History

Saturday, 24 December 2016

නව ව්‍යවස්ථාව හා සංධානය

නව ව්‍යවස්ථාව හා සංධානය

මෙරට ප්‍රශ්න බොහෝ විට අවුල් වන්නේ ප්‍රශ්නයේ මුලට නොයෑම නිසා ය. අද නව ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ ද ප්‍රශ්නය අවුල් කර ගනිමිනි. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් 2015 අගෝස්තු මැතිවරණය තරග කළ දිනූ මන්ත්‍රීවරුන් අද කොටස් දෙකකට බෙදිලා. එක් කොටසක් ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමූ මෛත්‍රිපාල සමග ආණ්ඩුවට ගිහින්. ඔවුන් විශාල පිරිසකට ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ආදිය ලැබී ඇත්තේ එ ජා පක්‍ෂයේ ඇතැම් පැරැන්නන් ද ඉවත දමමින්. සංධානයෙන් තරග කළ අනෙක් කොටස අද ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරනවා.

ඒ අතර ඊනියා යුග පෙරළියක් කළ බව කියන ජාතික හෙළ උරුමය අද සුපුරුදු පරිදි අවස්ථාවාදී ව කටයුතු කරනවා. චම්පක ආණ්ඩුවේ ඇමතිවරයකු ව සිටිය දී වර්ණසිංහ නමැත්තා අපට ආණ්ඩුව ගැන බයිලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම ජාතික හෙළ උරුමය ද ඉතිහාසයේ කුණු කූඩයට විසි කළ යුතුයි. ජාතිකත්වය පාවා දීම ගැන ඒ පක්‍ෂ දෙක වග කියන්න ඕන. නව ව්‍යවස්ථාව ගැන ඔවුන් කියන්නේ කුමක් ද? රතන හිමි වරක් රනිල්ගේ ජාතිකත්වය ගැන සහතික දීමට පවා ඉදිරිපත් වුනා.

මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ ඉතා සැලසුම් සහගතව. එය ජාතික හෙළ උරුමයේ හෝ වෙනත් අයගේ වැඩක් නො වෙයි. ඔවුන් විදේශීය ඔත්තු සේවාවල ඉත්තන් වූවා පමණයි. ඉත්තන් යුග පෙරළි ගැන කතා කිරීම විහිළුවක්. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට බොහෝ කලක සිට සැලසුම් කළා. මෛත්‍රිපාල ජනාධිපති වූයේ ඒ සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ඊළඟ පියවර. ඊනියා ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට කටයුතු කෙළේ ඒ මත පදනම් වෙලා. සංධානය ඒ සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නා. සරත් වීරසේකර පමණයි සිහි නුවණින් යුක්තව එයට විරුද්ධව ඡන්දය දුන්නේ. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකුනා.

මේ සියළු සැලසුම් කෙරුණේ රට දෙකඩ කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. ඊනියා යුග පෙරළි කාරයන් ද ජ වි පෙරමුණ ද එයට හවුල්. ඔවුන්ට දැන් ඒ වග කීමෙන් නිදහස් වෙන්න බැහැ. ඒත් ඔවුන් නව  ව්‍යස්ථාවට විරුද්ධ වෙලා පව් සෝද ගන්න උත්සාහ කරනවා නම් අප ඒකට විරුද්ධ වන්නේ නැහැ. ඒත් ඔවුන්ට පව් සෝද ගන්න බැහැ. අප සැමදාමත් කියා සිටියේ බටහිර රටවල් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත් කෙළේ රට දෙකඩ කරන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බව. ආණ්ඩුවේ මූලික ම කාර්යය එයයි. රට විකිණීම එන්නේ ඊට පසුව.

ඒකාබද්ධ විපක්‍ෂය අද ව්‍යවස්ථාවට කොන්දේසි දහහතරක් ඉදිරිපත් කරලා. ඔවුන් කියන්නේ ඒ කරුණු දහහතර තිබෙනවා නම් තමන් නව ව්‍යවස්ථාවට පක්‍ෂ නොවන බවයි. ඔවුන්ට තමන් කරන්නේ මොකක් ද කියන එක ගැන තේරුමක් නැහැ. රනිල් වචන හරඹයකින් පසු ඒ කරුණුවලට එකඟ වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාවට පක්‍ෂ වෙනවා ද? ඒකීය යන්න වචනයකට පමණක් සීමා කරලා ව්‍යවස්ථාදායක බලය විමධ්‍යගත කිරීමට ආණ්ඩුව කටයුතු කරන්න පුළුවන්. ඔවුන් අද කතාකරන්නේ ඒකීය රාජ්‍යයක් යටතේ බලය උපරිම වශයෙන් විමධ්‍යගත කරන බව. ඒ සඳහා ඔවුන් විවිධ බටහිර උගතුන්ගේ අර්ථකථන ඉදිරිපත් කරාවි. අර රට මේ රට ඒකීය වුනත් බලය විමධ්‍යගත කර ඇති බවට නිදර්ශන ගෙන එන්න පුළුවන්.

මේ අර්ථකථන නිදර්ශනවලට අප එකඟ විය යුතු නැහැ. ඒකිය රාජ්‍යයක ව්‍යවස්ථාදායක බලය අබමල් රේණුවකින්වත් විමධ්‍යගත කරන්න බැහැ කියා අප කියා සිටිනවා. ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාදායක බලය තිබිය යුත්තේ එක ම එක ආයතනයකට පමණයි. සුළුවෙන්වත් ව්‍යවස්ථාදායක බලය විමධ්‍යගත කරන්න බැහැ. සුළුවෙන් ගර්භනී වෙනවා කියා කතාවක් නැහැ. එක්කෝ ගර්භනී නැත්නම් නැහැ. රාජ්‍යයක් එක්කෝ සන්ධීය  නැත්නම් නැහැ. අද පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුවත් ඒකිය නො වෙයි. අප නොදැන සිටියත් මේ ව්‍යවස්ථාව සන්ධීය ව්‍යවස්ථාවක්. ඒ බව හොඳට ම පැහැදිලි වන්නේ සුපිරි අමා්‍යාංශයක් පිහිටුවීමේ පනත සම්බන්ධවයි. මේ පනතට මා විරුද්ධයි. ඒ වගේ ම පනත පාර්ලිමේන්තුවෙන් හා ජනතාවගෙන් පමණක් සම්මත කර ගැනීමට නොහැකි වීම ගැනත් මා විරුද්ධයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය තිබිය යුත්තේ ජනතාවට හා පාර්ලිමේන්තුවට පමණයි. ජනතාවට ජනමත විචාරණයක් මගින් ඒ කාර්යයට සහභාගි විය හැකියි.

එහෙත් මේ වන විටත් ඇතැම් පළාත් සභා සංවර්ධන විශේෂ විධිවිධාන පනත හෙවත් සුපිරි අමාත්‍යාංශ පනතට විරුද්ධ වෙලා. මෙය එක පැත්තකින් හොඳ වුවත් ඒකීය රාජ්‍ය පැත්තෙන් බැලූ කළ හොඳ නැහැ. මේ පනත ගෙන එන්නේ රනිල්ට ජනාධිපති බලතල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමටයි. රනිල් සුපුරුදු පරිදි මහා ඇමතිවරුන්ට විවිධ පොරොන්දු දේවි. මහා ඇමතිවරුන් ඒවට රැවටෙන්නත් පුළුවන්. ඒ තම බලය රැක ගැනීමට. ඒ කොහොම වුනත් එයින් කියැවෙන්නේ අප රට දැනටමත් සන්ධීය බව. මේ බව වනසුන්දර මහතා හා තවත් විනිසුරුවන් හතර දෙනකු ඒ දිනවල ම කියා හිටියා. අද කරන්න යන්නේ සන්ධීය බලතල තවත් වැඩි කර සහසන්ධීය තත්වයකට පත් කිරීමට.

කොහොමටත් සංධානයේ කිසිවකුටවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැහැ. ඔවුන් අගොස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නො වේ. ඔවුන් කළ යුත්තේ නව ව්‍යවස්ථාවකට සම්පූර්ණයෙන් ම විරුද්ධ වීම මිස එයට පක්‍ෂ වීමට හෝ විපක්‍ෂ වීමට හෝ කොන්දේසි ඉදිරිපත් කිරීම නො වෙයි. එසේ ම ඔවුන් කළ යුත්තේ ව්‍යවස්ථාව සංශෝධනය කර නන්දිකඩාල් දේශපාලන ජයග්‍රහණය නෛතික බවට පත්කර දැනට තිබෙන සන්ධීය බලතල ඉවත් කිරීමට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත්සභා පනත අහොසි කිරීමට කටයුතු කිරීමයි.   


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා

2016 දෙසැම්බර් 24