History

Wednesday, 4 January 2017

විල්පත්තු වන සංහාරය හා දේශපාලනඥයන්


විල්පත්තු වන සංහාරය හා දේශපාලනඥයන්

විල්පත්තු වන සංහාරය ගැන මේ දිනවල කතා කෙරෙනවා. එහෙත් මේ සියල්ල කතා පමණක් බවට පත්වෙනවා. මේ ලිපිත් එක් අතකින් ගත් විට ලිවීමට හා කියවීමට පමණක් සීමා වෙනවා. ජනතාවට ඇති බලය එන්න එන්න ම අඩුවෙනවා. දේශපාලනඥයන්ගේ බලය එන්න එන්න ම වැඩි වෙනවා. මෙය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක් බවට පත්වෙලා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ලෝකයේ කොයි රටෙත් වගේ තත්වය ඒකයි.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුණේ ම රජවරුන්ගෙන්, රදළයන්ගෙන් හා පූජකයන්ගෙන් යම් පිරිසකට බලය ලබා ගැනීමට. ඒ පිරිස ධනපති පංතිය ම කියා කියන්න බැහැ. එහි විවිධ කොටස් හිටියා. ඔවුන් අතර ධනපතියන් මෙන් ම, බුද්ධිමතුන් යැයි කියන්නන්, වෘත්තීයකයන් ආදීන් ද සිටියා. එහෙත් ජනතාව කියන අය නම් සිටියේ නැහැ. බලය ලබාගත් පිරිස බලය ලබාගත්තේ නම් ජනතාවගේ නාමයෙන්. ප්‍රංශ විප්ලවයේත් ජනතාව මැරුම් කෑවා. ඒත් ඔවුන්ට බලය නම් ලැබුණේ නැහැ.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාවට අවුරුදු තුනකට,  හතරකට, පහකට ආදී වශයෙන් වරක් තම නියොාජිතයන් යැයි කියන පිරිසක් තෝරා ගැනීමේ අයිතිය ලැබෙනවා. ඒ තෝරා ගැනෙන්නන් කියන්නේ තමන් ජනතා සේවයට ඇප කැප වී සිටින බවයි. එහෙත් ඔවුන් බොහෝ විට සේවය කරන්නේ තමන්ට හා හිතවතුන්ට. දෙමළ හා මුස්ලිම් අය නම් තම ජනවර්ගවලටත් යම් සේවයක්  කරනවා. සිංහල අය නම් සිංහලයන්ට කියා විශේෂ සේවයක් කරන්නේ නැහැ.

දේශපාලනඥයන් රටට හා ජනතාවට පොදුවේ සේවය කළ මුත් එසේ කරන්නේ නැහැ. දේශපාලනඥයන් බොහෝ විට දේශප්‍රේමීන් නො වෙයි. එහෙත් මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයන් තම ජනවර්ගප්‍රේමීන්. අද විල්පත්තුවේ සිද්ධ වෙන්නේ දේශප්‍රේමය වෙනුවට ජනවර්ගප්‍රේමය ආදේශ වීමක්. දේශපාලනඥයන් ඊනියා ජනතා සේවය සඳහා මැතිවරණ දිනිය යුතුයි. එහි දී ඔවුන් ජනතාවගේ ඡන්දය දිනාගැනීම සඳහා ජනතාව රවටනවා.

මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයන් අද ක්‍රියා කරන්නේ බලයට පත්වන ආණ්ඩුවකට එකතු වී සිංහලයන්ට හා රටට විරුද්ධව තම ජනවර්ගය විවිධ අංශවලින් පොහොසත් (ධනවත් පමණක් නො වෙයි) කිරීමට කටයුතු කිරීමයි. එහෙත් සිංහල දේශපාලනඥයන් එසේ කරන්නේ නැහැ. ජාතිවාදය ඇත්තේ දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් අතර මිස සිංහල දේශපාලනඥයන් අතර නො වෙයි. එහෙත් ජාතිවාදීන් ලෙස නම් කෙරන්නේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්.

රටට ආදරය කරන අයකු වන සංහාරයක් කරන්නේ නැහැ. සිංහල දේශපාලනඥයන් ද වන සංහාරයේ යෙදෙනවා. ඒ සිංහල ජනතාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන්. දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් වන සංහාරයෙහි යෙදෙන්නේ තම ජනවර්ගය ද වෙනුවෙන්. සිංහල දේශපාලනඥයන් හා දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් අතර මේ වෙනස දැකිය හැකියි. එහෙත් ඔවුන් අතර බලය අයුතු ලෙස යොදා ගැනීමේ දී නම්  පොදු බවකුත් තිබෙනවා.

දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් තම ජනවර්ග වෙනුවෙන් යම් ප්‍රමාණයකට හරි පෙනී සිටිනවා. රටේ ආරක්‍ෂාව පැත්තකට දමා ඔවුන් උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කරනවා. එහෙත් සිංහල දේශපාලනඥයන් රටේ සංවර්ධනය යැයි කියමින් සිංහලයන්ගේ ඉඩම් විදේශිකයන්ට පවරා දෙනවා. හම්බන්තොට සිදු වන්නේ එයයි. මෙයට ප්‍රධාන කාරණය බොහෝ සිංහල දේශපාලනඥයන් තමන් සිංහලයන් ලෙස නොසැලකීම. ඔවුන් බොහෝ වෙලාවට ඊනියා ලාංකිකයන් යන මවාගත් ජාතියකට අයත් වන බව පණ්ඩිතයන් සේ කියවනවා. සිංහල පඬියන් ද එසේමයි. සිංහලයන් අතර තරම් ඊනියා නිදහස් චින්තකයන් ලොවේ වෙනත් රටක නැතිව ඇති. මේ පඬියන් නොදන්නවාට නිදහස් චින්තකයන් සිටිය හැක්කේ මළවුන් අතර පමණයි.
 
දේශපාලනඥශයන් සියලු දෙනා ම පාහේ අයුතු ලෙස බලය යොදා ගන්නවා. ඔවුන් නීතිය නවන්නේ නැහැ. නීතිය කඩනවා. දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යන්නේ නීති සම්පාදනය කිරීමටයි. එහෙත් ඔවුන් වැඩි වශයෙන් කරන්නේ නීතිය කැඩීමයි. දේශපාලනඥයන්ට. මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට නීතිය කැඩීමට බලයක් නැහැ. එහෙත් ඔවුන් ඒ සඳහා නැති බලයක් යොදා ගන්නවා. අවශ්‍ය පරිදි නීතියට අර්ථකථන දෙනවා. නීතිය අර්ථකථනය  කිරීම අධිකරණයේ කටයුත්තක් වුවත් අද දේශපාලනඥයන් ඒ කටයුත්ත ද භාර ගෙන තිබෙනවා.

එහි දී ආණ්ඩු පක්‍ෂයේ සිටින්නන් විශේෂයෙන් ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරුන් නීතිපති දෙපාර්තමේන්තුව ද පිහිට කර ගන්නවා. නීතිපති තමන්ට අවශ්‍ය අර්ථකථන ලබා දෙන බව මේ අය දන්නවා. ඔවුන් සමහර අවස්ථාවල නීතිය කඩා නීතිපති ළඟට යනවා. මහා බැංකු බැඳුම්කර සිද්ධිය මේ සඳහා හොඳ ම උදාහරණයයි. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ දේශපාලනඥයන්ගේ බලය නැති කිරීමට හා නීතිය කඩන මන්ත්‍රීවරුන්ට දඬුවම් කිරීමට ජනතාවට අධිකරණයට යෑමට බලතල ලැබෙන ආකාරයට මිස දේශපාලනඥයන්ගේ බලය තව තවත් වැඩි කරන ආකාරයට නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්ව
2017 ජනවාරි 04