History

Wednesday, 9 November 2016

යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්


යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්

මානව අයිතිවාසිකම් යන්න ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඵලයක්. කතෝලික චින්තනයෙන් හා යුරෝපීය වැඩවසම් රාජ්‍යවලින් මිදුණු බටහිර යුරෝපය චිත්‍ර හා ප්‍රතිමා කලාව ඔස්සේ ඉදිරියට ගියා. ඉන්පසු මාටින් ලූතර්ගේ, කැල්වින්ගේ  හා වෙනත් අයගේ නායකත්වයෙන් පාප් වහන්සේට හා කතෝලික ආගමට විරුද්ධව ප්‍රතිසංස්කරණවදයක් ගොඩ නැගුවා. ඇතැමුන් කියන්නේ එහි විරුද්ධතාවක් නොතිබූ බවයි. ඒත් ඒ හිත හදාගැනීමට කියන කතා. අදහන්නේ එකම දෙවියන්වහන්සේ වුවත් අදහන ක්‍රමවල වෙනසක් තියෙනවා. කතෝලික ආගම සාමූහිකත්වය මත පදනම් වන අතර රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්කරණවාදී ආගම් පෞද්ගලදකත්වය මත පදනම් වෙනවා. එයට අමතර ව ලූතර්  කතෝලික පල්ලියේ තිබිණි යැයි කියන දූෂණ විවේචනය කළා.


රෙපරමාදු ආගම්වල බිහිවීමෙන් පසුව ගැලීලියෝ ඊනියා පර්යේෂණවලට හා බටහිර විද්‍යාවට අඩිතාලම දැම්මා. එයට පෙර කොපර්නිකස් සිටි නමුත් ඔහු කළේ වෛදිකයන්ගේ සූර්ය කොන්ද්‍රවාදය දකුණු යුරෝපයට හඳුන්වා දීමයි. ගැලීීලියෝ මියගිය වසරේ ම නිවුටන් උපන්නා. බටහිර විද්‍යාව වියුක්ත කතන්දර ගොතන්න පටන් ගත්තා. මේ කතන්දර ඊනියා හේතු නො වෙයි. එහෙත් බටහිරයන් ලෝකයට පුරුදු කර ඇත්තේ ඒ හේතු ලෙස සැලකීමටත් බටහිර විද්‍යාඥයන් ඒ හේතු හොයාගත් බව කීමටත්. මේ වියුක්ත කතන්දර පට්ටපල් බොරු පමණයි.

එංගලන්තයේ අටවැනි හෙන්රි රජුගෙන් පසුව පහළොස්වැනි සියවසේ බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය රාජ්‍ය පාලනයටත් හිමිකම් කිවුවා. පසුව දේශපාලන වශයෙන් වැදගත් වූ ප්‍රංශ විප්ලවය හා ඇමරිකානු විපාලවයත් ඇති වූවා. ඒ සමග ඊනියා බුද්ධිවාදය, හේතුවාදය, වාස්තවිකත්වය, යථාර්ථය ආදී සංකල්පත් ඇති වූවා. මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ඇති වූයේ සාමූහිකත්වයට එරෙහි ව පෞද්ගලිකත්වය මතුවීමෙන්. රාජ්‍යයෙන් නිදහස් වීමට පෞද්ගලික මිනිසුන්ට අවශ්‍ය වුනා. මානව අයිතිවාසිකම් ඇති වුනේ ම ඒ ඒ රටවල රාජ්‍යවලට විරුද්ධ ව. එය රාජ්‍යය හා පුද්ගලයා අතර සටනෙන් පුද්ගලයා යම් පමණක ජයක් ලැබීමක්.

පහළොස්වැනි සියවසේ අගභාගයේ ම යටත්විජිතවාදය ඇතිවුනා. එය ද නැගී එන ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්. මුල් ම යටත්විජිතවාදීන් වූයේ ස්පාඤ්ඤය හා පෘතුගාලයයි. ඒ දෙක ම කතෝලික රටවල් ඒත් යටත්විජිතවාදයට එළඹියේ කතෝලික නොවන චින්තනයක් සමග. යටත්විජිතවාදය ඉන් පෙර තිබූ රටවල් ආක්‍රමණයෙන් වෙනස්. යටත්විජිතවාදයේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික යන සංරචක තුන ම ක්‍රියාත්මක වුනා. පෙර තිබූ ආක්‍රමණවල ඒ සංරචක තුන ම තිබුණේ නැහැ. වැඩිම වුනොත් දෙකක් තියෙන්න ඇති. යටත්විජිතවාදයේ වියුක්ත බවක් තිබුණා. යටත්විජිතවාදීන් වියුක්ත ව සැලසුම් කළා. තම මව් රටවලින් සැතපුම් දහස් ගණනක් ඇතින් තිබූ රටවල් පාලනය කිරීම සඳහා යටත්විජ්තවාදීන්ට වියුක්ත සැලසුම් හා කළමනාකරීත්වය තිබුණා. වියුක්ත සැලසුම්වලට හුරු නැති යුරේපීය  නොවන රටවලට යටත්විජිතවාදීන්ගේ සැලසුම්වලට මුහුණ දීමට නොහැකි වූවා.

මේ වියුක්ත සැලසුම්වල හා කළමනාකාරීත්වයේ අති දක්‍ෂයන් වූයේ ඉංගිරිසින්. ඔවුන්ට හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නැගීමට හැකිවූවා. ඔවුන් තම අධ්‍යාපනය තම යටත්විජිතවලට ද ලබා දුන්නා. එමගින් ඔවුන් තමන්ට සේවය කරන වහල් මානසිකත්වයක් ඇති පිරිස් ඒ ඒ රටවලින් බිහිකර ගත්තා. එසේ බිහිකරනු ලැබූවන් බොහෝ විට ඇංග්ලිකන් ක්‍රිස්තියානින් බවට පත්වූවා. ඒ අතර තවත් පිරිසක් ඉංගිරිසි ආර්ථිකය යටතේ බලය හා වරප්‍රසාද ලබාගත්තා. අප කළු සුද්දන් ලෙස හඳුන්වන්නේ මේ සියල්ලන්. ඔවුන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ලැබුණා. එහෙත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලැබුණේ නැහැ. බටහිර විද්‍යාව පදනම් වන්නේ ග්‍රික යුදෙවු ක්‍රිස්තියානි චිනාතනය මත. අපේ රටවලින් ඉහළ පෙළේ විද්‍යාඥයන් ඉතා අල්ප වශයෙන් බිහිවන්නේ අපට එකී චින්තනය නොලැබුණු බැවිනුයි. ලංකාවෙන් නම් ඉහළ පෙළේ විද්‍යාඥයකු බිහි වී නැහැ. 

යටත්විජිතවාදීන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව උපක්‍රමික ව ක්‍රමයෙන් තම යටත්විජිතවලින් සෘජු පාලනයෙන් අයින්වුනා. අප නිදහස ලැබුවා කියන්නේ එයට. අපේ රටවල සිටි යටත්විජිතවාදී සුදු ආණ්ඩුකාරයන්, නිලධාරීන්, පොලිස් හා හමුදා නිලධාරීන් හා භටයන්, ලිපිකරුවන් ආදීන් පමණක් නොව යටත්විජිතවාදී සුදු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ද ආපසු ඔවුන්ගේ මවු රටවලට ගියා. ඒ සෑම තනතුරකට ම යටත්විජ්තවාදීන් විසින් පුහුණු කරනු ලැබූ ස්වදේශික උගතුන් පත්කරනු ලැබුවා. යටත්විජිතවාදීන්ට තමන්ගේ ම වූ නිලධාරීන් නැතිව වුවත් තම යටත්විජිත පාලනය කිරීමට හැකි වූවා.

එහෙත් පැරණි යටත්විජිතවල ජාතිකත්වය ඉස්මතු වූ විට යටත්විජිතවාදීන් තම අණසක පැතිරවීම සඳහා විවිධ උපක්‍රම යොදා ගත්තා. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් අටමගල තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය පාලනය කිරීමට යොදා ගත්තා. විශේෂයෙන් ම සෝවියට් දේශය වැටීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකන් එක්සත් රාජ්‍යවල රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, එනම් ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශයේ දිගුවක් බවට පත්වූවා. යටත්විජිතවාදීන් තම මතවාදී ආධිපත්‍යය පවත්වාගෙන යෑමට හැටේ දශකයේ පමණ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතිකළා. සිවල් සමාජ රට රටවල පිහිටෙව්වා. ඒ විශ්වවිද්‍යාල හා ඊනියා පර්යේෂණ ආයතනවලට අමතර ව. යටත්විජිතවාදීන් ලෝකයේ සියළුම ජනතාවගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත්තා. කලින් මානව අයිතිවාසිකම් ඇති වුනේ රටක ජනතාවට රාජ්‍යයෙන් යම් ප්‍රමාණයකට නිදහස් වීමට. දැන් මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්තියානි මතවාද වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව හෝ පෙනී සිටින්නන් බටහිර ආධිපත්‍යයට විරුද්ධව නැගී සිටින රටවල රාජ්‍යවලට එරෙහිව යොදා ගැනීමට.

එකී මානව අයිතිවාසිකම් වෙනුවෙන් බටහිර රටවල් සෘජුව මැදිහත් වෙනවා. ආර් ටූ පී හෙවත් ආරක්‍ෂා කිරීමට ඇති අයිත්‍රි යන සංකල්පය යටතේ එකී රාජ්‍ය ද්‍රෝහීන් ආරක්‍ෂා කිරීමට බටහිර රටවල් උත්සාහ කළා. මෙරට සිටින බටහිර රටවල ඒජන්තයන් වූ සිවල් සාමාජිකයන් ඇතුළු පිරිස් ඊනියා මානව අයිතිවාසිකම් හා ආර් ටූ පී වෙනුවෙන් පෙනී හිටියා. ඊනියා සාධාරණ සමාජකාරයන් ද අයිති වන්නේ ඒ පිිරිසටයි. එහි දී ප්‍රසිද්ධියට කැමති, පොරවල් වීමට ආශාවක් ඇති ගිහි පැවිදි දෙපක්‍ෂය ම බටහිරයන් විසින් යොදාගනු ලැබුවා. අද සමස්ත ඉන්දීය රාජ්‍යමත් බටහිරයන් විසින් යොදා ගැනෙනවා.

මේ බොරු ජාත්‍යන්තරවාදයක්. ඒ බටහිරයන්ගේ ජාත්‍යන්තරවාදයක්. අද ජාත්‍යන්තරවාදය කඩා වැටෙනවා. එහි දී ඊනියා ලිබරල්වාදීන් ද මාක්ස්වාදී බොරු සමාජවාදීන් ද එකතු වෙනවා. ඒ සියල්ලන් ම ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ සේවකයන් ලෙස.   



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/nalinkalaya



නලින් ද සිල්වා
2016 නොවැම්බර් 09