History

Sunday, 29 January 2017

361


361



විසිහත්වැනි දා නුගේගොඩ රැළිය නරඹා ඊට පසු දින උදයසිරිගේ 361 නැරඹීම ජීවිතය කියා හිතනවා.  මා කීවේ මට නොතේරෙන පණ්ඩිත කතාවක් වෙන්න පුළුවන්. දර්ශනය තියෙන්නෙ නළු නිළියන්ට, නිවේදකයන්ට, දේශපාලනඥයන්ට, පශ්චාත්නූතනවාදීන්ට, පඬියන්ට ආදීන්ට. මා කොහොමටත් නාට්‍ය විචාරකයෙක් නො වෙයි. මෙරට කලා කරුවන් එක් කලක දී මා ලියූ කලා විචාර කියෙව්වා. එකල කලා කරුවන් තම කෘති එළි දැක්වීමේ දී මට ආරාධනා කළා. එහෙත් ඒ සියල්ල පසුව නැති වී ගියා. පඬියන් මගේ තරම තේරුම් ගත්තා. ඒත් දිනේෂ් ගුණවර්ධන, උදයසිරි වික්‍රමරත්න වැනි අයට තවමත් මා තේරුම් ගැනීමට බැරි වෙලා. ඔවුන් රැස්වීම්වලට නාට්‍යවලට මට ආරාධනය කරනවා. මාත් යනවා. ඉන් පසු ලියනවා. 




මා කලා විචාරකයකුවත්, දේශපාලන විද්‍යාඥයකුවත්, භෞතික විද්‍යාඥයකුවත්, ගණිතඥයකුවත් නො වෙයි. ඒත් මා ඊයේ නුගේගොඩ රැස්වීම ගැන ලිවුවා. කිසිම දේශපාලන විද්‍යාඥයෙක් ඒ රැස්වීමේ දී ආණ්ඩුව වෙනස් කරන්නේ කෙසේ ද කියා කිවුවේ නැහැ. ඔවුන් පඬි ප්‍රශ්න අසන්නන් පමණයි. ඔවුන්ට උත්තර නැහැ. ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් ව්‍යවස්ථාව පරාජය කිරීමෙන් හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් හරි. ඒ් දෙක ම එකක් වන්නටත් ඉඩ තියෙනවා. ඒත් ඩීල්තන්ත්‍රවාදයේ හුඟක් දේවල් වෙනවා.



මා කලා විචාරකයකු නූනත් උදයසිරිගේ නාට්‍යය ගැන ලියනවා. එය උදයසිරිට පාඩුවක් වේවි ද කියා මා දන්නේ නැහැ. එහෙම වෙන්නෙ උදයසිරි නාට්‍ය කරුවෙක් නම්.  පඬියන් කියන්න ඉඩ තියෙනවා උදයසිරි නාට්‍ය කරුවකු නො වෙයි කියා. 361 නාට්‍යමය ලක්‍ෂණ නැතැයි කියන්න ඉඩ තියෙනවා. චරිත විකාශයක් නැතැයි කියාවි. තවත් දේ නැතැයි කියාවි. සුද්දෙක් ඔබ අමතයි නැරඹූ ඇතැමුන්ට එය නාට්‍යක් වුනේ නැහැ. උදයසිරි නාට්‍ය කාරයෙකු වුනත් නැතත් ඔහු නාට්‍ය හදාවි. අධ්‍යක්‍ෂණය නො කරාවි. නාට්‍යය යන්නත් නාට්‍ය අධ්‍යක්‍ෂණය යන්නත් තීරණය කෙරෙන්නෙ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මගින්. මිනුම් දඬු ඔවුන්ගෙ. ඒ මිනුම් දඬුවල ඇති ඊනියා වාස්තවික වැදගත්කම කුමක් ද? නාට්‍යයෙහි දී අහනවා වගේ ඒ මිනුම් දඬුවල ඇති ද්වන්දාත්මක භෞතිකවාදී ලක්‍ෂණ කවරේ ද? ද්වන්දාත්මක භෞතිකවාදය යන්න මාර්ටින් වික්‍රමසිංහ අපෝහකය ගැන නොදැන ඩයලෙක්ටිකල් මැටීරියලිසම් යන්නට තනා ගත් වචනයක් බව කිවුව ම පඬියන් තව තවත් මා ආසනික් වැනි විසක් ලෙස සලකාවි. බටහිර දර්ශනය දර්ශනයක් නෙවෙයි කියලා මා කී විට පඬියන් මා නාට්‍යයේ මැතිතුමාගේ ගණයට දමාවි ද? එය ප්‍රශ්නයක් වන්නේ මට නොව පඬියන්ටයි. පඬියන් වචන පාවිච්චි කරන්නෙ ඒවයේ තේරුම දැනගෙන නොවෙයි. තමන් වචන දන්න බව අනුන්ට කියන්න. විවාහ වෙන්නෙ උපදෙස් දෙන්නයි, උපදෙස් ගන්නයි කියලා නාට්‍යයෙ කියනවා. සංවාද කරන්නෙ වචන කියන්නයි. වචන අහන්නයි. ඒවා නොතේරුනාට කමක් නැහැ. නොතේරෙන තරමට හොඳයි.



උදයසිරි කියන්නේ අප මාධ්‍යයෙන් නිදහස් විය යුතු බවයි. අප මාධ්‍යයෙන් පමණක් නොව දේශපාලනයෙන් ද දැනුමෙන් ද නිදහස් විය යුතුයි. වෙනත් වචනවලින් කියන්නේ නම් අප බටහිර දැනුමෙන්, මිනුම් දඬුවලින් නිදහස් විය යුතුයි. පශ්චාත්නූතනත්වය කියන්නෙ පශ්චාත්නූතනවාදීන්ගේ වචනයකින් නම් ෆැන්ටසියක් පමණයි. උදයසිරි කතාකරන්නේ ෆැන්ටසියක් ගැන නො වෙයි. ෆැන්ටසියේ ද තියෙන බොරුව ගැනයි. ඊනියා විසංයෝජනය කියන්නේ ද සංයෝජනයක් (සංස්කරණයක්) බව පටිච්ච සමුප්පාදය අපේ ඇහැකින් කියෙවූවන් දන්නවා. සංස්කරණවලින් වියෝ වන්න හැකි වන්නේ නිවන් අවබෝධයෙන් පමණයි. ඩෙරීඩා නිවන් දැක්කේ නැහැ. දැක්ක ද දන්නෙත් නැහැ. කොහොමටත් සාත්‍රෙ නිවන් දැක්කෙ නැහැ. සාත්‍රෙ යනු ප්‍රංසය කියලා කිවුවෙ ඩිගෝල්. අපට සාත්‍රෙ යනු ලෝකය නො වෙයි. සාත්‍රෙ තියා නාගර්ජුන හාමුදුරුවොවත් ලෝකය නො වෙයි. උන්වහන්සෙ නම් ලෝකයෙකුත් නො වෙයි.



උදයසිරි අපට කියන්නේ නිවන් දකින්න නො වෙයි. බොරුව බොරුවක් බව දැනගෙන ඉන් නිදහස් වීමට වෑයම් කිරීමටයි. අපට බොරුවෙන් මුළුමනින් ම නිදහස් වන්න පුළුවන් වෙන්නෙ අපේ මහ ම බොරුව වූ මා යන්නෙන් නිදහස් වූ දාට. එතෙක් දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,  මානව අයිතිවාසිකම්වල අයිතිකරුවන්. සිවල් සමාජකාරයන් ආදී සියල්ලන්ගේ ම බොරුවෙන් නිදහස් වීමට උත්සාහ ගත යුතුයි. මොවුන් සියල්ලන් ම යෙදී ඉන්නේ වෙළෙඳාමක, ඔවුන්ගේ බසින් කියන්නේ නම් මාකටින් වැඩක. එහි දී විවිධ වෙළෙඳ දැන්වීම් අවශ්‍ය වෙනවා. මා දැක්කා එක් උපකාරක (ටියුෂන්) ඇදුරකු තමන් විද්‍යාවේ මහ මොළය ලෙස හඳුන්වමින් වෙළෙඳ දැන්වීමක් පළ කර තිබෙනවා. ඔහු පමණක් නොවෙයි අයින්ස්ටයිනුත් මහ මොළයක් බවට පත් වීමේ දී වෙළෙඳ දැන්වීම් යොදා ගත්තා. වෙළෙඳ දැන්වීම්වලට එක් එක් ක්‍රම තියෙනවා. මා ඔබේ වෙළෙඳ දැන්වීම වන්නේ ඔබ මගේ වෙළෙඳ දැන්වීම වන්නේ නම්. වෙනත් වචනවලින් කියනවා නම් පිට කැසීමෙන් හා කසවා ගැනීමෙන්. මේ ලිපිය උදයසිරිගේ පිට කැසීමක් වන්නේ නැහැ. ඔහු මගේ පිට කසන්නේ නැහැ. මට නාට්‍ය බැලීමට ආරාධනය කරනවා පමණයි.



උදයසිරි මේ නාට්‍යයෙන් ආසන දෙකේ බණ ශෛලිය යොදා ගන්නවා. නාළිකාවල සමහර ප්‍රශ්න විචාරක වැඩ සටහන්වල යොදා ගැනෙන්නෙත් ආසන දෙකේ බණ ශෛලියයි. එක ම වෙනස බණ වාර අතර හේවිසි වැයීම වෙනුවට ඒ රූපවාහිනී වැඩ සටහන්වල විරාම විරාම කියමින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමයි. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ උදයසිරි තනි අසුනේ බණ ශෛලිය යොදා ගත්තා. 361 දී ඔහු ආසන දෙකේ බණ ශෛලිය යොදා ගන්නවා. මාත් හිටපු ගමන් පඬියකු වී මෙවැනි බොරු කතා කියනවා. ඒත් මට වෙළෙඳ දැන්වීම් නැහැ. අඩු ගණනේ උදයසිරිවත් මා ගැන වෙළෙඳ දැන්වීමක් පළ කරවන්නේ නැහැ.





මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.








නලින් ද සිල්වා



2017 ජනවාරි 29