History

Saturday, 22 October 2016

ආධ්‍යාත්මික දැනුම


ආධ්‍යාත්මික දැනුම


මේ ලිපි කියවන අය අඩුම තරමෙන් මගේ ලෝකය පොත් පිංච කියවා ඇත්නම් හොඳයි. අවුරුදු තිහකට පසු එහි සඳහන් දේ නැවත කීමට මා කැමති නැහැ. ඒ පොත නිකුත් වෙන විට මුහුණු පොතේ ඇතැමුන් ඉපදිලාවත් නැතිව ඇති. මා ඇතැමුන්ගේ වයස මෙන් දෙගුණයකට වඩා වයස්ගතයි. සමහරවිට තුන්ගුණයක් වන්නත් පුළුවන්. මා ඔබේ මිතුරකු නො වෙයි. මුහුණු පොතේ මිතුරා කියන සංකල්පයට මා කැමති නැහැ. බටහිරයන්ගේ මෙවලම් යොදාගන්නා විට අප පරෙස්සම් විය යුතුයි. මින් පසු මිතුරන් වීමට ඉල්ලන අය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා.  ජනමාධ්‍යයෙන් ඈත් කර ඇති මට සමහර විට සමාජයීය මාධ්‍යයෙනුත් ඉවත්වන්න වේවි. ඒ ගැන මගේ කම්පාවක් නැහැ. මා ප්‍රාඥයකුවත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. සමහරවිට චින්තකයකු වෙන්න පුළුවන්. ප්‍රබුද්ධයනට අනුව ලිංමැඩියකු වන්නත් පුළුවන්.

බොහෝ දෙනකුට  ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම ගැන කිසිම හැඟීමක් නැහැ. බටහිර විද්‍යාව ඇතිවීමට එක් හේතුවක් වූයේ බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට නොහැකි වීම. ඒත් ඒක මූලික හේතුව නොවෙයි. බටහිර විද්‍යාව බිහිවූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ. එහි පෞද්ගලිකත්වය, වියුක්තබව ආදිය ඉස්මතු වුනා. පැරණි වෛදිකයන් සූර්ය කේන්ද්‍රවාදය දැන සිටියා. ආරියභට්ටගේ අවධිය වන විට එය දියුණු මට්ටමක තිබුණා. කොපර්නිකස් සූර්ය කේන්ද්‍රවාදය ලබාගත්තේ අරාබි වෙළඳුන් මගින් වෛදිකයන්ගෙන්. ඒත් බටහිරයන් ඒ බව කියන්නේ නැහැ. පැරැන්නන් සූර්ය කේන්ද්‍රවාදය ඇතුළු දැනුම ලබාගත්තේ කෙසේ ද? මා සිතන අයුරින් නම් ආධ්‍යාත්මික ව. අපට වැව් දාගැබ් නිර්මාණය කරන්න දැනුම ලැබුනෙ බටහිර විද්‍යාවෙන් නො වෙයි. ආධ්‍යාත්මික ව. එනම් මනස දියුණු කිරීමෙන්. එය දියුණුවක් ද නැත් ද කියා ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. ඒ සඳහා පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුවේ යම් කොටසක් සාංසාරිකව ලැබෙනවා. තවත් කොටසක් භාවනා යෝග ව්‍යායාම ආදිය කිරීමෙන් ලැබෙනවා. මෙය බුදුදහමේ භාවනා සමග පටලවා ගන්න එපා. බුදුදහමේ භාවනාව මනස දියුණු කිරීම සඳහා නොවෙයි. නැති මනස නැති මනසක් බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම සඳහා.  ඒත් නිවන් අවබෝධයේදීත් විවිධ මානසික හැකියාවන් ලැබෙනවා. පිරිනිවන්පානා තෙක් ඒ හැකියාවන් පවතිනවා.

මා කලින් ලිපියක කියා ඇති පරිදි ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම ක්‍රම තුනකට සිදුවෙනවා. එකක් තමන් ම ආධ්‍යාත්මික දියුණුවක් ලබා දැනුම ලබාගැනීම, එනම් දැනුම නිර්මාණය කිරීම. දෙවැන්න ආධ්‍යත්මික දියුණුවක් ලබා දෙවියන්, භූතයන් වැනි අයගෙන් දැනුම ලබාගැනීම. තුන්වැනුව යම් ආධ්‍යත්මික දියුණුවක් ලබාගත් අයකු මගින් දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් දැනුම ලබාගැනීම. මට පළමුවැනි දෙවැනි ක්‍රම අනුගමනය කිරීමට තරම් ආධ්‍යාත්මික දියුණුවක් නැති බව කිව යුතුයි.

රාමනුජන් දැනුම ලබාගත්තේ, ගණිත සූත්‍ර ලියුවේ පළමු හෝ දෙවැනි හෝ ක්‍රමයට විය යුතුයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හාඩි හා ලිට්ල්වුඩ් ඔහු ඔයිලර්, ජැකෝබි වැනි ගණිතඥයන්ගේ මට්ටමේ ලා සැලකවා. ඒත් එය වැරදියි. රාමනුජන් වෙන ම තලයක සිටියා. ඔහු බටහිර ගණිතඥයෙක් නොවෙයි. ඔහුට නමක්කාල් දෙවඟන (කාලි අම්මා) ආධ්‍යාත්මය සකස් කර ගැනීමට උපකාර වන්න ඇති. රාමනුජන් බටහිර ගණිතයේ ක්‍රමය වන ස්වසිද්ධවලින් (axioms) පටන්ගෙන අනුමිතික (නිගමන) නීති (rules of inference) යොදාගනිමින් සාධනය (proof) කිරීම අනුගමනය කෙළේ නැහැ. ඔහුගේ සත්‍යය පිළිබඳ සංකල්පය හාඩිගේ සත්‍යය පිළිබඳ සංකල්පයෙන් වෙනස් වූවා. පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල විස්තර කරන්නම්.

අප තුන්වැනි ක්‍රමයේ අනුගමනය කරන ක්‍රමයට සමාන ක්‍රමයක් බටහිර දැනුම ලබාගැනීමේ දී යොදාගන්නවා. පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී අප ගුරුවරුන්ගෙන් දැනුම ලබාගන්නවා. ගුරුවරුන් හා කට්ටඩියන්, කපු මහතුන් යැයි කියන අය අතර වෙනසක් නැහැ. ඔවුන් දෙගොල්ලන් ම තල දෙකක නමුත් යම් දියුණුවක් ලැබූ අය. ඔවුන් දෙවියන්ගෙන් හෝ මිනිස් ලොව දැනුම නිර්මාණය කරන අයගෙන් හෝ දැනුම ලබාගන්නවා. දෙගොල්ලන් අතර ම බොරු කාරයන් ඉන්නවා. විශ්වවිද්‍යාල ගුරුවරුන් අතර බොරු කාරයන් රාශියක් ඉන්නවා!  රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශවල (ඒවාත් ටෙලිනාට්‍ය) ඒ සමහරුන් දැකගන්න පුළුවන්. දෙවියන් හා භූතයන් ද සමහරවිට අප නොමග යවනවා.

පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී අප ලබාගන්නේ පුහුණූුවක්. එයින් පසු ඇතැමුන් දැනුම නිර්මාණය කිරීම සඳහා කියා පුහුණුවක් ලබනවා. පර්යේෂණ උපාධියක් ලබාගැනීමේ දී ඒ පුහුණුව ලැබෙනවා. ඒක බොහෝ විට සිල්ලර පුහුණුවක්. ඇතැමුන් පර්යේෂණ නමින් කරන්නේ දත්ත එකතු කර වෙනස් ආකාරයකින් පෙළගැස්සවීම. එය කපා ඇළවීමක් (cut and paste) . සමහරුන් පවත්නා දැනුම උපයෝගී කරගෙන යම් ගැටළුවක් විසඳනවා. ඒවා එතරම් අමාරු වැඩ නොවෙයි. නව ප්‍රවාදයක් නව සංකල්පයක් බිහිකරන්නේ අතළොස්සක්. ලංකාවේ එසේ කළ අයකු නැහැ.

ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට වෙනත් ආකාරයක පුහුණුවක් ලැබිය යුතුයි. මේ දැනුම හා පුහුණුව අපේ රටේ පමණක් නොව වෙනත් රටවලත් ඔවුන්ට ආවේණික ආකාරවලට ලබා ගෙන තිබෙනවා. ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයක් වූ යකූවි්‍(Yaqui) ගෝත්‍රයේ ඩොන් ජුවාන් නමින් ප්‍රසිද්ධ වූ අයකුගෙන් මේ පුහුණුව ලබාගත් ආකාරය කාලෝ කස්තනේදා (Carlos Castaneda) නම් අයකු කියනවා.  දොන් ජුවාන්ගේ ඉගැන්වීම් (The Teachings of Don Juan) නම් පොතේ ඒ සඳහන් වෙනවා. මේ ගෝත්‍රයේ ඇතැමුනට සත්ව ශරීර මවාගැනීමේ හැකියාව තිබූ බව කියැවෙනවා. මේ දැනුම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණයට හසු වී නැති වේගන යනවා. ඊළඟ පරම්පරාවට ඒ පුහුණුව නොලැබේවි. ඒ පොත කියවන විට මට මතක් වූයේ මෙරට යක්‍ෂ ජනතාවට විවිධ සත්ව වෙස් ගැනීමට තිබූ හැකියාවයි. පණ්ඩුකාභය දේවානම්පිය තිස්ස කාලවල එවැනි කතා සඳහන් වෙනවා. අප ඒවාට මිථ්‍යා කියන්නේ බටහිර විද්‍යාවට එවැනි දේ ගෝචර නොවන නිසා. අප මිථ්‍යා කියල කියන්නෙ අප අනුගමනය කරන දැනුම් පද්ධතියේ තේරුම් ගැනීමට බැරි දේට. නැත්නම් ඒ සමග අනුගත නොවන දේට. මිථ්‍යා ද ඒ ඒ දැනුම් පද්ධතියට සාපේක්‍ෂයි. පඬියන් මිථ්‍යා යථාර්ථයක් කරගෙන! බුදුහාමුදුරුවන් ප්‍රාතිහාර්ය පෑම අනුමත කෙළේ නැහැ. ඒත් උන්වහන්සේ පෑ ප්‍රාතිහාර්ය මිථ්‍යා ද? පුනබ්භවය මිථ්‍යාවක් ද? බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට ඊනියා විද්‍යාඥයන් කිපෙන්නේ ඇයි?  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා 
2016 ඔක්තෝම්බර් 22