History

Friday, 16 September 2016

නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක්


 
නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක්

ආණ්ඩු විරෝධී අරගල හැම එකට ම සහාය දෙන්න ඕන කියලා සම්ප්‍රදායක් නැහැ. හැම ආණ්ඩු විරෝධී අරගලයක් ම යුක්තීියුක්ත කරන්නත් බැහැ. සමහර ආණ්ඩු විරෝධී අරගල ජනහිතකාමී වෙන්නෙ නැහැ. ඒවායින් රටේ යහපතකට වඩා වෙන්නෙ විපත්තියක්. මේ ආණ්ඩුව රටට ද්‍රෝහීයි. බටහිරයන් ආණ්ඩුව පත්කර ගත්තේ ම රටට ද්‍රෝහි වෙලා ඔවුන් කියන විධියට රට පාලනය කිරීමට. අපේ ස්වෛරීභාවය නැති කරන්න. සිංහල බෞද්ධයන්ට රටේ හිමි තැන අහිමි කිරීමට. සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට. ලාල් විජේනායක කියන මාක්ස්වාදියාව රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව ගැන ජනමතය සොයන කොමිටියකට පත්කර ගත්තෙ නිකම් නොවෙයි. අද ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, දෙමළ  ජාතිවාදීන් ආදී සියලු දෙනා එකතුවෙලා ඉන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට, නැති කිරීමට.


ලෝකයේ දරුණුම ගණයේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙන විටක ඒක තේරුම් නොගෙන තම හීනමානය නිසා ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන කියන පඬියන් හා තවත් එවැනි අය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් අද යැපෙනවා. ඔවුන් දන්නා එකම දෙය බටහිර සමාජයීය විද්‍යාඥයන් නිර්මාණය කළ සංකල්පයක එල්ලී සිංහල බෞද්ධ සංස්කෘතියට පහරවව දීමයි. අද රටේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ අපේ ස්වෛරිභාවය රැකගැනීමට ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය පැරදවීමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ ද එයයි. අරමුණු දෙක තුනක් මුල් කරගෙන ජාතික බලවේගයක් ගොඩ නැගිය යුත්තේ ද රටේ ස්වෛරිභාවය රැකගැනීමටයි. එ ජා ප මෙන් ම මෛත්‍රිපාල නඩය ද ස්වෛරීභාවය රැකගැනීමට නොව පාවාදීමට කටයුතු කරනවා.

මෛත්‍රිපාල සතියකට දෙතුන් වතාවක් ස්වෛරිභාවය ගැන කියවනවා. ඒවා නිකම් සුළඟේ පාවි යන ප්‍රකාශ. ඔහු එයින් බලාපොරෙත්තු වන්නේ සිංහලයන් තව දුරටත් මුලා කිරීමටයි. ඔහු අති පාර්ශුද්ධ අයකු ලෙස පෙනී සිටීමට උත්සාහ ගන්නවා. දේශපාලනඥයන්ගේ හොර මැරකම් ඔප්පු කිරීම තරමක් අපහසුයි. එහෙත් මේ ගොවි පුතා පළමුවෙන් පාර්ලිමේන්තුවට එනවිට ඔහුගේ හා පවුලේ ජීවන රටාව හා ඔවුන්ගේ දැන් ජීවන රටාව බෙහෙවින් වෙනස්. දේශපාලනඥයන්ගේ පමණක් නොවෙයි ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ ක්‍රමයක් නොමැතිව දේශපාලනඥයන්ගේ හොර මැරකම් ඔප්පු කිරීමට යැම නිරර්ථක වැඩක්.

රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරිය යුතුයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ 2020 දි. එහෙත් එයට කලින් බටහිරයන් ආණ්ඩුව ලවා රටේ ස්වෛරිභාවය නැතිකර දෙමළ ජාතිවාදයට රට පාවාදෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට එය ප්‍රශ්නයක්. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. ජාතික බලවේගයකට කරුණු විස්සක් තිහක් මත එකඟතා ඇති කරගන්න වුවමනා නැහැ. පනස්හයේ තිබුනේ අපේ කම රැකගැනීම පමණයි. එය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම යන්නෙන් ඇඟට දැනෙන්නක් බවට පත්වුනා. අදත් අවශ්‍ය වන්නේ අපේ කම රැකෙන ඉල්ලීම් දෙක තුනක් පමණයි. ඒකීය භාවය රැකගැනීම හා රණවිරුවන් රැකගෙන දංගෙඩියට නොයැවීම එහි ප්‍රධාන ඉල්ලීම් විය යුතුයි.

අද රට අවුල් වෙලා. ඒත් අපට ඒ හැම අවුලක්ම යොදාගන්න අවශ්‍ය නැහැ. සමහර අවුල්වලට මැදිහත්වීමෙන් අපේ කමක් රැකෙන්නේ නැුහැ. ජනතාව අමතක කර තම පටු ඉල්ලීම් ඉටු කරගැනීම සඳහා කරන සටන්වලින් අපේ කමක් රැකෙන්නේ නැහැ. රටේ ස්වෛරිභාවය රැකෙන්නේත් නැහැ.ආණ්ඩුවට එරෙහිව අවුල් තත්වයක් නිර්මාණය කිරීම පමණක් අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ නැහැ. අපට අවශ්‍ය රටට යහපතක් කරන ප්‍රශ්නවලට පමණක් මැදිහත් වෙන්න. අනෙක් ප්‍රශ්නවලට සහාය නොදීමෙන් ආණ්ඩුව රකිනවා කියා කීවොත් එයින් ඔප්පු වන්නේ එසේ කියන්නන්ගේ බංකොළොත්කම පමණයි.

රජයේ බටහිර වෛද්‍යවරුන්ගේ මාරුවීම්වල දී ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමට ආණ්ඩුව මැදිහත්වන්න  ඕනෙ  අනෙක් රජයේ සේවකයන්ගේ මාරුවීම්වල දී ක්‍රියාකරන ආකාරයට මිස වෙනත් ක්‍රමයකට නොවෙයි. මාරුවීම්වල දී දරුවන්ට පාසල්වල යම් ප්‍රතිශතයක් වෙන්කර ඇත්නම් වෛද්‍යවරුන්ට ද ඒ ප්‍රතිශතය තුළම කටයුතු කිරීමට සිදුවෙනවා. බටහිර වෛද්‍යවරුන්ට කියා විශේෂයක් කරන්න බැහැ. රණවිරුවන්ට හැර වෙනත් කිසිම වෘත්තියකට විශේෂයක් කරන්න බැහැ. මේ ප්‍රශ්නය ආණ්ඩුට අභියෝගයක් කියා ඒකාබද්ධ විපක්‍ෂය එයට මැදිහත් විය යුතු නැහැ.

අද අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ උගත් යැයි කියන අය අය නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල තම දරුවන්ට හිමිවිය යුතු ය කියා හිතනවා. මාරුවීම් ලබා යන විනිසුරුවන්ට, වෛද්‍යවරුන්ට ආදීන්ට එක විධියකටත් සනීපාරක්‍ෂක සේවකයන්ට තව විධියකටත් සැලකීම යහපත් දෙයක් නොවෙයි. නිිදහස් අධ්‍යාපනයේ ඉහළ ඵල නෙළාගත් අය තම දරුවන්ට අනෙක් අයට වඩා නිදහස් අධ්‍යාපනයේ ලාභ ලැබිය යුතු යැයි සිතීමෙන් ම නිදහසේ දෙන අධ්‍යාපනයේ වරදක් කියැවෙනවා. මා ද මෙයට වැරදිකරුවෙක්. කලකට පෙර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුල්කිරීමට මා ද උත්සාහ ගත්තා. අප ඒ සඳහා කොටසක් (කෝටාවක්) වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ නම් නැහැ. එහෙත් අධ්‍යාපන ඇමතිවරුන් මුණ ගැසී හැකි සහන ලබාදීමට උත්සාහ කළා. මගේ දරුවන් වෙනුවෙන් නම් මා කිසි දිනෙක එසේ කළේ නැහැ. ජනප්‍රිය පාසලක් නොලැබේ නම් ඉහළ වැටුප් සහිත රැකියා කරන අයට තම දරුවන් පෞද්ගලික පාසල්වලට යවන්න පුළුවන්. මට රැකියාවක් නැතිව සිටිය දීත් මගේ දියණිය කිසියම් ආකාරයකින් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ නොකර පෞද්ගලික පාසලකට යැවුවා. ඒ බිරියගේ වැටුපෙන්. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය මාරුවීම්වලට පමණක් සීමාවෙනවාද නැත්නම් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමටත් එක්කද යන්න පැහැදිලි නැහැ. එහෙත් නිදහස් අධ්‍යාපනයේ ඉහළ ඵල නෙළාගත් අයගේ දරුවන්ට අනෙක් දරුවන්ට පාඩුවක් කර නිදහස් අධ්‍යාපනයේ ඉහළ ලාභ  ලබාදිය යුතු ද යන්න ප්‍රශ්නයක්. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර්් 16