History

Tuesday, 11 October 2016

මෙරට මුස්ලිම් අනන්‍යතාව


මෙරට මුස්ලිම් අනන්‍යතාව


පසුගිය දා මා හමුවීමට එක්තරා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් සඳහා ලියා පදිංචි වී ඇති ශිෂ්‍යාවක් පැමිණියා. ජනමාධ්‍යවේදිනියක් ද වන ඇයට අවශ්‍ය වූයේ ලංකාවේ සිංහල මුස්ලිම් ගැටුම් පිළිබඳ ව දැන ගැනීමටයි. මා ඇයට මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන කියන්න පටන්ගත්තා. ඇය තරමක් නොඉවසිලිමත් වී කියා සිටියේ දැන් මුස්ලිම් යනුවෙන් ජනවර්ගයක් සිටින බවත් අප එතැනින් පටන්ගත යුතු ය කියාත්. මා එවිට කියා සිටියේ ප්‍රශ්න මැදින් අල්ලාගන්නේ නැතිව ඒවාහි මුලට යා යුතු බවත් මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය දැනගැනීමට ඇයට කැමැත්තක් නැත්නම් ආපසු යා හැකි බවත්. ආපු මෝඩ කමට මෙන් ඇය මා කී දේට සවන් දුන්නා. මෙරට උගතුන් යැයි කියන්නන්ගේ ස්වභාවය එපරිදියි. ඇය තව ටික කලකින් පශ්චාත් උපාධිධාරී ජනමාධ්‍යවේදිනියක් වේවි. අති විශාල බහුතරය ඇය කියන දේට සවන් දේවි. බොහෝ ජනමාධ්‍යවේදීන්ට අප කියන දේ රුස්සන්නේ නැහැ.

අප පසුගිය ලිපි දෙකකින් කියා සිටියේ මෙරට මුස්ලිම්වරුන්ට දහහතරවැනි සියවසින් ඈතට යන ඉතිහාසයක් නැති බවත් ඔවුන් පැමිණ ඇත්තේ වත්මන් ඉන්දියාවේ දෙමළ කතාරන ප්‍රදේශයකින් බවත්. ඔවුන්ගේ දෙමළ භාෂාවේ ඇති මලයාලම් වචන අනුව ඔවුන් වත්මන් තමිල්නාඩුවේ කේරළ සීමාවේ ඇති ප්‍රදේශයකින් පැමිණි බව සිතාගන්න පුළුවන්. ඒ නිගමනයට අප පැමිණෙන්නේ අනපෝහනයෙන්. ඒ උද්ගමනයවත් (අභ්‍යුහනයවත්), නිගමනයවත් (අපෝහනයවත්) නොවෙයි. අනපෝහනය කියා මා කියන්නේ ඉංගිරිසියෙන් ඇබ්ඩක්’ෂන් කියන්නට. පාරිභාෂික ශබිදමාලාවේ එයට දී ඇත්තේ අපහරණය යන්නයි. බටහිර විද්‍යාවේ ඇත්තේ අනපහෝනය බව මා කලින් කියා ඇති. එහි අනපෝහනය කෙරෙන්නේ වියුක්ත ප්‍රකාශන. අප අනපෝහනය කරන්නේ සංයුක්ත ප්‍රකාශන. වියුක්ත අනපෝහන පට්ටපල් බොරු.

ලංකාවට පැමිණි මුස්ලිම්වරුන් තමන්ගේ මුතුන් මිත්තන් අටවැනි සියවසේ දී පමණ ඉන්දියාවට පැමිණි ඉතිහාසය තමන්ට ආරෝපනය කරගත්තා. ඉන්දියාවේ දී ඔවුන් මලයාලම් හෝ දෙමළ මුස්ලිම් වුවත් ලංකාවේ දී මුස්ලිම් නමින් පෙනී හිටිනවා. මුස්ලිම් නමින් ජනවාර්ගික අනන්‍යතාවක් ද ලබාගත්තත් එය වැරදි සංකල්පයක්. අපි පසුව මේ ගැන තවදුරටත් කතා කරමු.  ඉන්දියාව නමින් අද හැඳින්වෙන ප්‍රදේශවලට මුස්ලිම්වරුන් පැමිණියේ එහි ජෛනයන් හා බෞද්ධයන් හින්දු පීඩනයට ලක්ව සිටි කාලයක. ඇතැම් ජෛනයන් මේ පීඩනය නිසා ඉස්ලාම් ආගම වැළඳ ගෙන තිබෙනවා. එයට හේතුවක් වන්නට ඇත්තේ ජෛනයන් මෙන් ම මුස්ලිමුන් ද වෙළෙඳුන් වීම විය හැකියි. බෞද්ධයන්ට වූ දෙයක් ගැන සඳහන් වන්නේ නැහැ. ඔවුන් ආධිපත්‍යයට යට වී හින්දු ආගම වැළඳ ගන්න ඇති.

කේරළයේ සිටි මුස්ලිමුන් මරික්කාර්වරුන් යනුවෙන් ද හඳුන්වා තිබෙනවා. ඒ ඔවුන් අරාබියේ සිටි පැමිණි ලී ඔරු සිහිගන්වමින්. කේරළයේ සිටි මුස්ලිමුන් මලබාර් වැසියන් ද වුනා. ඉංගිරිසින් විසිවැනි සියවස දක්වා ම මෙරට දෙමළ කතාකරන ජනයා ද හඳුන්වා ඇත්තේ මලබාර්වරුන් ලෙස. කේරළයට හා පාණ්ඩ්‍ය දේශයට පැමිණි මුස්ලිමුන් චෝල දේශයටත් වෙළෙඳුන් ලෙස සංක්‍රමණය වී තිබෙනවා. ඔවුන් එහි කයාල්පට්නම් ප්‍රදේශය ආශ්‍රිත ව පදිංචි වී තිබෙනවා. එහි සිට මුස්ලිමුන් මියන්මාරය, මලක්කා හා ඉන්දුනීසියාව සමග වෙළෙඳ සම්බන්ධකම් පවත්වා තිබෙනවා.

මුස්ලිමුන් දහහතරවැනි සියවසේ මලබාර් ප්‍රදේශයෙන් ලංකාවට පැමිණ ඇත්තේත් ලී ඔරුවලින්. කලින් කියා ඇති පරිදි ඔවුන් ලංකවේ දී මරක්කල වී ඇත්තේ එලෙසයි. මරක්කලේ යන්න මා රැක්ක ලේ ආදී වශයෙන් ඇති නිරුක්ති කොකිස් අච්චුවේ නීරුක්ති.  ලංකාවට පැමිණි මුස්ලිමුන් මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතාකළා. ඔවුන්ට භාෂාමය අනන්‍යතාවක් තිබුණේ නැහැ. බොහෝ විට මලබාරයේත් ඔවුන්ට තිබෙන්න ඇත්තේ මුස්ලිම් අනන්‍යතාවක්. එකල ජාතිය, ජනවර්ගය ආදිය ගැන  එහි වැටහීමක් තිබුණේ නැහැ. ඉන්දියාවේ භාෂාමය අනන්‍යතා ඇතිවුනේ ඉතා මෑත කාලයක. පෙර කල දෙමළ භාෂාව කතා කළ අය පාණ්ඩ්‍ය දේශයේත් චෝල දේශයේත් සිටියා. ඔවුන්ට ජාතියක් ජනවර්ගයක් ලෙස තබා භාෂාමය වශයෙන්වත් දෙමළ අනන්‍යතාවක් තිබුණේ නැහැ.

ලංකාවට මුස්ලිමුන් පැමිණෙන විට දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් අනන්‍යතාවක් තිබී නැහැ. ඔවුන්ට එකල තිබුණේ ආගමික අනන්‍යතාවක් පමණයි. එය ජනවර්ගයක් හෝ ජාතියක් හෝ නො වෙයි. ආගමකින් හෝ භාෂාවකින් හෝ ජනවර්ගයක් හෝ ජාතියක් හෝ නිර්ණය වන්නේ නැහැ. ලංකාවට පැමිණි මුස්ලිමුන්ට සිංහල අනන්‍යතාවක් කොහොමටවත් තිබුණේ නැහැ. ඔවුන් ලංකාවට එන විට මෙරට තිබුණේ සිංහල අනන්‍යතාවක් පමණයි. එබැවින් මුස්ලිමුන් ආගමික අනන්‍යතාවකින් දිගට ම හිටියා. ඉන්දියාවේ භා’ෂාමය අනන්‍යතා ලැබුණු පසු මුස්ලිමුන් දෙමළ මුස්ලිම්, මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් වර්ගීකරණය වූවා. ලංකාවේ එසේ වූයේ නැහැ. මෙරට දෙමළ අනන්‍යතාවක් දහනවවැනි සියවස වන තෙක් භාෂාමය වශයෙන්වත් නොතීබූ බැවින් මෙරට මුස්ලිමුන් දෙමළ මුස්ලිම් වශයෙන්වත් වර්ගීකරණයකට ලක් වුනේ නැහැ. 

මෙහි දී තවත් දෙයක් සිදුවුනා. මුස්ලිමුන් මලයාලම් වචන මිශ්‍ර දෙමළ භාෂාවක් කතා කළත් ඔවුන් දහහතරවැනි සියවසේ සිට පදිංච ව සිටියේ සිංහලයන් සමග. යාපනය ප්‍රදේශයේ දෙමළ කතාකරන ජනතාව බහුතරය බවට පත්වුනේ දහහත්වැනි සියවසේ ලන්දේසින් දුම්කොළ වගාවට කෝරමණ්ඩල (චෝලමණ්ඩල) වෙරළෙන් වෙල්ලාලයන් ගෙනාවට පස්සෙ. ඔවුන්ට දෙමළ අනන්‍යතාවක් ලැබුණෙ බොහෝ කාලෙකට පස්සෙ. එබැවින් මෙරට මුස්ලිමුන්ට දෙමළ මුස්ලිම් අනන්‍යතාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ අනන්‍යතාව මුස්ලිම්. ඒත් එය ජනවර්ගයක්වත් ජාතියක්වත් නො වෙයි.  (මතු සම්බන්ධයි)


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 11