History

Wednesday, 21 December 2016

මුස්ලිම් දේශපාලනය

මුස්ලිම් දේශපාලනය


අෂ්රොෆ් මුස්ලිම් දේශපාලනයට පිවිසෙන්න කලින් සාමාන්‍යයෙන් මුස්ලිම් දේශපාලනඥයන් එ ජා පක්‍ෂයේ හරි ශ්‍රි ල නි පක්‍ෂයෙ හරි කටයුතු කළා. බද්යුද්දීන් මහමුද් මැතිණියගෙ ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමති වෙලා හිටියා. ඔහු තමයි ඉතිහාසය ඉගැන්වීම පාසලෙන් අයින් කෙළේ. ආණ්ඩුව ඒ යෝජනාවට එකඟ වීමෙන් විශාල වරදක් කළා. දෙමළ කතා කරන අය (දෙමළ හා මුස්ලිම්) විවිධ ඉතිහාස තම දරුවන්ට ඉගැන්නුවා. සිංහල දෙමව්පියන් තම දරුවන්ට කිසිම ඉතිහාසයක් ඉගැන්නුවේ නැහැ. සිංහලයන් ඉතිහාස විඥානයක් ඇති ජාතියක්. අපේ වංස කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. ඒත් බදියුද්දීන් සමත් වුනා සිංහලයන්ගෙ ඉතිහාසය පාසලින් දොට්ට දාන්න හා සිංහල ඉතිහාසය දරුවන්ගෙ මනසට ආගන්තුක දෙයක් බවට පත් කරන්න. එහි විපාක අද අපට විඳින්න සිද්ධ වෙලා.

ඒ අතර විශ්වවිද්‍යාලවල බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඉතිහාසය ඉගැන්නුවා ඒ දවස්වල ඉතිහාසඥයන් පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, පශ්චාත් ව්‍යුහවාදය ගැන දැනගෙන හිටිය ද දන්නෙ නැහැ. කොහොමටත් බටහිරයන්ට ලංකා ඉතිහාසය ගැන තිබුණෙ සිංහල විරෝධී ආකල්ප.  ඔවුන්ට විරුද්ධව, විශෙෂයෙන් ඉංගිරිසින්ට විරුද්ධව, සටන් කෙළේ සිංහලයන් පමණයි. එංගලන්තයට ඉතිහාසය ඉගෙන ගන්න ගිය උපාධිධාරීන්ට සිද්ධ වුනෙ ඉංගිරිසින්ට වුවමනා ආකාරයට ලංකා ඉතිහාසය දෙස බැලීමට. පේරාදෙණිය ඉතිහාසයත් කොල්වින් ආර් ද සිල්වගෙ ඉතිහාසයත් ක්‍රිස්තියානි සංස්කෘතියෙ පදනම් වූ ඉතිහාස. මේ සියල්ලන් ම විමලානන්ද තෙන්නකෝන් දිහා බැලුවෙ ශාස්ත්‍රඥයකු නොවන පුද්ගලයකු හැටියට.

අෂ්රොෆ් තමයි 1915ට පසුව මුස්ලිම් විඥානයක් ඇති කිරීමට කටයුතු කෙළේ. ඔහු මුස්ලිම් කොංග්‍රසය පිහිටුවා ගත්තා. ඒත් එය දෙමළ කතාකරන පක්‍ෂයක් ලෙස තමයි මුලින් ම කටයුතු කෙළේ. කලින් කියා ඇති පරිදි ඔහු නැගෙනහිර පළාතේ ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු මුස්ලිම් දේශපාලන නායකත්වය කොළඹින් නැගෙනහිර පළාතට ගෙන ගියා. 1976 වඩුකොඩෙයි සම්මේලනයට ඔහු සහභාගි වුනා. තොණ්ඩමන් ද ඇතළු ඔවුන් සියල්ලන් ම චෙල්වනායගම්ගේ නායකත්වයෙන් ඊනියා ස්වයංනීර්ණ අයිතිය ලබාගැනීමටත් වෙන ම රාජ්‍යයක් දෙමළ කතාකරන ජනයාට ලබාගැනීමටත් කටයුතු කළා.

ඒත් වැඩි කල් නොගොස් අෂ්රොෆ් මෙන් ම තොණ්ඩමාන් ද ඒ පළල් දෙමළ දේශපාලන සංධානයෙන් අයින් වුනා. තොණ්ඩමන්ට පැහැදිලි වුනා චෙල්වනායගම්ට අවශ්‍ය උතුරු හා නැගෙනහිර පළාත්වල වෙල්ලාලයන්ගේ නායකත්වයෙන් වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට බව. කඳුරට දෙමළ ජනයාට ඉන් ලැබෙන දෙයක් නැති බව ඔහු තේරුම් ගන්න ඇති. අෂ්රොෆ්ටත් තේරෙන්න ඇති වෙල්ලාලයන්ට අවශ්‍ය මුස්ලිමුන් ද දෙමළ ආධිපත්‍යයක් යටතේ පවත්වා ගෙන යෑම බව. ඔහු තම මුස්ලිම් දේශපාලනය වෙනම ම ගෙන ගියා.

අෂ්රොෆ්ටත් වෙන ම පාලනයක් අවශ්‍ය වුනා. ඔහු නැගෙනහිර පළාතේ වෙන ම මුස්ලිම් කලාපයක් ඉල්ලා සිටියා.ඔහු කැමති වුනේ නැහැ දෙමළ වෙල්ලාල නායකත්වයක් යටතේ ඉන්න. එහෙත් ප්‍රශ්නයක් තිබුණා. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනය විසිරී සිටියේ කඩින් කඩ. එක දිගට, සන්තතික ව පදිංචි සිටි ප්‍රදේශයක් මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඔවුන් ඉල්ලා සිටි මුස්ලිම් කලාපය එකට නොගෑවුණු බිම් ප්‍රදේශ. එය හුදෙක් අෂ්රොෆ් සහ තවත් එවැන්නන්ගේ මන දොළ පිනවීමට කරන ලද ඉල්ලීමක් ම නො වෙයි. එහි ජාත්‍යන්තරවාදයකුත් තිබුණා. අනෙක් අතට ඒ ඊනියා මුස්ලිම් කලාපයට අනෙක් පළාත්වල සිටි මුස්ලිම් ජනයා අයත් වුනේ නැහැ. මුස්ලිම් කොංග්‍රසයත් කැබලිවලට කැඩුණා.

ජාත්‍යන්තර මුස්ලිම් ව්‍යාපාරයෙන් ද මෙරට මුස්ලිම් ජාතිවාදී (ආගම්වාදී) දේශපාලනයට සහාය ලැබුණා. මුදල් ආධාරත් ලැබුණා. මේ මුස්ලිම් ජාත්‍යන්තරවාදය යුදෙවු ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදයට එරෙහි ව ඇති වූවක්. ඒත් ඔවුන් සියල්ලන්ට ඒ ජාත්‍යන්තරවාදයට එකතු වෙන්න බැරි වුනා. ඒකට හේතුව වුනෙ සෞදි අරාබිය වගේ ධනවත් මුස්ලිම් රාජ්‍ය යුදෙවු ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදයෙන් මෙහෙයවනු ලැබීම.

අද මුස්ලිම් ජාත්‍යන්තරවාදය ආයුධ අතට ගත් ව්‍යාපාරයක්. එයටත් බටහිර ජාත්‍යන්තරවාදයත් පොහොර දානවා. අයිසිස් ව්‍යාපාරය බිහි කෙළෙ බටහිරයන්. අද ලංකාවෙත් අයිසිස් සාමාජිකයන් ඉන්නවා. ඒ බව විජයදාස රාජපක්‍ෂ කිවුවා. ආණ්ඩුව ඒක එහෙම නෙවෙයි කියලා කිවුවට විජයදාස තමන් වැරදියි කියලා කිවුවෙ නැහැ. අද මුස්ලිම් ජාත්‍යන්තරයෙන් නැගෙනහිර පළාතට හා මුස්ලිමුන්ට ආධාර ලැබෙනවා. ඔවුන්ට ඕන කරන්නෙ මෙරට කොටසකවත් මුස්ලිම් ප්‍රදේශයක් බිහි කිරීමට. කාත්තන්කුඩියට ගියොත් ඒකෙ පෙරනිමිති බලා ගන්න පුළුවන්.  අද එහි ඉඳි ගසුත් වවලා තියෙනවා.

අපේ රටේ මූලික ප්‍රශ්නය සිංහල බෞද්ධයන් මේ රට සිංහල බෞද්ධ රට බව තේරුම් නො ගැනීම. ඒ සමග විවිධ ජනවර්ග රට වෙනත් රටවල කොටස් බවට පත් කරන්න උත්සාහ ගැනීම. වෙල්ලාල නායකයන් උත්සාහ කරන්නෙ උතුරු හා නැගෙනහිර පළාත් තමිල්නාඩුවෙ කොටසක් බවට පත් කරන්න. තමිල්නාඩු නායකයනුත් ඒකට කටයුතු කරනවා. ජයලලිතා නැති වුනා කියලා ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නැහැ. ඒ වගේ ම ඉන්දියාවටත් අවශ්‍ය වෙනවා ලංකාව තවත් ද්‍රවිඩ (දකුණේ යන අරුතින්) ප්‍රාන්තයක් කරන්න.

මුස්ලිම් නායකයන් පිරිසකට ඕන රටේ කොටසක් අරාබියේ කොටසක් කරන්න. එය පිටුපස මුස්ලිම් ජාත්‍යන්තරවාදය වගේ ම බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදයත් ඉන්නවා. බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදය පලස්තීනයට විරුද්ධ වගේ ම මුස්ලිම් ජාත්‍යන්තරවාදයත් පෝෂණය කරනවා. ඒ මුස්ලිම් සංස්කෘතියට විරුද්ධව ම. අපේ රටෙත් ඒක සිද්ධ වෙනවා ඊටත් වඩා තීව්‍ර ආකාරයකින්. ඒකට  හේතුවක් තියෙනවා. බටහිරයන් අපේ රටේ දි මුස්ලිම් ජාතිවාදය යොදා ගන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව. බටහිර ජාත්‍යන්තරවාදයෙ ප්‍රධාන සතුරා මුස්ලිම් ජාත්‍යන්තරවාදය නොවෙයි, සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන මා ලිවුවෙ 1992 තරම් ඈත කාලයක. ඒත් එයට ප්‍රසිද්ධියක් ලැබුණෙ නැහැ. ඒ මාටින් යැක් චීනයෙ සභ්‍යත්ව රාජ්‍යය ගැන ලිවීමට බොහෝ කලකට පෙර. සිංහල බෞද්ධයන් අදත් ඒ අදහස් ගැන සැලකිල්ලක් නැහැ. ඒ අතර දෙමළ මුස්ලිම් ජනයා රට කුඩා තමිල්නාඩුවක් හරි කුඩා අරාබියක් හරි කරන්න උත්සාහ කරනවා. ජයලලිතා මිය ගිය වෙලාවෙ උතුරු පළාත් සභාව ශෝක වුනෙ හුදෙක් මනුෂ්‍යත්වය ගැන හිතලා නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 21