History

Sunday, 1 January 2017

විද්‍යුත් මාධ්‍යයේ පරිණාමය


විද්‍යුත් මාධ්‍යයේ පරිණාමය


අප කුඩා කාලයේ විද්‍යුත් මාධ්‍යයක් ලෙස තිබුණේ ගුවන් විදුලි සේවය පමණයි. එහි සිංහල දෙමළ ඉංගිරිසි භාෂාවලින් වැඩ සටහන් වෙනස් සංඛ්‍යාත යටතේ ප්‍රචාරය වුනා. සිංහලෙන් සේවයන් දෙකක් තිබුණා. එකක් ස්වදේශීය සේවය අනෙක වෙළඳ සේවය. සිංහල පාසල් ගුරුවරයකු වූ අපේ පියා අප යොමු කෙළේ ස්වදේශීය අංශයටයි. ඒ අප ගුවන් විදුලි යන්ත්‍රයක් මිළ දී ගැනීමෙන් පසුව බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මා තුන්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයෙහි අප නිවසට විදුලිය ලබා ගත්තේ. ගුවන් විදුලියක් මිල දී ගත්තේ ඊටත් පසුවයි. අප ඉංගිරිසි වැඩ සටහන්වලට සවන් දුන්නේ නැහැ. ඒ වැඩ සටහන්වල කුමක් ප්‍රචාරය වුනා දැයි මා අදටත් දන්නේ නැහැ. අප දැන සිටි ඉංගිරිසියක් නැහැ.

වෙළෙඳ සේවයට සවන් නොදිය යුතු ය වැනි අදහසක් අපේ පියාට තිබුණා. එහි ප්‍රචාරය වූ වෙළෙඳ දැන්වීම්, ගීත ආදිය ඔහුගේ සිත දිනාගත් දේ නො වෙයි.  ස්වදේශීය සේවයට වුනත් අප නිරන්තරයෙන් සවන් දුන්නේ නැහැ. පියා හෝ මව හෝ ඔවුන්ගේ සහෝදර සහෝදරියන් කිසිවකු හෝ විශ්වවිිද්‍යාලයට ඇතුල් වී තිබුණේ නැහැ. එහෙත් අපේ පියා අවසාන වශයෙන් ගත්කල පාලනය වුනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්. පුහුණු පාසල් ගුරුවරයකු ලෙස ඔහුට එ පාලනය ද ලැබෙන්න ඇති.

කොළඹ විශ්වවිද්‍යාල ආයතනය (යුනිවර්සිටි කොලේජ්) බිහි වුනේ 1921 දී එකල රාජකීය විදුහල් ගොඩනැගිලිවල. එයින් බිහි වූ උගතුන්ට රටේ විශාල බලයක් අත්වුනා. ඔවුන් ලැබුයේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඒ වන විටත් බටහිර ජාත්‍යන්තරවාදයක්, ඊනියා ජාතික රාජ්‍ය හෙවත් ආගමික රාජ්‍ය අභිබවා ගිය සුපිරි ව්‍යුහයක්, ඇති වෙමින් තිබුණා. ඒ සුපිරි  ව්‍යුහයට උගතුන්, විද්‍යාඥයන්, වෘත්තීයකයන්, ඔත්තු සේවා,  ජනමාධ්‍ය ආදිය අයත්වුනා. අප ඉගෙන ගත යුත්තේ මොනවා දැයි එකලත් තීරණය වුනේ මේ ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයෙන්.

මෙරට ගුවන් විදුලි සේවය ආරම්භ වූ අවස්ථාවේ ම එය අර සුපිරි ව්‍යුහයෙන් බිහි කරනු ලැබූ උගතුන්ගේ පාලනයට යට වුනා. මේ උගතුන් බොහෝ විට විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයන පීඨයේ විෂය හදාරා තිබූ අය. ඔවුන්ට ශාස්ත්‍ර පීඨයේ සිසුන්ට ලැබුණු පිළිගැනීම ලැබුනේ නැහැ. විශ්වවිද්‍යාලයේ හරමානිස්ලා (හරාලා) හා කුල්ටූර් සිසුන් (කුල්ටන්) අතර භේදයේ මුල මේ පීඨ භේදය සමග සම්බන්ධයි. ඒ කොහොම වුනත් පෙරදිග අධ්‍යයන පීඨයේත් ලැබුණේ අපරදිග අධ්‍යාපනයක්. බුදුදහම ඊනියා නූතනත්වයට යටකර කපා කොටා දැමීම ආරම්භ වුනේ මේ පෙරදිග අධ්‍යයන පීඨයෙන් ලැබුණු අපරදිග අධ්‍යාපනයත් සමග.

ගුවන් විදුලි සේවය ආරම්භයේ සිට ම, කොළඹින් කතා කළ යුගයේ සිට ම, බටහිර ඊනියා නූතනත්වයට යටවුනා. ගීතය අතින් පමණක් නොව ධර්ම දේශනා අතින් ද ආකෘතියෙන් මෙන් ම අන්තර්ගතයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවුනා. වජිරාරාමයේ පැයේ බණ දේශනාව ගුවන් විදුලියට අනුව සකස් කෙරුණක්. අද රටේ හැම තැන ම බණ පැයකට සීමා වෙනවා. විශ්වවිද්‍යාල දේශනත් පැයේ දේශන. විශ්වවිද්‍යාලයේ දේශනවලට නම් පැයක් ඕනවටත් වැඩියි. මගේ දේශන මා බොහේ විට දේශනවලට විරුද්ධව යොදා ගත්තා. ඒත් බණ දේශනා කරන්න නම් පැයක් මදි. බණ දේශනාවලට කැඳ බීමට මෙන් ම පහත් තත්වයක් දිමට ඉංගිරිසින් කටයුතු කළා. අද කැඳ බීල ද ආවෙ, මෙයා බණ කියනවා ආදී ව්‍යවහාර මගින් ධර්මයත් කැඳත් පහතට දැමුනා.

විශ්වවිද්‍යාලවලින් පිටවූ හා ඒ වටා සිටි උගතුන් ගුවන් විදුලියේ ස්වදේශීය අංශය ඔවුන්ට ඕන විධියට සකස් කළා. ඒත් සාමාන්‍ය ජනතාව වඩා සවන් දුන්නේ වෙළෙඳ සේවයට. සාමාන්‍ය ජනයා හා විශ්වවිද්‍යාල වටා සිටින උගතුන් අතර මේ භේදය මුලින් ම ඇති වුනේ ග්‍රීසියේ. එකල ග්‍රීසියේ විශ්වවිද්‍යාල තිබුණෙ නැහැ කියලා පඬියන් කියාවි. ඒ නැති වුවත් උගතුන්ගේ චින්තනය හා සාමාන්‍ය ජනයාගේ චින්තනය අතර වෙනස්කම් ග්‍රීකයන් අතර තිබුණා, වත්මන් බටහිරයන් අතරත් තියෙනවා.

ගුවන් විදුලිය මගින් ඊනියා උගතුන් තම චින්තනය හා ආකල්ප සාමාන්‍ය ජනයාට අධිපතිවාදී ආකාරයකින් පැටවීමට උත්සාහ කළා. එහෙත් මේ උගතුන් ඊනියා මහා සම්ප්‍රදාය ලෙස සැලකුවේ ඉන්දියාවේ හින්දු සම්ප්‍රදාය. මහා සම්ප්‍රදාය යන්න සරච්චන්ද්‍ර විසින් මෙරට ප්‍රචලිත කරනු ලැබූ රෙඩ්ෆීල්ඩ්ගේ යටත්විජිතවාදී සංකල්පයක්. මේ උගතුන් සංගිතයක් බිහි කරන්න උත්සාහ කෙළෙත් මේ ඊනියා මහා සම්ප්‍රදායෙහි. ඔවුන් හා අනෙක් උගතුන් ප්‍රචලිත කරන මතය නම් සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි සංගීතයක් නැති බවයි. අපේ සංගීතය ස්වර කිහිපයකට කොටු වුනු බටහිර සංගීතයට හා උත්තර භාරතීය සංගීතයට වඩා පොහොසත් කියා මට හිතෙනවා. අපට ස්වර සීමාවක් නැහැ. තනි ස්වරයේ ගීතත් තිබිය හැකි බව සුනිල් ශාන්තයන් පෙන්නුම් කළා. පිරීත ගීතයක් ලෙස නොසැළකුවත් එහි ස්වර කීයක් තිබෙනවා ද? 

අදත් ඇතැමුන් සංගීතය හැදෑරීමට යන්නේ ඉන්දියාවට. ඉන්දියාව අනුකරණය කරන්නේ නැතිව එහි ගොස් ඉගෙන ගත්තාට කමක් නැහැ. ඒත් ඉන්දියාවත් බටහිර අනුකරණය කරනවා. ඉන්දියාවට ගොස් ආපසු පැමිණි සමහරුන් සිතන්නේ වව් යනුවෙන් කියැවෙන ප්‍රතිචාරය ඉන්දියානු එකක් බවයි. එහෙත් එය තනිකර ම බටහිර අනුකරණයක්.  ඉන්දියාවේත් ප්‍රධාන තැන ලැබෙන්නේ බටහිර නූතනත්වයට අනුව තම ශිල්ප කපා කොටන අයට. රවි ශංකර, රබින්ද්‍රනාත් තාගෝර් එයට උදාහරණ ලෙස පැවසූ විට මෙරට පඬියන් මට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මෙරට පඬියන්ගේ තරම මා හොඳාකාරව දන්නවා. සුනිල් ශාන්ත ඉන්දියාවට යට නොවූ අදීන සංගිතඥයෙක්. ඔහුට ගුවන් විදුලියේ ඉන්න දුන්නැත්තේ ඔහු ඉන්දියාවට යටවීම ප්‍රතික්‍ෂෙප කළ බැවින්.

පෞද්ගලික විද්‍යත් මාධ්‍ය බිහි වුනේ ගුවන් විදුලියේ උගතුන්ට විරුද්ධව. එහෙත් මේ මාධ්‍ය මෙරට සංස්කෘතියේ බිහි වූ ආයතන නො වෙයි. ඔවුන්ට අවශ්‍ය මෙරට සංස්කෘතිය කාබාසිනියා කිරීමටයි. අද තරුණයන් මේ මාධ්‍යවලට වහා වැටිලා. අවාසනාව අද වන විට මෙරට තරුණයන් අතර සිංහල බෞද්ධ සංස්කෘතියේ සාමාන්‍ය මිනිසුන් නැති වීමයි. අද ඉන්නේ සිංහල බෞද්ධ විරෝධී බටහිර අධ්‍යාපනයෙන් බිහි වූ තරුණයන්. මෙරට සාමාන්‍ය මිනිසුන් බටහිරෙන් බිහි කරනු ලැබූවන් බවට පත් කරනු ලැබීම අධ්‍යාපනයේ ඛෙදවාචකයයි.

පෞද්ගලික විද්‍යත් මාධ්‍ය ඊනියා උගතුන්ගෙන් ගුවන් විදුලිය බේරා ගැනීම හොඳයි. එහෙත් ඔවුන් එසේ බේරා ගත්තේ බටහිරට වැඳ වැටීමෙන්. එය කබලෙන් ලිපට වැටීමක්. සිංහල බෞද්ධ සංස්කෘතියේ සාමාන්‍ය මිනිසුන් බිහි කිරීමට කිසිම මාධ්‍යයක් උනන්දු වන්නේ නැහැ.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 01