History

Wednesday, 14 September 2016

ආධ්‍යාත්මික ශක්තිය

ආධ්‍යාත්මික ශක්තිය

කලකට පෙර මහින්ද රාජපක්‍ෂ පාසල්වල භාවනාව සඳහා පංති කාමරයක් හා කාල පරිච්ඡෙදයක් වෙන් කිරීමට උපදෙස් දුන්නා. ඒත් ඒක ක්‍රියාත්මක වුනේ නැහැ. අධ්‍යාපන ඇමති හෝ අමාත්‍යංශ නිලධාරීන් හෝ ඒ ගැන උනන්දුවක් දැක්වුවා යැයි කියන්න බැහැ. අවාසනාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද ලබා තිබෙන්නේ බටහිර අධ්‍යාපනයක්. ඔවුන්ගෙන් සමහරු අධ්‍යාපනය ගැනත් හදාරලා තියෙනවා. ඒ සම්බන්ධ උසස් උපාධිත් තියෙනවා. සමහරුන් බටහිර රටවලින් ම ඒ උපාධි ලබාගෙන තියෙනවා. බටහිර රටවල භාවනාව සඳහා උනන්දුවක් දැක්විය යුතු යැයි අධ්‍යාපනඥයන් කියන්නේ නැහැ.

මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ව සිටි කාලයේ භාවනාව සඳහා පීඨයේ ශාලාවක් වෙන් කළා. සතියේ එක්තරා දිනක පැය කිහිපයක් භාවනාව සඳහා වෙන් වුනා. එුය ආරම්භයක් පමණයි. එහෙත් ඒ ආරම්භයට පීඨයෙන් විශාල විරුද්ධත්වයක් මතුවුනා. සිසුන් පැදුරු උඩ වාඩිවීමට පවා බොහෝ දෙනා විරුද්ධ වුනා. දේශනාගාරයක පුටු මත වාඩි වී මෙඩිටේෂන් ගැන ඊනියා විද්‍යාත්මක දේශනයකට සවන්දීමට ඔවුන් විරුද්ධවන්නේ නැති බව මා දැන සිටියා. ඒත් එයින් වැඩක් නොවන බවත් දේශකයාගේ මනස පුම්බා ගැනීමට පමණක් ඉන් සිදුවන බවත් මා තවදුරටත් දැන සිටියා.

එකල ශිෂ්‍යයන් පීඨ භූමියේ වගාවන් කළා. එයටත් විරුද්ධ වුනා. විද්‍යා පීඨයක ගොවිතැන් කිරීම ගැන පාත්ති ඇතිකර භූමිය අවලස්සන කිරීම ගැන ඊනියා ප්‍රබුද්ධ කතා පීඨයේ කෙරුණා. එහෙත් ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මා සෑම දෙයක් ම කෙළේ විශ්වවිද්‍යාලයේ නීති රීතිවලට එකඟ ව. අප විද්‍යා පීඨය මගින් මහර ප්‍රදේශයේ කුඹුරක් අඳයට ගෙන වී ගොවිතැන ද කෙරුවා. එහි කෘෂිරසායන යොදා ගත්තේ නැහැ. දේශීය පොහොර පමණක් නොව කෙම් ක්‍රම ද යොදාගත්තා. හාමුදුරුවන් වඩම්මවා කුඹුරේ පිරිත් දේශනා කෙරුණා. අස්වැන්න හොඳට තිබුණා. කන්න කිහිපයක් ම අප ගොවිතැන් කෙරුවා.

බටහිර විද්‍යාව උගන්වන පීඨයක මෙවැනි දේ කිරීම පිළිබඳ ව පඬියන්ගෙන් එල්ලවන විරුද්ධතා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් එය නීතියට විරුද්ධ නැති නිසා ඔවුන්ට කිසිවක් කිරීමට බැරි වුනා. ජෙනිංග්ස් එවැනි කටයුතු විශ්වවිද්‍යාලයක සිදුවේ යැයි කියා හිතන්නෙ නැතිව ඇති. ඒ නිසා අවශ්‍ය නීති සකස් කරගන් බැරි වෙන්න ඇති. ඒ කොහොම වුනත් මා විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත්වීමෙන් පසු ඒ ක්‍රිකාරකම් නැති වුනා. පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් සිදුවෙන ක්‍රියා මගින් එතරම් දෙයක්  කරන්න බැහැ.

අපේ සමාජයේ එවැනි ක්‍රිකාරකම් කළ යුතු යැයි සමාජයෙන් ඉල්ලීමක් තිබිය හැකි ද? මෙය චක්‍රීය ප්‍රශ්නයක්.  අද දෙමවුපියන්ට අවශ්‍ය තම දරුවන් ගොවීන් වෙදමහතුන් කිරීම නොව කර්මාන්ත ශාලාවක කම්කරුවන් බටහිර වෛද්‍යවරුන් බවට පත්කිරීම. එය අනෙක් බොහෝ දේ වගේ ම බටහිර ඊනියා නූතනත්ව ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. ග්ලයිෆොසේට් වෙනුවෙන් කෑ ගසන මෙරට හා පිටරට සිටින ඊනියා විද්‍යාඥයන් කිසිම නව සංකල්පයක් ප්‍රවාදයක් ඉදිරිපත් කර නැතත් ග්ලයිෆොසේට් තහනම ට විරුද්ධයි. ඒ හුදෙක් කෘෂිරසායනික සමාගම් වෙනුවෙන් නොවූවත් බටහිර විද්‍යාව හා පොදුවේ දැනුම් පද්ධතිය වෙනුවෙන්.

අද ආධ්‍යාත්මික ශක්තියක් ලෙස භාවනාව ගැන උන්දුවක් බටහිර රටවල නැහැ. ඔවුන් මෙඩිටේෂන් ගැන නම් උනන්දුයි. ඒ නිවන් අවබෝධය සඳහාවත් ආධ්‍යාත්මික ශක්තිය සඳහාවත් නොවෙයි. තම රැකියා සාර්ථක ව කරගෙන යෑමට මානසික ආතතියෙන් නිදහස් වීමට. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීමෙන් භෞතික තත්වයන් ඉක්මවා යැමට හැකි බව බටහිර විද්‍යාඥයන් තවම දන්නේ නැහැ. බෞද්ධයන්ගේ භාවනාව ඒ සඳහා නොවූවත් භාවනා ක්‍රම මගින් අධිමානසික තත්ත්වයන් අත්පත් කරගත හැකියි.

එහෙත් බටහිරයන් පිරිතේ තිබෙන අනුහස් හෝ කෙම් ක්‍රම ගැන හෝ විශ්වාසයක් නැහැ. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ලෝකයක් ගැන ඔවුන් ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා බැවින්. ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂය පංචෙන්ද්‍රිය ගෝචර තත්වයෙන් එහාට යන්නේ නැහැ. ඒත් ඔවුන් වියුක්ත ප්‍රවාදවල පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදාගන්නවා. ගුරුත්වාකර්ෂණය මෙයට හොඳ ම උදාහරණය. මෙය දෙබිඩි ප්‍රතිපත්තියක්. සිංහල බෞද්ධයන්ට මේ දෙබිඩි ප්‍රතිපත්තිය තියෙන්න විධියක් නැහැ. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් ඔවුන්ගේ මනස් විකෘත වෙලා දැන් දෙබිඩ්ඩන් වෙලා. මේ විකෘත මනස්වලට ප්‍රතිකාරයක් හැටියට වුනත් භාවනාව පාසල්වල ම පුරුදු කරනවා නම් හොඳයි.  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 සැප්තැම්බර් 14