History

Saturday, 24 September 2016

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

චින්තන පර්ෂදයේ අයකුගෙන් මා විමසුවා මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු නොදෙන්නේ ඇයි ද කියා. ඔහු කියා සිටියේ ප්‍රතිචාර ඔස්සේ ගොඩනැගෙන සාකච්ඡා මාතෘකාවෙන් පිට යන බවත් අවසානයේ දී කුණුහරුපවලින් කෙළවර වන බවත්. මා එතනින් එහාට කතාකරන්න ගියේ නැහැ. අපි දැන් මාතෘකාවට එමු.

මෛත්‍රිපාල ඔබාමාත් සමග ගත් ඡායාරූපය, ඩලස් මෙන් නොව ඉංගිරිසි දන්නා මංගලගේ යුනියන් එක, එහෙමත් නැත්නම් බෑන් කි මූන් ථෙරවාදී රටවල් දෙකක් වන මියන්මාරයේ හා ලංකාවේ යුනියන් ගැන කී කතාව, මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන මා අලුතින් දැනගත් කරුණු, ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීමට කටයුතු කිරීම, ආදී ප්‍රශ්න රාශියක් තිබිය දී මේ මාතෘකාවට ප්‍රමුඛත්වය දුන්නේ දෙරණ විශිෂ්ට ලාංකිකයන්ට දී ඇති ප්‍රදාන ගැන සිත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ගුණදාස අමරසේකර ජාතික චින්තනය අල්ලා දමන ලෙස මට කියද්දී, ජී එල් පීරිස් හා අද ඒකාබද්ධ විපක්‍ෂයේ වැදගතුන් බවට පත් වී සිටින එකල මහාචාර්යවරුන් වූ අයට අනුව මා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වද්දී, දෙරණ බලධාරීන් කිහිප දෙනකු,  කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් ශිෂ්‍යයන්. ඔවුන් මගෙන් ඉගෙනගත් බවක් ඉන් කියැවෙන්නේ නැහැ. මා මේ කරුණු කියන්නේ දෙරණ ගැන අහිතකින් නොවෙයි.

දෙරණ විශිෂ්ටයන් ගැන කල්පනා කරද්දී මට ඇති වූ හැඟීම නම් ගැමුණු රජතුමන් හා ධර්මපාලතුමා  කාලෝ ෆොන්සේකා ප්‍රධාන ජූරිය අනුව විශිෂ්ටයන් ද කියන එක. කාලෝ අද ලංකාවේ සිටින ඉහළම බුද්ධිමතා වශයෙන් සැලකෙනවා. ඔහු දෙරණ ජූරියේ ප්‍රධානියා, අංක එක, ලෙස තෝරාගන්නට ඇත්තේත් ඒ නිසයි. ඔහු සිංහල බෞද්ධ හා හින්දු ඊනියා මිථ්‍යාවන්ට විරුද්ධව නූතනත්වය වෙනුවෙන්, එහෙත් ඔහු නිතර කතාකරන ඊනියා විද්‍යාත්මක ක්‍රමයට එරෙහිව,  තම මිතුරකු ලවා ගිනි පෑගවූ බුද්ධිමතා. ඔහු අතින් බටහිර විද්‍යාවට සංකල්පයක් ප්‍රවාදයක් එකතු කෙරී නැහැ. බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ඔහුට චින්තන පර්ෂදයෙන් කිහිප වතාවක් ම කෙරුණු ආරාධනය ඔහු තමාට සුපුරුදු මුදු ස්වරයෙන ප්‍රතික්‍ෂෙප කෙරුවා.

මේ මාතෘකාව ගැන ලිවීමට තවත් හේතුවක් තියෙනවා. දින කිහිපයකට පෙර මගේ භාර්යාවගේ පුංචි අම්මා කෙනකුගේ අවමංගල්‍යයට සහභාගි වීමට මා කොත්මලේට ගියා. එහි දී ඇති වු කතාබහේ දී මතු වූ කරුණක් තමයි සිංහලයන් කොත්මලේට නොසලකා ඇති ආකාරය. වැඩම කර සිටි භික්‍ෂූන් වහන්සේ නමකට අනුව ගැමුණු කුමරු දහහතර වසක් කොත්මලේ ගතකර තිබෙනවා. ගැමුණු කුමරුට භාර්යාවක් ලැබුණේ කොත්මලේ ප්‍රදේශයෙන්. දරුවකු ලැබී ඇත්තේත් කොත්මලේ දී. එහෙත් අද සිංහලයන්ට ඒ සියල්ල අමතකයි. සුද්දන් මුඩුබිම් පනතින් කොත්මලේ ද ඇතුලුව උඩරට ප්‍රදේශවල ඉඩම් සිංහලයන්ට අහිමි කළා. ඒ ඉඩම් විශේෂයෙන් ම ස්කොට්ලන්තයෙන් පැමිණි සුද්දන්ට ලබාදුන්නා. එහි පළමුව කෝපි හා දෙවනුව තේ වැවුවා. සිංහලයන් කුලී වැඩට අකමැති වූ නිසාත් සුද්දන් හා සිංහලයන් අතර තාප්පයක් බැඳීම සඳහාත්  තේ වගාවට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙනාවා. දෙමළ කම්කරුවන්ට ඉඩම් ලැබෙන නමුත් සිංහලයන්ගේ ඉඩම් සිංහලයන්ට නැහැ.

ගැමුණු කුමරුට එදත් සිංහලයන් සලකා නැහැ. එතුමාගේ බිසවට වෙච්ච දෙයක් ගැන ඉතිහාසයේ කියැවෙන්නේ නැහැ. සාලිය කුමාරයාට රජකම ලැබුණෙත් නැහැ. මට හිතෙන්නේ ගැමුණු රජතුමාගේ අවසාන කාලයේ දී එතුමා ඉතා අසරණභාවයකට පත් වූ බවයි. ගැමුණු කුමරු කොත්මලේ සිටිද්දී ඇතැම් භික්‍ෂූන් වහන්සේ එකතු වී කාවන්තිස්ස රජතුමාගේ අභාවයෙන් පසු සද්ධාතිස්ස කුමරුට රජකම පැවරුවා. දුටුගැමුණු හා සද්ධාතිස්ස නම් දැම්මේ කුමකට ද කවුරුුන් ද කියන එක ටිකක් හිතලා බලන්න. මා මේ ගැන කලින් ලියා තිබෙනවා. ඒ ලිපි දැන් සොයා ගැනීම අපහසුයි. සාලිය කුමරුට නොලැබුණාට සද්ධාතිස්ස රජුගෙන් පසු ඔහුගේ පුතුන්ට රජකම ලැබුණා.

මට හිතෙන්නේ ගැමුණු රජුගේ අභාවයෙන් පසු සිංහලයන් එතුමාට නිසි ගෞරවය ලබා නොදුන් බවයි. ඉන් අවුරුදු හයසියකට පමණ පසු දීපවංසය ලියන කාලයේත් එතුමාට ගෞරවයක් ලැබී නැහැ. එකල දෙරණ තිබුණේ නැහැ. කාලෝ හිටියේත් නැහැ. එහෙම වුනා නම් ගෞරවය කාට ලැබේවි ද කියලා හිතාගන්න බැහැ. වලගම්බාටත් ලැබෙන එකක් නම් නැහැ. කොහොමටත් ගැමුණු රජතුමාට ගෞරවය ලැබුණෙ දිපවංසය ලියලා අවුරුදු සියයකට විතර පස්සෙ මහාවංසය ලියැවුනාට පසු. මහාවංසය ලියන්න ඇත්තේ ම ගැමුණු රජතුමාට නිසි ගෞරවය ලබාදෙන්න. එහි අඩුපාඩුකම් රාශියක් තියෙනවා. යක්‍ෂ ජනතාවට නිසි තැන ලැබී නැහැ. ගැමුණු රජතුමාගේ භාර්යාව ගැන නොකියැවෙන්නෙත් සාලිය කුමරුට රජකම නොලැබෙන්නෙත් ඔය යක්‍ෂ කතන්දරය නිසා. ඒත් මහානාම හාමුදුරුවන්ගේ කාලෙ වෙනකොට සොළී ආක්‍රමණයකින් මෙරට බේරාගැනීමේ වුවමනාව තදින් තිබුණා. ධාතුසේන කුමාරයාට පූර්වාදර්ශයක් අවශ්‍ය වුනා. ගැමුණු රජතුමාට නිසි තැන ලැබුණා. එළාර සොලී වුනා. මොන අඩුපාඩුකම් තිබුණත් මහානාම හිමියන්ට අප ගරුකරන්න ඕන.

ධර්මපාලතුමාටත් එතුමා ජීවත් ව සිටි කාලයේ අවසාන භාගයේ දී නිසි ගෞරවය ලැබුණේ නැහැ. එතුමාට ඕල්කට් බෞද්ධයන් හා සුද්දන් දිගට හරහට පහර දුන්නා. අදත් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් එතුමාට පහර ගහනවා. ගුණදාස අමරසේකර මහතා ධර්මපාලතුමා ගැන කතාකළේ අප රට ඉන්දිය ආක්‍රමණයකට මුහුණ දීල තිබුණු වෙලාවක. අමරසේකර මහතා සංකල්පීය වශයෙන් නිරවුල් නැති වුනත්, ධර්මපාලතුමාට නිසි ගෞරවය ලබාදීමෙන් කෙළේ විශාල මෙහෙයක්. මා ඒ මහතා මහාවංසයේ ධර්මපාල පරිච්ඡෙදය ලියූ ප්‍රාඥයා ලෙස හඳුන්වන්නේ එබැවිනුයි. ගැමුණු රජතුමා පරමාදර්ශී චරිතයක් ලෙස සලකමින් ධාතුසේන රජු බිහිවූවා. ධර්මපාලතුමා පරමාදර්ශී චරිතයක් ලෙස සලකමින් බිහිවන විශිෂ්ටයා කවුද? විශිෂ්ටයකු ගැන අපට සිතන්නට හැකි ද? දෙරණ විශිෂ්ටයන් දිහා බලන විට නම් හිතන්නෙ එහෙම කෙනකු ගැන හිතන්න බැරි බවයි. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 සැප්තැම්බර් 24