකර්ෂණ කතන්දරයෙන් පොල් වැටෙන එක පැහැදිලි කළාට ඉර වටේ ග්‍රහවස්තු ගමන්කරන එක පැහැදිලි කරන්න බැහැ. ගුරුත්වාකර්ෂණ කතාව හරි නම් ග්‍රහවස්තු අචල ඉලිප්ස දිගේ ඉර නාභියක තබාගෙන චලනය වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැ‍. එහෙම ගමන් නොකරන බව, ඉලිප්සය අචල නොවන බව නිවුටන්ගෙ කාලෙත් දැනගෙන හිටියා. ඒත් බටහිර විද්‍යාඥයො නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණ කතාව පිළිගත්ත. දැන් සමහරු කියනවා අයින්ස්ටයින් නිවුටන්ගෙ කතාව වර්ධනය කරලා ග්‍රහවස්තුවල චලිතය විස්තර කළා කියලා. ඒත් එහෙම වෙලා නැහැ. අයින්ස්ටයින් වෙන ම කතාවක් කිවුවා. ඔහුගෙ සංකල්ප නිවුටන්ගෙ සංකල්පවලින් සම්පූර්ණයෙන් ම වෙනස්. අයින්ටයින් නිවුටන්ගෙ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු ප්‍රතික්‍ෂෙප කළා. කොහොමටත් වියුක්ත ප්‍රවාදයකින් ඉන්ද්‍රිය ගෝචර සංයුක්ත නිගමන ලබාගන්නෙ කොහොමද කියලා කාටවත් පැහැදිලි කරලා දෙන්න බැහැ.

ක්වොන්ටම් යාන්ත්‍රිකයෙ තවත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසාමයි විවිධ විවරණ ඉදිරිපත් වෙන්නෙ. බොහෝ දෙනෙක් කෝපන්හේගන් විවරණය පිළිගන්නවා. ඒත් කෝපන්හේගන් විවරණය කීයලා අනන්‍ය විවරණයක් නැහැ. කෝපන්හේගන් විවරණය ගැනත් විවිධ විවරණ තිබෙනවා. බොර් හා හයිසන්බර්ග්වත් ඒ ගැන එකම මතයක් දැරුවේ නැහැ. ඒ බව මා නිව්සයන්ටිස්ට් සඟරාවේ පළකළ කෙටි සටහනෙහි සඳහන් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ පත්‍රිකාවේත් කියා තිබෙනවා. ඒක https://l.facebook.com/l.php… සබැඳියට ගිහිල්ල එහි ඉපිලෙන තැන තෝරා ගැනීමෙන් කියවන්න පුළුවන්. කෝපන්හේගන් විවරණය ගැන මගේත් විවරණයක් තියෙනවා. එයත් පස්සෙ කියන්නම්. ඒ විවරණය අර මා ගියවර සඳහන් කළ කෝනල් පත්‍රිකා දෙකක තියෙනවා. ඒවා 2010 පළකළ ඒවා. මා එය දැන් තවත් වර්ධනය කරලා. අර පත්‍රිකා දෙක ගැන කවුද කියලා තිබුණා ඒවා කෙටි සටහන් කියලා. ඔහු ඒ සාරාංශ පත්‍රිකාවලින් සම්පුර්ණ පත්‍රිකාව ලබාගන්න දන්නෙ නැති අයකු බව පැහැදිලියි. බොහෝ දෙනකු පඬිකම ප්‍රදඅර්ශනය කිරීමට එක් එක් අයගේ නම් ප්‍රකාශ කළත් ඔවුන් වි’ෂය සම්බන්ධ දන්නා දෙයක් නැහැ. කාගෙත් පහසුව සඳහා ඒ පූර්ණ පත්‍රිකාවල සබැඳි මෙසේ පළකරනවා.

නලින් ද සිල්වා
2016 අගෝස්තු 28