History

Sunday, 27 November 2016

ෆිඩෙල් කස්ත්‍රෝ

ෆිඩෙල් කස්ත්‍රෝ


ෆිඩෙල් කස්ත්‍රෝ මිය ගිහින්. ඔහු ගැන කෙටි සටහනක් ලියන්න හිතුනෙ ඔහු සැබවින් ම යුග පුරුෂයෙක් නිසා. මා කියන්ෙැන් නැහැ ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු කියලා. ඔහු කියුබාවට අති මහත් ශක්තියක් ගෙන දුන්න අයෙකු වුනා. ඔහු ලෝකයට ම පොදු පුරුෂයකු නොවුනත් ඔහුගෙන් ලෝකයට ඉගෙන ගන්න පුළුවන් පාඩම් රාශියක් තිබුණා. ඔහු චේ ගෙවාරා මෙන් නොව පොළොවෙ පය ගහ ගෙන හිටපු අයකු වූවා. චේ ගෙවාරාගේ කැප කිරීම ප්‍රතිඵලයක් ගෙන දුන්නෙ කියුබාවෙ දි විතරයි. ඒ කස්ත්‍රෝගේ නායකත්වය නිසා. අනෙක් රටවල දී ඔහුට දර්ශනයක් දීමට නායකයකු හිටියෙ නැහැ.

කස්ත්‍රෝ බැටිස්ටාගේ කෘර පාලනයට එරෙහිව අරගල කරා. කස්ත්‍රෝ මාක්ස්වාදියකුවත් සමාජවාදියකුවත් වූයේ නැහැ. ඔහුට වුවමනා වූයේ බැටිස්ටාගේ රජය පෙරළා දැමීමටයි. බැටිස්ටා ඇමරිකානු එක්සත් රාජ්‍යවල වුවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටි ඒකාධිපති පාලකයෙක්. ඔහුට ඒ රාජ්‍යවල ආධාරය හා අනුග්‍රහය ලැබුණා. කස්ත්‍රෝට අවශ්‍ය වූයේ කියුබාව බැටිස්ටාගේ ඒකාධිපති හස්තයෙන් මුදා ගැනීමට. ඔහු වාසනාවකට මාක්ස්ගේ ඩාස් කපිටාල් කියවා තිබුණේ නැහැ. ලෙනින් කම්කරු පංති විඥානය ගැන ලියා තිබූ දේ් කියවා තිබුණෙත් නැහැ. ඔහු කම්කරු පංතියේ විප්ලවීය පක්‍ෂය ගොඩ නැගීමට මහන්සි වූයේත් නැහැ. ඔහු ධනේශ්වරය පෙරළා දමා ඊනියා කම්කරු පංතියේ ආඥාදායකත්වය පිහිටුවූයේත් නැහැ.

ඔහු කෙළේ 1960 දී බැටිස්ටා පාලනය පෙරළා දැමීමයි. ඔහු එහි දී සාර්ථක වුනා. ඔහු සමහර විට බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට ද ඉඩ තිබුණා. එහෙත් එක්සත් රාජ්‍යවල සම්බාධක පැනවීම වැනි අංග ඇතුළත් විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන ඔහු එකල තිබූ සෝවියට් දේශය දෙසට තල්ලු වුනා.  එහෙත් ඔහු සමාජවාදියකු වූයේ නැහැ. ඔහු යටත්විජිත විරෝධී ජාතික නායකයකු වුනා. ඔහු මියගියේත් ජාතිකවාදියකු ලෙස මිස සමාජවාදියකු ලෙස නො වෙයි.

එකල ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල ජනප්‍රිය විනෝදාංශයක් වූයේ කස්ත්‍රෝගේ කියුබාව වර්ග කිරීමයි. එහි සමාජවාදී විප්ලවයක් සිදු වී තිබිණි ද යන්න හැත්තෑවේ දශකයේ මුල බිහිවූ නව සමසමාජ පක්‍ෂයේත් වැදගත් මාතෘකාවක් වුනා. කියුබානු රාජ්‍යය මොන වර්ගයේ රාජ්‍යයක් ද කියන එක ට්‍රොට්ස්කිවාදීන්ට විසඳා ගැනීමට නොහැකි වූවා. මේ නිෂ්ඵල විවාදවලට මා ද සහභාගි වී තිබෙනවා.

පසුව මට තේරුම් ගිය කරුණක් වූයේ මාක්ස්වාදය ඊනියා ජාත්‍යන්තරවාදයක් ගැන කතා කළත් එයට රාජ්‍යයන් වර්ග කිරීමේ හැකියාවක් නැති බවයි. මාක්ස්වාදයට පමණක් නොව ලිබරල්වාදයටත් කස්ත්‍රෝගේ කියුබාව හඳුනා ගැනීමට නොහැකි වූවා. ඊයේත්් සී එන් එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කෙළේ කස්ත්‍රෝ බටහිර ගෝලයෙහි පළමු කොමියුනිස්ට් රාජ්‍යය බිහි කළ බවයි. ඔවුන් සමාජවාදය හා කොමියුනිස්ට්වාදය අතර වෙනසවත් දන්නේ නැහැ. මාක්ස්වාදයට අනුව කොමියුනිස්ට් රටක රාජ්‍යය වියැකී ගිහින්. කියුබාවේ යස අපූරුවට රාජ්‍යයක් තිබුණා. තිබෙනවා. කියුබාව කොමියුනිස්ට් තබා මාක්ස්වාදයට අනුව නම් සමාජවාදී වූයේවත් නැහැ. කස්ත්‍රෝ නායකත්වය දුන් කම්කරු පංති විප්ලවයක් නැහැ.

මාක්ස්වාදීන් ද ඇතුළුව බටහිරයන් සිතන්නේ ලෝකයේ සියළු රටවල් එකම ආකාරයකට පරිණාම විය යුතු බවයි. බටහිරයන්ට අනුව අප සියළු දෙනාම අප්‍රිකාවේ හෝ අප්‍රිකාවෙන් පිටවී ඇවිත් වෙනත් මහාද්වීපවල හෝ ජීවත්වන මිනිසුන්. මේ පරිණාම එක් තැනකින් පටන් ගන්නේ යැයි සලකන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්. ඉන්පසු දඩයම් යුගය, කෘෂිකාර්මික යුගය,  ශිලා යුගය, නව ශිලා යුගය, වැඩවසම් යුගය ආදී විවිධ යුග හරහා ගොස් දැන් පවතින තත්වයට පත්ව ඇතැයි ඔවුන් සිතනවා. මේ බටහිර යුරෝපයේ ඇතැම් රටවල විකාශයට අනෙක් රටවල් ද ඇතුළත් කිරීමට කළ උත්සාහයක් පමණයි. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ අච්චුව පමණයි. අනෙක් සියල්ල ඔවුන් තම අච්චුවට දාගන්නේ ඒ රටවල අංග ලක්‍ෂණ කපා දමමින්.

මාක්ස්වාදයටවත් ලිබරල්වාදයටවත් තම තමන්ගේ අච්චුවලට දමා ගත නොහැකි රටවල් ලෝකයේ තිබෙනවා. කියුබාවත් ඉන් එකක්. මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී මට එය තේරුම් ගොස් තිබුණේ නැහැ. ඇමරිකන් එක්සත් රාජ්‍ය කියුබාව සෝවියට් දේශය දෙසට තල්ලු කළත් කියුබාව ඒ අච්චුව වැළඳ ගත්තේත් නැහැ. කියුබාවේ සිදු වූයේ කියුබාවට ම ආවේණික ජාතික පරිණාමයක්. එය බටහිරයන්ගේ කිසිම අච්චුවකට දමන්න බැහැ.

සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුවත් කියුබාව එක්සත් රාජ්‍යවල බලපෑම්වලට යටත්වූයේ නැහැ. අදත් එය තමන්ට ම ආවේණික වූ සංවර්ධනයක යෙදී සිටිනවා. කස්ත්‍රෝ මිය ගියත් කියුබාවට තවත් කාලයක් හිස ඔසවාගෙන සිටීමට හැකි වේවි. එහි දී ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති තීරණාත්මක වේවි. ක්ලින්ටන් බලයට පත් වූවා නම් වැඩි කල් නොගොස් කියුබාව එක්සත් රාජ්‍යවල ඉත්තකු වීමට තිබුණා. ට්‍රම්ප් කියුබාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න එකක් නැහැ. ඒත් සී අයි ඒ සංවිධානයට වෙනත් න්‍යාය පත්‍රයක් තිබේවි.

කියුබාව මූලික වශයෙන් කෘෂිකාර්මික රටක්. එහි ප්‍රධාන වගාව උක්. උක් ගොවියන් බොහෝ වෙලාවක් අවුවේ සිටිනවා. දකුණු අමෙරිකානු රටවල කෘෂිරසායනික වකුගඩු රෝගය තිබුණත් කියුබාවේ එය නැහැ. එහි උක් ගොවීන් අනෙක් රටවල ගොවීන් මෙන් රසායනික කෘෂිකර්මයක නිරත වන්නේ නැහැ. මේ අපට කියුබාවෙන් ගත හැකි පාඩමක්. අද ලෝකය පාලනය කරන්නේ දේශ සීමා ඉක්ම වූ බහු ජාතික සමාගම් මගින්. එක්සත් රාජ්‍ය පාලනය කරන්නේත් මූලික වශයෙන් ඒ සමාගම්. කස්ත්‍රෝ කෙළේ මේ බහු ජාතික සමාගම් පරාජය කිරීමයි. සී අයි ඒ සංවිධානය ඔහු මරා දැමීමට හයසිය වාරයක් පමණ උත්සාහ කර ඇති නමුත් කස්ත්‍රෝ මිය ගියේ අනූ විය ද පසුකර ස්වාභාවික ව. ඒ ඔහු ජනතාව සමග සිටි නිසා. එක්සත් රාජ්‍යවල දොරකඩ සිටියත් කියුබාව කස්ත්‍රෝගේ නායකත්වය යටතේ ඔවුන්ට  නොනැම් ස්වාධීන ව සිටියා. අපට බටහිර රටවලින් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියත් ඔවුන්ගේ බලපෑමෙන් නිදහස් වීමට බැරි වී තිබෙනවා. කියුබාව අපට පමණක් නොව එක්සත් රාජ්‍යවලටත් පාඩමක් කියා දෙනවා. ට්‍රම්ප්ට ලෝකය පාලනය කරන බහු ජාතික සමාගම්වලින් එක්සත් රාජ්‍ය නිදහස් කර ගැනීමට  කස්ත්‍රෝ අනුගමනය කළ හැකියි.  


නලින් ද සිල්වා
2016 නොවැම්බර් 27