History

Monday, 5 December 2016

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි


ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය ඉතා වැදගත්. ඒකීයභාවය නැති වීම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම, ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ ව (තම රටේ ඉංගිරිසි හා ස්පාඤ්ඤ රාජ්‍ය භාෂා කිරීමට කිවහොත් ට්‍රම්ප් කුමක් කියයි ද), ආදී කරුණු රාශියක් එහි සඳහන් වී තිබුණා. අද රටේ ඇත්තේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ම සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් සම්පානය කර රට බෙදීමට පියවර ගැනීමට. 2015 ජනවාරි අටවැනි දා මේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණු ජාතික හෙළ උරුමය, ජ වි පෙ වැනි පක්‍ෂවලට රට බෙදීමේ පාප කර්මයෙන් මිදෙන්නට බැහැ.

බටහිර ජාත්‍යන්තරවාදීන් දැන් කියනවා ව්‍යවස්ථාව නිසි ලෙස සම්පාදනය වුවහොත් රණවිරුවන්ට විරුද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය නැති බව. මෙයින් පැහැදිලි වෙනවා රණවිරුවන්ට හා මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂලාට විරුද්ධව ගෙන ආ යුද්ධාපරාධ, සමූලඝාතන ආදී  චෝදනා සියල්ල බොරු බව. කොහොමටත් මෙහෙයුම්වල අවසාන සති දෙකේ වැඩබලන රාජ්‍ය ආරක්‍ෂක  ඇමති වූයේ මෛත්‍රිපාල. ඔහුට චෝදනා නැතිව රාජපක්‍ෂලාට චෝදනා ඉදිරිපත් කිරීමෙන් වුවත් පැහැදිලි වන්නේ චෝදනා පට්ටපල් බොරු බවයි. රණවිරුවන් වැරදි කර ඇත්නම් එය ව්‍යවස්ථා  සම්පාදනයෙන් ස්වාධීන විය යුතුයි. රණවිරුවන් වැරදි නම් ව්‍යවස්ථාව කුමක් වුවත් ඔවුන් වැරදිකරුවන්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සකස් කළහොත් රණවිරුවන් හා රාජපක්‍ෂලා වැරදි කරුවන් නොවන්නේ කෙසේ ද?  සමහරවිට යටත්විජිතවාදීන් හිතනවා ඇති රාජපක්‍ෂලා බේරා ගැනීමට ජනතාව ව්‍යවස්ථාවට පක්‍ෂ වේය කියා.

අද ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා. මේවාට අප හසුවිය යුතු නැහැ. මේ උපක්‍රමවලින් පෙන්නුම් කරන්නේ රණවිරුවන් හා රාජපක්‍ෂලා වැරදිකරුවන් නොවන බවයි. ආණ්ඩුව අද ගැටුම් ඇතිකිරීමටත් උත්සාහ කරනවා. ඒ සඳහා ගිහි පැවිදි සංවිධාන යොදා ගන්නවා. මඩකලපුවේ සිද්ධිය අපට මතක් කරදෙන්නේ බේරුවල සිද්ධියයි. මේ ඇතැම් සිද්ධි පසුපස ඇමතිවරුන් එදත් සිටියා අදත් සිටියා. ඒ ආණ්ඩුවේත් ඔවුන් ඇමතිවරු, මේ ආණ්ඩුවේත් ඔවුන් ඇමතිවරු. එදා සිද්ධිවලට ගෝඨභය හවුල් යැයි ප්‍රචාරයක් ගෙන ගියා. අද සිද්ධිවලට හවුල් කවු ද? මහා ඝෝෂා නගන ඊනියා සටන්කාමීන්ගේ සේනාවලින් සිංහලයන් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට යන අවස්ථාවේ අප ආණ්ඩුවට මර්දනයක් දියත් කිරීමට කිසිම ඉඩක් නොදිය යුතුයි. පසුගිය දා කලබල ඇති කෙළේ යැයි අත් අඩංගුවට ගෙන නිදහස් කෙරුණු සිංහල තරුණයා ඇතැම් ඝෝෂා සංවිධාන හෙළිදරවු කර තිබුණා. 

ජාතික හෙළ උරුමය සුපුරුදු පරිදි අවස්ථාවාදී කරණමක් ගසා ඉදිරි කාලයේ දී ආණ්ඩුවෙන් ඉවත් වීමට ඉඩ තිබෙනවා. ඔවුන් නැවතත් මහජනයා රැවටීමට සූදානම් වන බව පෙනෙනවා. අප ඔවුන්ට ද නොරැවටිය යුතුයි. අද ආණ්ඩුව පන්සල් යෑමට පටන් අරන්. ඒ යන්නේ මුදල් “පරිත්‍යාගත්” සමග. මහින්ද පන්සල් යෑම ගැන මෙතෙක් උසුළු විසුළු කළ ආණ්ඩුව දැන් මේ පන්සල් යන්නේ මුදල් බෙදා හරි හාමුදුරුවරුන් ව්‍යවස්ථාවට පක්‍ෂපාත කර ගැනීමට. ජාතියේ මුරදේවාතාවුන් වහන්සේ ආණ්ඩු ගැටවලට හසුවන එකක් නැහැ. මේ සියළු උපාමාරු අපට පරාජය කළ හැකියි. මහින්දගේ ප්‍රකාශය වැදගත් වන්නේ ආණඩුවේ ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකි ඔහුට නිසා. ඔහු මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම අතට ගත යුතුයි. ඔහුගේ නායකත්වයෙන් අපට නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. එහි දී අප සියළු දෙනා හැකිතාක් ධාර්මික වී සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුනාගේ ආශිර්වාදය ද ලබාගත යුතුයි.

රනිල් දේශපාලන උපක්‍රමිකයෙක්. ඔහු විසිපස් වතාවකටත් වඩා පැරදී එ ජා පක්‍ෂයේ නායකත්වයේ හිටියේ නීතිය හා එ ජා ප ව්‍යවස්ථාව ඔහුට අවශ්‍ය ආකාරයට නැමීමෙන්. බැඳුම්කර සිද්ධියේ දී මෙන් ම පොලිස්පති සිද්ධියේ දීත් ඔහු ක්‍රියා කරන ආකාරය පැහැදිලි වුනා. බටහිරයන්ගේ ක්‍රමය අනුව යමකු වරදකරුවකු වන්නේ නීතියෙන් වරදකරුවකු වූවොත් පමණයි. නීතියෙන් නිවැරදී කරුවීමට නීතිය ම යොදා ගත හැකියි. නීතියේ හිල් ඇති බවත් අමතක කරන්න එපා. රනිල් අහන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට ඔහුගේ බෑණාට පොලිස්පතිට විරුද්ධව ඇති චෝදනා මොනවා ද කියා.

අප කලින් කියා ඇති පරිදි සංධානය මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට නොවෙයි. නව ව්‍යවසථාවක් ඇති කිරීමට ජන  වරමක් ලැබී නැහැ. කොහොමටත් සංධානයෙන් පත් වූ  මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටියත්, මෛත්‍රිපාලගේ අවතාර අතර හිටියත් නව ව්‍යවස්ථාවකට පක්‍ෂ වන්න බැහැ. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණයි.  මෙතන දී ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. අද ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන්නේ  දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීමට. මේ ප්‍රශ්නය කුමක් ද කියා තවමත් කවුරුන්වත් කියා නැහැ. ඒත් ඉංගිරිසින් විසින් 1833 දී බෞතීස්ම කරන ලද දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් මේ රටේ තිබුණා. එහි විකාශයක් ලෙස කොටි සංවිධානය බිහි වූවා. නන්දිකඩාල් කලපුවේ දී ඒ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දුන්නා. දැන් දෙන්න වෙන විසඳුමක් නැහැ. කළ යුත්තේ ඒ දේශපාලන විසඳුම නීති පොතට ඇතුල් කිරීම පමණයි. එනම් ප්‍රශ්නයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා  අහෝසි කිරීම පමණයි.

සංධානයට ව්‍යවස්ථා සංශෝධනයකට නම් එකඟ විය හැකියි. ඒ සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ විය හැකියි. එහෙත් එහි දී එක් කරුණක් අමතක නොකළ යුතුයි. ඒ කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමෙන් පසුව පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පළාත් සභා ක්‍රියාත්මක කිරීම අති භයානකයි. අද ආණ්ඩුව මධ්‍යම රජයක් හා පර්යන්ත ගැන කතා කරනවා. මෙයින් පැහැදිලියි ආණ්ඩුව ඒකීය රාජ්‍ය අහෝස් කරන බව. මෙරට මධ්‍යම රජයක් නැහැ. ඇත්තේ එක රජයක් පමණයි. පර්යන්ත රාජ්‍යයත් නැහැ. රනිල්ට විකල්ප රාශියක් තිබෙනවා. ඔහු සමහරවිට ජනමතවිචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවට නොගොස් ඊනියා ව්‍යවස්ථා මණාඩලයෙන් ම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට උත්සාහ කරාවි. එහෙමත් නැත්නම් පන්සල් ගොස් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ඊනියා ජනමතවිචාරණයක් පවත්වා ව්‍යවස්ථාව සම්මත කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හෙට අනිද්දා පාර්ලිමේන්තු සෑසිවාරය අවසන් කර ඒ සමග ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයත් අහෝසි කර ලබන අවුරුද්දේ වෙනත් ම ක්‍රමයකට ව්‍යවස්ථා සම්පාදනයකට යන්නත් පුළුවන්. මේ ඕනෑම ක්‍රමයක් පරාජය කළ හැකියි. මහින්ද මුළුමනින් ම ප්‍රශ්නය අතට ගෙන ඔහුත් අපත් ධාර්මික වී රනිල් පරාජය කළ හැකියි.




නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 05