History

Tuesday, 24 January 2017

දෙමළ ජනයාට යමක් දීම

දෙමළ ජනයාට යමක් දීම

ඒකාබද්ධ විපක්‍ෂයේත් ඉන්නවා දෙමළ ජනයාට යමක් දිය යුතු යැයි පවසන අය. මේ අය යමක් දිය යුතු ය යන්නෙන් අදහස් කරන්නේ දෙමළ ජනයාට විසඳීමට ඇති ප්‍රශ්නයක් ඇති බවයි. එහෙත් අප අවුරුදු විසිපහකට වැඩි කලක් අසන දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට ඔවුන්ට පිළිතුරක් නැහැ. මට කණගාටු ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට අප අසන ප්‍රශ්නය ගැන අවබෝධයක් නැති වීම නො වෙයි. ජාතික ව්‍යාපාරයේ බොහෝ අයට ද අප අසන ප්‍රශ්නය ගැන අවබෝධයක් නැති වීමයි.


ඒකාබද්ධ විපක්‍ෂයේ පැකේජ්වාදීන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් චන්ද්‍රිකාගේ පැකේජය සඳහා සුදු නෙළුම් රැගෙන අවලම් තවලම් ගිය අය. ඔවුන් දෙමළ ජනයාට යමක් දිය යුතු යැයි පවසන්නේ ඊනියා ප්‍රශ්නය කුමක් ද යන්නවත් ප්‍රකාශ කර නො වෙයි. දෙමළ ජනයාට එවැනි ප්‍රශ්නයක් නැති කළ ඒකාබද්ධ  විපක්‍ෂයේ ඇතැමුන්ට ඊනියා ප්‍රශ්නය කුමක් ද කියා කිව නොහැකියි. එහෙත් තම පඬිකම, ඊනියා විවෘත බව, සාධාරණයට කැමති බව ආදිය ප්‍රදර්ශනය කිරීම සඳහා දෙමළ ජනයාට යමක් දීය යුතු යැයි පවසනවා.

මේ දිය යුත්ත ලෙස ඔවුන් කියන්නේ බලය විමධ්‍යගත කිරීමයි. මේ විමධ්‍යගත කරන්නේ ජනතාව සතු පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක සංරචකයයි.  මෙරට
ජනතාවගේ පරමාධිපත්‍යය එසේ විමධ්‍යගත කළ නොහැකි බව ඔවුන්ට තේරෙන්නේ නැද්ද කියන එක පැහැදිලි නැහැ. ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාදායක බලය අබමල් රේණුවකින්වත් විමධ්‍යගත කරන්න බැහැ. අප පෙන්වා දී ඇත්තේ මේ පවත්නා ව්‍යවස්ථාව පවා ඒකීය නොවන බවයි. අදත් අප ඉන්නේ සරල සන්ධීය රාජ්‍යයක.

දෙමළ ජනයාට යමක් දිය යුතුය කියන්නෙන් අදහස් කරන්නේ දැනටත් දී ඇති බලයට, එනම් දැනටත් විමධ්‍යගත කර ඇති බලයට, වඩා තවත් බලය විමධ්‍යගත කළ යුතු බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් පළාත් සභාවලට දහතුන් වැනි සංශෝධනයෙන් දී ඇති බලයට වඩා බලයක් දිය යුතු බවයි. මෙය ඉතාමත් අසතුටුදායක තත්වයක්. ඒකාබද්ධ විපක්‍ෂය අද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු ය යන්නට තම විරුද්ධත්වය නිශ්චිත ව පළ කරන්නේ නැහැ. එයට හේතුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන විසඳුමක් දිය යුතු යැයි කියන පිරිසක් එකාබද්ධ විපක්‍ෂයෙහි ඉහළ තැන්වල සිටීමයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට සහභාගි වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකුටත් අයිතියක්, වරමක් නැහැ. ඔවුන්ට ඡන්දය දුන් ජනතාව තම කැමැත්ත  දුන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නො වෙයි. අනෙක් අතට ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට නන්දිකඩාල් කලපුවේ දී දේශපාලන විසඳුමක් දුන්නා. ඒ විසඳුම අන් කිසිවක් නොව දෙමළ ජාතිවාදීන් ඉල්ලන කිසිවක් දීමට අප සූදානම් නැතැයි හමුදාමය ක්‍රියාදාමයකින් ප්‍රකාශ කිරීමයි.

දෙමළ ජනයාට යමක් දිය යුතු යැයි පවසන්නන් පළමුවෙන් ම විසඳීමට දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇති බව අප්‍රකාශිත ව වුවත් පිළිගන්නවා. එහෙත් ඒ ප්‍රශ්නය කුමක් දැයි ඔවුන් කියන්නේ නැහැ. ඒ එසේ කියන්න බැරි නිසා. එවැනි ප්‍රශ්නයක් නැහැ. එහෙත් ජනමාධ්‍ය හා අධ්‍යාපනය මගින් එවැනි ප්‍රශ්නයක් ඇතැයි ජනතාවගේ සිත්වලට කාන්දු කර තිබෙනවා. කොහොමටත් එවැනි ප්‍රශ්නයක් නැති වුවත් බලය විමධ්‍යගත කළ යුතු යැයි ඉල්ලන දෙමළ ජාතිවාදය නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණා. ඉන්පසු කිසිම බලය බෙදීමක් ගැන කතා කිරීමට බැහැ. එසේ කතා කිරීම ම තවත් පැත්තකින් මිය ගිය හා ජීවත් වන සියළු රණවිරුවන් පාවා දීමක්. කළ යුතුව ඇත්තේ නන්්දිකඩාල් ජයග්‍රහණය නෛතික ව ව්‍යවස්ථාවට ඇතුල් කර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමයි.

මෙහි තවත් පැත්තක් තිබෙනවා. මෙරට දේශපාලනය දැන් හැඩ ගැසී ඇත්තේ ඉතාමත් අහිතකර ආකාරයකටයි. අද පාර්ලිමේන්තුවට ඒමට අදහස් කරන්නන් එයට පළමුව පුහුණුවක් ලැබීමට මෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනවා. පළාත් සභාවලට යන මේ නවකයන්ට පළාත් සභා තවත් කාර්යක්‍ෂම විය යුතු ය, පළාත් සභාවලට තවත් බලය දිය යුතු ය යන අදහස සිතට එනවා. ඒ අය පාර්ලිමේන්තු මන්ත්‍රීන් බවට පත්වුවහොත් එසේ වන්නේ අර අදහස් සමගින්. ඔවුන්ට දෙමළ ජාතිවාදයක් ගැන හැඟීමක් නැහැ. ඔවුන්ට ඇත්තේ තමන් කලක් සිටි පළාත් සභාවලට තවත් බලය ලබා දිය යුතු ය යන්නයි. ඒ බලය ලැබෙන පළාත් සභා පිහිටුවන ලද්දේ දෙමළ ජාතිවාදයේ සිංහල විරෝධී ඉල්ලීමකට බව ඔවුන්ට අමතක වෙනවා. එබැවින් ඔවුන් පළාත් සභාවලට තව තවත් බලය දිය යුතු බව කියනවා. ඔවුන් පළාත් සභාවලට තව තවත් බලය දිය යුතු යැයි කියන්නේ දෙමළ ජනයාට යමක් ලබා දිය යුතු ය යන අදහසින් නොවෙයි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමෙන් අවසානයේ දී සිදුවන්නේ පණින රිලවුන්ට ඉණිමං බැඳීමක්. දෙමළ ජනයාට යමක් දිය යුතු බව කියන්නන් මේ කොටස තම දෙමළ ජාතිවාදී ඉල්ලීම ලබා ගැනීම සඳහා යොදා ගන්නවා.

අද දෙමළ ජනයාට ප්‍රශ්නයක් නැති කම ගැනත් ඊනියා විසඳුම ගැනත් නිරවුල් අවබෝධයක් බොහෝ දෙනකුට නැහැ. මනෝ ගනේෂන් පසුගිය දා කියා තිබුණා දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට බව. එය ඇත්ත. ඒ බවත් අප කියන්නේ අද ඊයේ නො වෙයි. පළාත් සභාවලට වැඩි වැඩියෙන් බලය විමධ්‍යගත කිරීමෙන්  උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට සිටින දෙමළ ජනයාට වන සෙත කුමක් ද? විසඳීමට ඔවුන්ට ප්‍රශ්නයක් නැද්ද? පළාත් සභාවලට වැඩියෙන් බලය පවරද්දී  බස්නාහිර පළාත් සභාවටත් ඒ බලය විමධ්‍යගත කිරීමෙන් ඒ පළාතේ දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? මෙයින් මනෝ ගනේෂන්ට වුවත් පැහැදිලි විය යුතු කරුණ නම් දෙමළ ජනයාට විසඳීමට ඊනියා ප්‍රශ්නයක් නොතිබූ බවයි, නොමැති බවයි.

දෙමළ ජනයාට යමක් දිය යුතු ය  කියන සිංහල මන්ත්‍රීන් මේ කරුණු ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි. එහෙත් මගේ අත්දැකීම නම් සිංහලයන් සාමාන්‍යයෙන් ප්‍රශ්න මෙලෙස විශ්ලේෂණය නොකරන බවයි. ඔවුන් ප්‍රශ්න තේරුම් ගන්නේ හදවතින් එනම් ඇඟෙන්. ඔවුන්ට ගෝචර වන්නේ ඇඟට දැනෙන දේ පමණයි. කාලයක් තිස්සේ ඊනියා උගත් සිංහලයන්ගේ සිත්වලට කා වද්දා ඇත්තේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇති බවත් එයට යම් විසඳුමක් දිය යුතු බවත්. ඒකාබද්ධ විපක්‍ෂයේ ද ඇතුළු සිංහල මන්ත්‍රීන් බොහොමයක් අයත් වන්නේ මේ ගණයටයි. ඔවුන් ප්‍රශ්නයක් ඇතැයි සිතනවා. එහෙත් ප්‍රශ්නය කුමක් දැයි අහන්නේ නැහැ. විශ්ලේෂණයක් කරන්නේ නැහැ. කණගාටුව ජාතික ව්‍යාපාරයේ බොහෝ ප්‍රධානීන්ට ද විශ්ලේෂණය ගෝචර නො වීමයි. ඔවුන් දන්නේ එක්කෝ ලේ රත් කරන කතා පැවැත්වීමට, නැත්නම් විශේලේෂණයක් යැයි සිතමින් සංඛ්‍යා ලේඛන ඇතුළු ඊනියා සාධක ඉදිරිපත් කිරීමට. 


මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා
2017 ජනවාරි 24