History

Wednesday, 7 September 2016

සංහිඳියාවේ දිග පළල

සංහිඳියාවේ දිග පළල

මේ ආණ්ඩුව දිගින් දිගට ම කියන්නෙ පහුගිය රාජපක්‍ෂ රෙජිමයට ඇතිකරන්න බැරිවුන සංහිඳියාව ඒ අය ඇතිකරනවා කියලා. මේ රටට එන ඊනියා ජාත්‍යන්තර නියෝජිතයනුත් සංහිඳියාවේ අගය ගැන කතාකරනවා. සංහිඳියාව ඇතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපට කියලා දෙනවා. ඒ අතර බලය තව තවත් විමධ්‍යගත කළ යුතුව කියලාත් කියනවා. ඒත් මේ කවුරුවත් සංහිඳියාව කියන්නෙ මේකයි කියලා කියන්නෙ නැහැ.

මේ ආණ්ඩුව මෙච්චර කියන්නෙ, බටහිරයන් අපට කියන්නෙ ගිය ආණ්ඩුවේ සංහිඳියාවක් තිබුණෙ නැහැු කියන එක විතරක් නොවෙයි. පහුගිය ආණ්ඩුව සංහිඳියාව ඇතිකරන්න මුකුත් කෙළේ නැහැ කියලත් කියනවා. එහෙනම් අපට ලෙහෙසියි සංහිඳියාව කියන්නෙ මොකක් ද කියලා තේරුම් ගන්න. පහුගිය ආණ්ඩුවෙන් නොකරපු මේ ආණ්ඩුවෙන් කරලා තියන, වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරන කොට ඒ සංහිඳියාව පැහැදිලි වෙනවා.

සංහිඳියාව කිව්වම ඒකෙන් කියැවෙන්නෙ සිංහල ජාතිය, දෙමළ ජනවර්ගය, මුස්ලිම් ජනවර්ගය අතර තිබෙන යම් යම් සම්බන්ධකම් ද?  මේ ආණ්ඩුව ආවට පස්සෙ කියන තව දෙයක් තමයි දැන් ජාත්‍යන්තරය අපට හොඳින් සලකනවා කියන එක. ඒත් මේ අපට කියන එක නම් පැහැදිලි නැහැ. එයින් කියන්නෙ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ට ද කියන එකවත් සැලකිල්ල කියන්නෙ මොකක් ද කියන එකවත් පැහැදිලි නැහැ. සලකන ක්‍රම කිහිපයක් තියෙනවා. පහුගිය දා මලයාසියාවෙදි එහි මෙරට තානාපතිවරයාට ගුවන් තොටුපොළේ දී හොඳට සලකල තියෙනවා. තානාපති කියන්නෙ ආණ්ඩුවෙ නොවෙයි රටේ රාජ්‍යයේ  නියෝජිතයා. මලයාසියාවෙදි සලකල තියෙන්නෙ රටට හා රාජ්‍යයට. ආණ්ඩුව අපට ජාත්‍යන්තරයෙන් සැලකිලි ලැබෙනවා කියන්නෙ මේ වගේ සැලකිලිවලට ද?

මේ සැලකිල්ල ලබල දිලා තියෙන්නෙ සිංහල බෞද්ධයකුට නොවෙයි. මලයාසියාව මුස්ෂලිම් රටක්. ලංකාව සාමාන්‍යයෙන් මුස්ලිම් රටවල්වලට තානාපතින් ලෙස යවන්නෙ මුස්ලිම් බැතිමතුන්. ඒ විධියට කිසිම රටක් කටයුතු කරනවා කියලා මා හිතන්නෙ නැහැ. ඉන්දියාවෙ බෞද්ධයන් කොපමණ හිිටියත් ලංකාවට තානාපති කෙනකු එවන විට බෞද්ධයකු ම එවන්න හිතන්නෙ නැහැ. ඒ කොහොම වෙතත් මලයාසියාවෙදි රට වෙනුවෙන් සැලකිලි ලෑබුවෙ මුස්ලිම් ජනවාර්ගිකයෙක්. මලයාසියාව අපේ තානාපතිගෙ ආරක්‍ෂාව ගැන හොයලා බලලා නැති වීිධියක් තමයි පේන්න තියෙන්න. ඒ සැලකිලි ලබාදුන්න අයට ගුවන්තොටුපොළේ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ආරක්‍ෂාව ලැබුණ ද?

සැලිකිලි ලබා දුන්නෙ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ තරුණයන් බවට මතයක් තියෙනවා. ඒ කොහොම වෙතත් ඉන්දියාවෙ දෙමළ ජනයාට ලොකු වුවමනාවක් තියෙනවා ලංකාවෙ ඊළමක් ඇති කරන්න. ඒකත් ජාත්‍යන්තර සැලකිල්ලක් තමයි. ලංකාවෙන් ඉන්දියාවට වැඩම කරපු භික්‍ෂූන් වහන්සේ නමකට පහර දෙන සිද්ධියක් ගැන පසුගිය දා වාර්තා වුනා. සිංහල බෞද්ධ වන්දනාකරුවන්ට තමිල්නාඩුවෙ දී හිරිහැර සිදුවුනා.  ඒ හිරිහැර නොවෙන්නත් පුළුවන්. අසාද් සාලි ගෙන් අහලා බලන්න. අද වෙන කවදාටත් වඩා ඉන්දීය දෙමළ ජනයා සිංහල බෞද්ධයන්ට සලකනවා. ආණ්ඩුවෙථ සංහිඳියාව පලදරා නැද්ද? මලයාසියාව අපේ තානාපතිට සලකල තියෙන එක ගැන මුස්ලිම් බැතිමතකු යැයි කියන අසාද් සාලිට ප්‍රශ්නයක් නැහැ. රනිල්ටත් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඔවුන් දැන් කතාකරන්නෙ නෝනිස්ට ගහපු එක ගැන. ඒක සචීන් වාස්ගෙන් අහගන්න පුළුවන්. අනික් එක එතෙනදි සිද්ධ වුනෙ පෞද්ගලික ආරවුලක්. මලයාසියාවෙදිත් සිද්ධ වුනෙ පෞද්ගලික කටයුත්තක් ද? ඒක පිටුපස බටහිරයන් ඉන්නවා ද? රනිලුයි අසාද් සාලියි නෝනිස් මතක් කරලා ප්‍රශ්නෙ වෙන අතකට හරවන්නෙ ඇයි?

ආණ්ඩුවේ සංහිඳියාවෙන් පස්සෙ උතුරු පළාතෙ බුදුපිළිම වහන්සේ නමකට වැඩ ඉන්න දෙන්නෙ නැහැ. යාපන විශ්වවිද්‍යාලයෙ වෙස් නැටුම්වලට ඉඩ නැහැ. නැගෙනහිර පළාතෙ මහා ඇමති හමුදා නිලධාරීන්ට ඇමරිකන් රාජ්‍යවල තානාපති අතුල් කේෂප් ඉස්සරහ තර්ජනය කරනවා. ලංකාවෙ ඉන්න තානාපති කෙනකුට කොහේ දි හරි සිංහල බෞද්ධයන් පහර දුන්නොත් සිංහලයන්ට ඊනියා ජාත්‍යන්තර ජනමාධ්‍යවල මොන තරම් සැලකිල්ලක් ලැබේ වි ද?

ඉතා පැහැදිලිව ආණ්ඩුවෙ ඊනියා සංහිඳියාවෙන් පස්සෙ සිංහලයන්ට රටට ජාත්‍යන්තරයෙ ලැබෙන සැලකිල්ල හොඳින් ම පේන්න පටන් අරන්. තව කල් යන විට සිංහලයකුට වවුනියාවෙන් එහාට යන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තමිල්නාඩුවට යන සිංහලයන් පරෙස්සමෙන් යන්න වෙයි. ආණ්ඩුව රට ඇතුලෙවත් පිටවත් සිංහලයන් රකින්නවත් රටේ ගෞරවය රකින්නවත් වැඩ කරන්නෙ නැහැ. ආණ්ඩුවට ඒක කරන්නත් බැහැ. නිවට කරණැවෑමියා දුටු විට එළුවා හැසිරෙන ආකාරයට අද ඊනියා ජාත්‍යන්තරය රටටයි රාජ්‍යයටයි සලකනවා. විග්නේස්වරන් අද බටහිරයන්ගෙ සුරතලා බවට පත්වෙල්. ඔහුට ශක්තිය ලැබෙන්නෙ බටහිරින් හා ඔවුන්ගෙ අනුග්‍රහය ලබන විසිරුණු දෙමළ ජනයාගෙන්. විග්නේස්වරන්ගෙ ඥාති සීයලා වුනු රාමනාදන්ට හා අරුණාශලම්ට ඉංගිරිසින් සැලකු ආකාරයට අද විග්නේස්වරන්ටත් සැලකිල්ල ලැබෙනවා. ඒ කාලෙ වගේ ම සිංහල ප්‍රභූන් කියන පිරිස දෙමළ ප්‍රභූන්ට යටවෙලා. මට හිතෙන්නෙ සංහිඳියාව කියන්නෙ සිංහල ප්‍රභූන් දෙමළ ප්‍රභූන්ට යටවීමට කියන  නමක් කියලා. ප්‍රශ්නය එය රටටත් සිංහල සාමාන්‍ය ජනයාටත් බලපෑමයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 07