History

Friday, 13 January 2017

සුභ සහ යස

සුභ සහ යස


සුභ සහ යස කතාව අප කවුරුත් අසා තිබෙනවා. මෙය දේශපාලන කතාවක්. එහෙමත් නැත්නම් රාජ්‍ය පාලන කතාවක්. මෙරට ඉතිහාසයේ සිදු වූ වැදගත් ම දේශපාලන කතාවක්. මේ පිළිබඳ ව විවිධ ඉතිහාසඥයන් ලියා ඇති. ඇතැම් විට මා කියන කතාවත් සමහරු ලියලා ඇති. මා සුභ සහ යස ගැන ලියවෙච්ච සෑම දෙයක් ම කියවා නැහැ.  අප සුභ ගැන දන්නේ දොරටුපාලකයකු ලෙසයි. එහෙත් දොරටුපාලක කියන එක එකල වැදගත් තනතුරක්. ඉංගිරිසි පාලනය තිබූ කාලයේ මෙරට ගේට් මුඩ්ලියර් කියා තනතුරක් තිබුණා. මෙරට බොහෝ වැදගත් යැයි කියන අය එකල මේ තනතුර දරලා තියෙනවා. ගේට් මුඩ්ලියර්ලාට විශේෂ රාජකාරියක් පැවරී තිබුණේ නැහැ. මා හිතන්නේ දොරටුපාලක තනතුර ගේට්මුඩ්ලියර්ට වඩා උසස් කියා. දොරටුපාලක මාළිගාවේ සම්පුර්ණ ආරක්‍ෂාව ගැන වග කියන්න ඇති.


ඒ කොහොම වුනත් සුභ යසලාලක තිස්ස රජුගේ රාජ සභාවේ දොරටුපාලක ධුරය දැරුවා. සුභ ලම්බකර්ණ වංශයට අයත් යැයි සැලකිය හැකියි. යසලාලක තිස්ස කියන්නෙ ඉළනාග රජුගේ බාල පුතා. ඔහු රජ වුනේ තම වැඩිමහල් සහෝදරයා මරා දමා. ඉළනාග රජුට නාග සම්භවයක් තියෙන්න ඇති. කාවන්තිස්ස රජුත් නාග රජ කෙනෙක්. මේ නාගයන් අනුරාධපුරේ රජකම ලබාගැනීමෙන් පසු මෞර්ය යනුවෙන් හැඳින්වෙන්න ඇත කියා සිතෙනවා. දේවානම්පිය තිස්ස තමයි මෙරට පළමු මෞර්ය රජු. ඔහු මෞර්ය වූයේ මුරාගේ මුණුබුරකු වූ නිසා නොව මුරාගේ මුණුබුරකු වූ දේවානම්පිය අශෝකගෙන් අභිෂේකයක් ලබාගත් නිසා. තිස්ස දේවානම්පිය තිස්ස වන්න ඇත්තේත් අදාළ දේවානම්පිය  අභිධානය අශෝක රජුගෙන් ලැබුණු නිසා. සමහරුන්ට අනුව අශෝක කියා රජ කෙනකු පැළලුප් නුවර රජ කර නැහැ. ඒ කොහොම වුනත් මෙරට මෞර්ය ආරම්භය දේවානම්පිය තිස්ස රජුගෙන් කියා හිතන්න පුළුවන්.

නාගයන් ද පසු කලෙක මෞර්ය වන්න ඇති. මෙරට සිංහල රාජ්‍යය සඳහා ඉතිහාසයේ විවිධ රජ පෙළපත් අතර තරග ඇති වී තිබෙනවා. ඒත් රාජ්‍යය හැමදාමත් සිංහල. අපට තිබුණේ වාංශික රාජ්‍ය නො වෙයි. නාග, යක්‍ෂ මෙන්ම ලම්බකර්ණ ගැනත් කියැවෙනවා. ඉනුත් වැඩියෙන් ම අරගල ඇති වී තිබෙන්නේ නාග (මෞර්ය) හා ලම්බකර්ණ පෙළපත් අතරයි. ළම්බකර්ණයන් ගැන නිශ්චිත ව යමක් කියැවෙන්නේ නැහැ. ඔවුන් ද රුහුණේ සිට අනුරාධපුරයට විටින් විට පැමිණ ඇති බව පැහැදිලියි. සිරිසඟබෝ රජු ද එසේ මහියංගණයේ හෙවත් බින්තැන්නේ සිට අනුරාධපුරයට පැමිණි ලම්බකර්ණ පෙළපතට අයත් කෙනෙක්.  ගෝඨාභයත් පැමිණියෙත් එසේමයි.

මේ රජවරුන් ඇතැම්විට යක්‍ෂ කාන්තාවන් විවාහ කර ගත්තා. ඒ විවාහවලින් ලැඹුණු කුමාරවරුන් රජකමට අභියෝග කළා. මෞර්යකු වූ ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප ගැන අප දන්නවා. එමෙන් ම ලම්බකර්ණ රජකු වූ ගෝඨාභය රජුගේ පුත් මහසෙන් රජු ගැනත් අප දන්නවා. ඒ රජවරුන් ඇතැම් විට මහාවිහාරයට අභියෝග කළා. මෙරට යක්‍ෂ ජනතාවගේ ඉතිහාසය තවමත් නිසි අයුරෙන් ලියැ වී නැහැ. එහෙත් ලම්බකර්ණයන් ගැන සඳහන් වෙනවා. මේ ලම්බකර්ණයන් ශාක්‍ය වංශයට අයත් වූවන් විය හැකියි. සිදුහත් කුමරුගේ ගිහි කල පෙළපතට ඔවුන්ගේ සම්බන්ධයක් තිබෙන බව පෙනෙනවා.

ළම්බකර්ණයන් ඉළනාග මෞර්ය (නාග) රාජ සභාවේ කටයුතුවල නිරත වුනත් රජු ඔවුන්ට නිසි ගෞරවයක් දුන්නේ නැහැ. ඉළනාග රජු අතින් ලම්බකර්ණයන්ට  විඳින්නට වූ ගැහැට ඉතිහාසයේ සඳහන් වෙනවා. ලම්බකර්ණයන්ට නාස් කපා දැමීම වැනි දඬුවම් ලැබීමට සිදුවුනේ ලම්බකර්ණයන් ද රජුට නිසි සැලකිල්ලක් නොදැක් වූ නිසයි. ඉළනාග ලම්බකරණ ගැටුම මෙරට ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

ඉළනාග රජුගේ පුත් යසලාලක තිස්ස කුමරු තම සොහොයුරා මරණයට පත්කර රජවීමේ දී ඔහුට ලම්බකර්ණයන්ගේ සහාය ලැබුණා ද යන්න විමසිය යුතු කරුණක්. වර්තමාන සුභ සහ යස කතාවේ නම් එවැන්නක් සිදු වුනා. ඒ කෙසේ වෙතත්  යසලාලක තිස්ස රජු සුභට දොරටුපාලක තනතුර ලබා දුන්නා. සුභ ලම්බකර්ණයකු යැයි සිතන්න සාධක තිබෙනවා. කතාව අනුව යසලාලක තිස්ස රජු රුවෙන් තමා මෙන් වූ සුභ සිංහාසනයේ වාඩි කරවා සතුටු වුවෙක්. එය කවටකමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. රජවරු විහිළුවටවත් වෙනත් අයකු සිංහාසනයේ වාඩි කරවන්නේ නැහැ. මෙය යසලාලක තිස්ස රජවීම සඳහා ලම්බකර්ණයන් සමග ඇති කරගත් යම් ගිවිසුමක ප්‍රතිඵලයක් විය හැකියි. සුභ අවස්ථාවක් බලා යසලාලක තිස්ස රාජ සභාවේ සිටි ලම්බකර්ණයන් ලවා ම මරවන්න ඇති.

සුභ ලම්බකර්ණයකු විය හැක්කේ වසභ රජු පසුව සුභ රජුගේ දුව විවාහ කර ගැනීමත් නිසා. සුභ රජු රජ කරන කාලයේ වසභ නම් ලම්භකර්ණයකු රජ වන බවට අනාවැකියක් තිබුණා. වසභ තම මාමාගේ රැකවරණය යටතේ හිටියේ. මේ මාමාත් නැන්දාත් ලම්බකර්ණ බවට සැකයක් තිබිය නොහැකියි. මාමා සුභ රජුගේ රාජ සභාවේ සේවය කළා. මාමා  වසභ පාවා දීමට සිතුවා. එහෙත් වසභ නැන්දාගේ උපායෙන් බේරුණා. පසුව වසභ සුභ රජු මරා රජ වූයේ තම නැන්දණිය අග මෙහෙසිය බවට පත් කිරීමෙන්. මේ දෙදෙනාගේ පුතා සුභ රජුගේ දුව විවාහ කරගත්තා.

මෙය ලංකාවේ  සිංහාසනය ලම්බකර්ණයන් අතට පත්වීමේ කතාවක්. නාග මෞර්යයකු වූ යසලාලක තිස්ස ලම්බකර්ණයන්ගෙ සහායෙන් තම සහෝදරයා මරා රජකම ගෙන පසුව ලම්බකර්ණයන් අතින් ම මිය ගියා. ඉතිහාසයේ සුභ සහ යස තවත් ඉන්නවා. එහෙත් නැන්දණියන් සහේට ගෙන හැමෝට ම රජ වෙන්න බැහැ. ඉතිහාසය ඒ ආකරයෙන් ම නැවත සිදුවන්නේ නැහැ. යසලාලක තිස්ස රජවීම සඳහා ලම්බකර්ණයන්ගේ ආධාරයෙන් තම සොහොයුරා මරා දැම්මා. සොහොයුරාව සිංහාසනයෙන් පමණක් පහ කෙළේ නම් කුමක් සිදුවන්නට තිබිණි ද? ඉතිහාසයේ පරීක්‍ෂණ කරන්න බැහැ. ඒත් අතීත කතාව හා වර්තමාන කතාව සන්සන්දනය කරන්න  පුළුවන්.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 ජනවාරි 13