History

Thursday, 20 October 2016

මෛත්‍රිපාල දේශපාලනය


මෛත්‍රිපාල දේශපාලනය


පහුගිය දොළොස්වැනි දා මෛත්‍රිපාල කරපු ප්‍රකාශය නිසා මේ ආණ්ඩුවේ අර්බුදය මතුපිටට ඇවිත්. රාජිත සේනාරත්න මේ ප්‍රකාශය අහලා නැත්නම් එදා රාත්‍රි අටේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙට සවන් දෙන්න පුළුවන්. රාජිත ආවේගීව ජනමාධ්‍යයට මොනවා කියන්න ලැහැස්ති වුනත් මෛත්‍රිපාල ඒකෙ ඉතා පැහැදිලිව කියනවා හිටපු ආරක්‍ෂක ලේකම් හා නාවික හමුදා නිලධාරීන් තුන්දෙනකු උසාවියට දක්කාගෙන යෑම ගැන තම අප්‍රසාදය පළකරන බව. අනෙක් නාලිකාවලත් කියන්න ඇති. මා නරඹන්නේ කෙතරම් අඩුපාඩු තිබුණත්, අපේ මතවාදවලට තැනක් නොදුන්නත්, දෙරණ පමණක් බැවින් අනෙක් ඒවා ගැන මට කියන්න බැහැ. ඒ වගේ ම එදා මෛත්‍රිපාල කිවුවා අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය, අපරාධ විමර්ෂණ කොට්ඨාසය වගේ ආයතන දේශපාලන අවශ්‍යතා  අනුව කටයුතු කරනවා නම් තමාට දේශපාලන තීන්දුවක් ගැනීතමට සිදුවන බව. මෙහි සඳහන් වචන ඒ ආකාරයෙන් ම යොදා ගත්ත ද කියල මට නිශ්චිතව කියන්න බැහැ. ඒත් අදහස එයයි. මෛත්‍රිපාල හිටපු ආරක්‍ෂක ලේකම් උසාවියට දක්කා ගෙන යෑම නම් පැහැදිලි ව ම කිවුවා. ඒත් පස්සෙ ඔහු සුපුරුදු විධියට රාජපක්‍ෂලව විවේචනය කළා. හිටපු ආරක්‍ෂක ලේකම් ගැන සඳහන කට බොරු කිවුවත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්.

දූෂණ හෝ අල්ලස් හෝ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්‍ෂක ජෙනරාල්වරිය ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ ඉල්ලා අස්වීම ජනාධිපති පිළිගෙන. අස්වුනෙ මොකද කියලා තවම නිල වශයෙන් කියලා නැහැ. ඒත් ඒක මෛත්‍රිපාලගෙ ප්‍රකාශය හින්ද නම් නොවෙයි කියලා බොහෝ දෙනක් කියාවි. නැත්නම් අර කොට්ඨාසවල ප්‍රධානීන්ටත් ඒ සියල්ලෙහි ප්‍රධාන නීතිය නවන පොලිස්පතිටත් ඉල්ලා අස්වෙන්න වේවි. එතකොට අර නාවික හමුදාවෙ සෙබළුන්ට පහර දී ඇතැයි කියන මන්නාරමේ  සිලාවතුරෙ ගම්වැසියන්ට, ලසන්තගෙ මරණය සිදුකෙළේ තමා යැයි කියමින් සිය දිවි නසා ගත්තේ යැයි කියන හිටපු සාජන් මේජර්ට යුක්තිය ඉටුකරන්නෙ කොහොම ද? මේ ආණ්ඩුව කරන එකම වැඩේ මිනී ගොඩගන්න එක ද කියල කාට හරි අහන්න පුළුවන්. නැහැ තව වැඩක් තියෙනවා. අනුන් හදපු දේ විවෘත කරන එක.

අප දිගින් දිගට ම කියන්නෙ මේ තියෙන්නෙ ඊනියා ජාතික ආණ්ඩුවක් නොව එ ජා ප ආණ්ඩුවක් බව. ඒ දහනවවැනි සංශෝධනය අනුවවත් ජාතික ආණ්ඩුවක් නොවෙයි කියන එක. මේ ආණ්ඩුව බටහිරයන් හා ඉන්දියාව පිහිටුවා ගත්තෙ ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර අරින්නත්, නව  ව්‍යවස්ථාවක් හදලා දෙමළ ජාතිවාදයට කප්පන් දෙන්නත්. ඒ සමග ත්‍රිවිධ හමුදා දුර්වල කිරීමත්, ලංකාව ඉන්දියාවේ තවත් ද්‍රවිඩ ප්‍රාන්තයක් කිරීමත්, සිංහල ථෙරවාද සංස්කෘතිය දුර්වල කර එයට හිමි විශේෂත්වය නැතිකිරීමත්  සිදුවෙනවා. මේවා බටහිර ගැති එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට එකඟයි.

ඒත් ඒවා මෛත්‍රිපාලගෙත් ඔහු සමග සිටින බොහෝ අයගෙත් ප්‍රතිපත්ති සමග එකඟ වන්නෙ නැහැ. චන්ද්‍රිකා, රාජිත වැනි රෝසපාට සමාජවාදින්ට රනිල් සමග එකඟ වන්න පුළුවන්. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ පශ්චීම යුගයේ ලිබරල්වාදීන් හා මාක්ස්වාදීන් අතර පැහැදිලි වෙනසක් නැහැ. එ ජා ප, ජ වි පෙ, ලාල් විජේනායක - ජයම්පති සමසමාජෙ, කොමියුනිස්ට් නෂ්ටාවශේෂ, දෙමළ ජාතික සංධානය, වික්‍රමබාහු - සිරිතුංග කල්ලි, සිවල් සමාජ කාරයො, සාධාරණ සමාජ වහල්ලු, සුපිරි කලාකාරයො, අච්චු කැවුම් සාහිත්‍යකාරයො, විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල කසිකබල් උගත්තු, අක්මුල් නැති තාක්‍ෂිණක තරුණයො, ඊනියා ප්‍රබුද්ධ ජඩමාධ්‍යකරුවො ආදී එකී නොකී ප්‍රබුද්ධ ජාත්‍යන්තර පිරිස් ජාතිකත්වයට එරෙහිව අත්වැල් බැඳගෙන.

මේ සියළු දෙනා එකතුවෙලත් මහින්ද පරාද කරන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ඊනියා පොදු අපේක්‍ෂකයා හැටියට සිංහල බෞද්ධ ගැමි පසුබිමකින් ආපු මෛත්‍රිපාල පත්කරගත්තා. මෛත්‍රිපාල කණ්ඩායම බටහිර හා ඉන්දියාව වෙනුවෙන් සේවය කිරීමට ඉදිරිපත් වුනෙ හුදෙක් රාජපක්‍ෂලා සමග තිබුණු පෞද්ගලික වෛරය නිසා. මේ වෛරය නිසා බැට කන්නෙ සිංහලයො, හමුදාව, විශේෂයෙන් ම බුද්ධි අංශය, අවසානයෙදි තමන් ඇති දැඩිවුණු සිංහල බෞද්ධ සංස්කෘතිය. මා මේ කියන්නෙ මෛත්‍රිපාල කණ්ඩායමේ ඉන්න රෝස සමාජවාදීන් ගැන නොවෙයි. ඔවුන්ට ඇති සිංහල බෞද්ධ සංසාකෘතියක් නැහැ. ඒ අය වැඩිය ඉන්නෙ රනිල් එක්ක. තීරණාත්මක දවසක ඔවුන් රනිල් සමග හෙළුවෙන් හිටගනීවි.

මෛත්‍රිපාලට පුතාගෙ ප්‍රශ්නෙ උඩ හිටපු ආරක්‍ෂක ලේකම්වත් මතක් වුනා. ඒත් දැන් රාජිතට නොවෙයි ඉන්දියන් මහා කොමසාර්ස්ටවත් ඒක වහන්න බැහැ. රනිල් ආවම කල්පනාවෙන් තීරණයක් ගනීවි. ඔහුට බෙල්ජියමේ දී ජී එස් පී ධන ගැන දෙන ඊනියා පොරොන්දුවලට අමතරව මෛත්‍රිපාල එක්ක වැඩ කරන අන්දම ගැනත් උපදෙස් දෙන්න ඇති. මේ අර්බුදය තාවකාලික ව විසඳා ගත්තත්, වෛරී දේශපාලනය තිබුණත්, රනිල් මෛත්‍රිපාල සංස්කෘතික ගැටුම තව තවත් වර්ධනය වීම වළක්වන්න බැහැ. අනාගතයේ දී ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නත් බැරි නැහැ. එය සාර්ථක වුනොත් පාර්ලිමේන්තුවට පුළුවන් ඉතිරි කාලය සඳහා ජනාධිපති කෙනකු පත්කරගන්න. ඒ රනිල් වෙන එක වළක්වන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය රටේ දේශපාලනය මිසක් පෞද්ගලික දේශපාලනය ගැන හිතන්න ඕන නැහැ.

මෛත්‍රිපාල කණ්ඩායම අද වෛරී දේශපාලනයෙන් තම සංස්කෘතියට විරුද්ධව බටහිරට හා ඉන්දියාවට සේවය කරනවා. රට අනතුරට පත්කරනවා. ඒත් ඔවුන් මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. මහින්දට ඡන්ද පනස්අට ලක්‍ෂයක් ලැබුණා. ඒක පොඩි ගාණක් නො වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව මෛත්‍රීපාල ජනාධිපති වුනත් අර පනස්අට ලක්‍ෂයේ අවශ්‍යතා නොසලකා ඉන්න බැහැ. විශේෂයෙන් ම ඒ පනස්අට ලක්‍ෂය ඡන්දය දුන්නෙ රෝස සමාජවාදීන් හැරෙන්න මෛත්‍රිපාල කණ්ඩායමේ අයගේ සංස්කෘතියට. මෛත්‍රිපාල කාට සේවය කළත් රාජපක්‍ෂලාට විරුද්ධ වුනත් ඒ පනස්අට ලක්‍ෂය අමතක කරනවා කියන්නෙ ආනන්තරීය පාප කර්මවලට පමණක් දෙවැනි වෙන පාප කර්මයක් කරනවයි කියන එක.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා 

2016 ඔක්තෝම්බර් 20