History

Wednesday, 31 August 2016

උසස් පෙළ ද බුර්කාව ද

උසස් පෙළ ද බුර්කාව ද


මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් උසස් පෙළ පරීක්‍ෂණයට බුර්කා හෙවත් හිසේ සිට පතුළ දක්වා වැසෙන ලෙස වූ ඇඳුමක් ඇඳ ගෙන ඇවිත්. ඒක ඇන්දම ඇස් විතරයි පේන්න තියෙන්නෙ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව ඇඳීම අනිවාර්යයි. ඇතැමුන්ට අනුව බුර්කාව ඇඳීම ෂර්යා නීතියේ කොටසක් බවට පත්කළ යුතුයි.  ඔවුන් කියන්නේ ස්ත්‍රීන්ගේ මුහුණ පෙන්වීම වෑරදිවලට තුඩු දිය හැකි බැවින් මුහුණ වසාගෙන ගමන් බිමන් යා යුතු බවයි. ඒත් ගෙදරදි බුර්කාව ඇඳීම අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව වෙනුවට හිජාබ් නම් හිස්වැස්මක් පළඳිනවා. එයින් මුහුණ වැසෙන්නේ නැහැ.


ලංකාවේ බුර්කා ඇඳීම පටන්ගෙන එතරම් කාලයක් ගත වී නැහැ. එය හුදෙක් අරාබි රටවලට ගොස් පැමිණෙන මුස්ලිම් කාන්තාවන් පුරුදු කරපු එකක් නොවෙයි. එය මෙරට මුස්ලිම් දේශපාලනයත් සමග බැඳිලා තියෙනවා. මුස්ලිම් සංස්කෘතික අනන්‍යතාව ආක්‍රමණශීලීව තහවුරු කිරීමක් එමගින් වෙනවා. පකිස්තානයේ බංග්ලිදේශයේ බුර්කාව ප්‍රදර්ශනය කරන්නේ නැහැ. බංග්ලාදේශය් කාන්තාවන් ද අරාබි රටවල සේවයට යනවා. ඔවුන් ක්‍රිකට් තරග බැලීමට යන්නේ බුර්කා තබා හිජාබ්වත් නැතිව. මෙරට මෑතක් වන තුරුම මුස්ලිම් කාන්තාවන් සාරිපොටකින් හිස වසාගෙන තම අනන්‍යතාව රැකගත්තා.

උසස් පෙළ පරීක්‍ෂණයේ දී සංස්කෘතික අනන්‍යතාවට වඩා වැදගත්වන්නේ අයදුම්කරුවන්ගේ අනන්‍යතාව. එය අත්සනින් පමණක් කියැවෙන්නේ නැහැ. අයදුම්කරුවන්ගේ අනන්‍යතාව විභාග ශාලාධිපතිට අවශ්‍ය වෙනවා. එයට ඉඩක් තිබිය යුතුයි. උසාවියක දී සමහර විට විත්තිකරුවන් හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. එවිට කිසිවකුට බුර්කාවක් තුළ ඉඳීමට විනිසුරුවරයකුගෙන් අවසර ලැබෙන්නේ නැහැ. අර ශිෂ්‍යාවන් පිරිස සංවිධානාත්මක ව පැමිණි බවක් පේනවා. එය විශාග ශාලාධිපතිට හා අවසානයේ දී විභාග කොමසාරිස්ට හා රටේ හඳුනාගැනීමේ නීතියට හා සම්ප්‍රදායට අභියෝගයක්. ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් මේ අභියෝගවලට යටත්වීම රටට අහිතකරයි.

ඒ ඒ ජනවර්ග තම සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවේ ප්‍රශ්නය වී තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම. මෑතක දීඇති වූ අලි කුලප්පුව එයට උදාහරණයක්. මුස්ලිම් රටවල අනෙක් ජනවර්ගවලට ඒ සංස්කෘතික නිදහස දෙන්නේ නැහැ. ලංකාවේ තරම් සංස්කෘතික නිදහසක් ලෝකයේ වෙනත් කිසිම රටක ඇතැයි මා සිතන්නේ නැහැ. බටහිර රටක පන්සලක් ආරම්භ කිරීමේ දී ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙනවා. බටහිර රටවලත් බුර්කාව ප්‍රශ්නයක් වෙලා. ජපානය මුස්ලිමුන්ට ඒ රටට ඇතුල් වීමේ දී නීති රාශියක් පනවා තිබෙනවා. මුස්ලිමුන්ට ජපානයේ පදිංචි වීමට බැහැ. මුස්ලිම් සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මෙන් ම ආක්‍රමණික සංස්කෘතියක්. ඒ සංස්කෘතීන් දෙකේ අරගලයක් පවතිනවා. එහි දී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරන්න සූදානම් වෙනවා. ඔවුන් මුස්ලිම් සංස්කෘතිය ථෙරවාද බෞද්ධ සංස්කෘතීන්ට විරුද්ධව යොදා ගන්නේ තම රටවල මුස්ලිම් සංස්කෘතියට ඉඩ නොදෙමින්.

ලංකාවේ හලාල් ප්‍රශ්නයක් ඇති වූවා. හලාල්වලින් ඇතැම් සමාගම් අධික ලාබ ලබනවා. හලාල් භාණ්ඩ  නිෂ්පාදනය ලාබ ලැබෙන ව්‍යාපාරයක්. ලංකාවේ විවාහ නීතිය මුස්ලිමුන්ට වෙනමයි. එමෙන් ම යාපනයේ තේසවලාමේ නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. එයත් දකුණු ඉන්දියාවේ මුස්ලිම් නීතියක්. සිංහලයන්ට සිංහල නීතියක් කියලා එකක් නැහැ. 1815 ගිවිසුමෙන් ඉංගිරිසින් සිංහල සිරිතට රට කරවීමට පොරොන්දු වුනත් ඒක කඩ කෙරුවා. සිංහලයන්ට ඇත්තේ රෝම ලන්දේසි නීතිය පමණයි. යම්කිසිවකු මුස්ලිමුන්ට ෂර්යා නීතිය වලංගු විය යුතුය කියා කීවොත් අප එයට ඉඩ දෙනවා ද? සිංහල බෞද්ධයන්ගේ සහනශීලී බවේ සීමාව කොතැනක ද?

මේ සංස්කෘතික අනන්‍යතාව ගැන ඇත්තේ ඉතා සරල විසඳුමක්. රටක නීතිය ප්‍රධානයි. ඕනැම රටක විශේෂිත සංස්කෘතියක් තියෙනවා. (අපේ රටේ නීතිය සංස්කෘතිය මත පදනම් නැහැ. බොහෝ රටවල ඇත්තේ විශේෂිත සංස්කෘතීන්ට එහා ගිය අධිපතිවාදී සංස්කෘතීන්)  ජනවර්ග තම අනන්‍යතාව රැකගත යුත්තේ රටේ නීතියෙන් හා විශේෂීිත සංස්කෘතියේ සම්ප්‍රදායෙන් ඉඩ ලැබෙන පරිදි මිස ඒ ඉක්මවා ගොස් නොවෙයි. නීතිය ක්‍රියාත්මක වීමේ දී යම් යම් ජනවර්ගවලට ගිවිසුම් මගින් වුවත් දී ඇති අවසරයක් නැති කළ හැකියි. එක්සත් රාජ්‍යයන්හි මකාවරුන්ට තල්මසුන් මැරීමේ අවසර නැතිවීම එයට උදාහරණයක්( http://www1.kalaya.org/2016/08/blog-post_27.html ) . ලංකාවේ අපට සිදු වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හැරෙන්නට අනෙක් සෑම සංස්කෘතියකට ම ඊනියා සංහිඳියාවක නාමයෙන් ඉඩ දීම. අපට වඩා වැදගත් වන්නේ ලෝකයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය හා එයින් නිකුත් කෙරෙන බොරු මානව අයිතිවාසිකම් ප්‍රඥප්ති. එසේ වන්නේ අපේ දීන වහල් මනස නිසා.

උසස් පෙළ පරීක්‍ෂණයට බුර්කා ඇඳීම රටේ නීතියට පටහැණියි. මුස්ලිම් ශිෂ්‍යාවන් රටට තර්ජනයක් නොවී තම සංස්කෘතික අනන්‍යතාව රැකගත්තාට සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් නැහැ. බටහිරයන් වගේ අප මුස්ලිමුන්ට අඩත්තේට්ටම් කරන්නේ නැහැ. මුස්ලිමුන් පෘතුගීසින්ගෙන් බේරා ගෙන වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කෙළේ සිංහල බෞද්ධ රජවරුන් බව මතක් කර ගැනීම වැදගත්. මුස්ලිම්් ශිෂ්‍යාවන් රටේ නීතියට ගරු කළ යුතුයි, අවනත විය යුතුයි. අනෙක් ශිෂ්‍යාවන්ට නැති වරප්‍රසාදයක් මුස්ලිම් ශිෂ්‍යාවන්ට තිබෙන්න බැහැ. සංස්කෘතික අනන්‍යතාව රැකීමයි උසස් පෙළ පරීක්‍ෂණයයි දෙක ම බැහැ. සංස්කෘතික අනන්‍යතාව රැකගන්න ඕන නම් උසස් පෙළ වැනි පරීක්‍ෂණවලට පෙනී නොසිටිය යුතුයි. රැවුලයි කැඳයි දෙක ම බැහැ. 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අගෝස්තු 31