History

Thursday, 23 February 2017

අධ්‍යාපනයේ නිදහස


අධ්‍යාපනයේ නිදහස



මෙරට 1870 වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව 1921 දී . එය යුනිවර්සිටි කොලේජ් හෙවත් විශ්වවිද්‍යාල ආයතනය ලෙස හැඳින්වුණා. 1942 දී වෛද්‍ය විද්‍යාලයත් විශ්වවිද්‍යාල ආයතනයත් එක් කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළා. නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පසුව ඇති කෙරුණු නමුත් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආයතන එකකවත් නිදහස් අධ්‍යාපනයක්වත් අධ්‍යාපනයේ නිදහසවත් තිබුණේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවුණා. එකල වෛද්‍ය විද්‍යාලයට ශාස්ත්‍ර (කලා) විෂය හැදෑරුවන් ද ඇතුල් වූනා. මා අසා ඇති අන්දමට ගුණපාල මලලසේකර මහතා ද මුලින් ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට. ශාස්ත්‍ර විෂය හදාරා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ අයත් වෛද්‍යවරු වූණා. කලක් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පරීක්‍ෂණයක් පවා තිබුණේ නැහැ. ලන්ඩන් මැට්රික්‍යුලේෂන් සමත් වූවනට කොළඹ ප්‍රභූ පාසල්වල ගුරුවරුන්ගේ නිර්දේශය ඒ සඳහා ප්‍රමාණවත් වුණා.




පසුව විෂය හතරෙන් දෙකක් පමණක් ප්‍රවේශ පරීක්‍ෂණයේ දී සමත් වූවන් ද වෛද්‍ය පීඨයට ද ඇතුල් වී මහාචාර්යවරු වුණා.  බොහෝ දෙනා නොදන්නවා ට එදා අවඥාවෙන් සැලකුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් ද අද රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු වෙලා. මෙරට වෛද්‍ය පීඨයකට ඇතුල් වීමට නොහැකි ව පිටරට ගොස් වෛද්‍ය උපාධි ලැබූවන් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ඉන්නවා.  උසස් පෙළ රසායන විද්‍යාව අසමත් වී රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර දැරූ අය ද සිටිනවා. අද මහාචාර්ය තනතුරු දරණ අයගෙන් කී දෙනෙක් උසස් පෙළ පරීක්‍ෂණයේ දී ආදාළ විෂයයෙන් හෝ විෂයවලින් ඒ සාමාර්ථ ලැබුවා ද? හැත්තෑවේ දශකයේ මුල මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ උසස් පෙළට ගණිතය හදාරා නොතිබූ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන්ට ද උපාධියට ගණිතය හැදෑරීමට අවස්ථාව ලැබුණා. ඒ උපාධිධාරන්ු පසුව පරිපාලන සේවයට, අධ්‍යාපන අමාත්‍යාංශයට, පාසල්වලට පත් වී සේවය කළා. දැනුදු සේවය කරනවා. මා මේ සියල්ල සඳහන් කරන්නේ කිසිවකුටවත් අපහාස කිරීමට නොව විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උපාධිය අතර හිතන තරම් සහසම්බන්ධයක් නැති බව පෙන්වීමටයි.  



කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් අය කර ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වූ පාසල්වල ශිෂ්‍යයන්ට නොමිළේ අධ්‍යාපනය ලබා දීමට. එකලත් ඉන් පෙරත් සිංහල හා දෙමළ මාධ්‍යවලින් අධ්‍යාපනය ලත් අයට නොමිළයේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වුණා. මගේ දෙමව්පියන් සිංහල ගුරුවරුන් වුණේ පූර්ව කන්නන්ගර නිදහස් අධ්‍යාපනය නිසයි. ඒ නිදහස් අධ්‍යාපනය ඉංගිරිසින්ගේ උපක්‍රමයක්. කන්නන්ගර මහතා කෙළේ නිදහස් අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍ය පාසල්වලට ද පුළුල් කිරීමයි. ඒ මහතා ඒ සමග තවත් පියවරක් ගත්තා. ඒ අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසි පාසල්වලත් සිංහල හෝ දෙමළ හෝ බවට පත් කිරීම. මෙහි දී අවධාරණය කළ යුත්තේ  කන්නන්ගර මහතා මුදල් ගෙවා ලබන අධ්‍යාපනය අහෝසි නොකළ බවයි. එසේ  අහෝසි කළා නම් අද ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත ජෝසෆ්, ශන්ත පීතර, කාන්තා, ශාන්ත බ්‍රිජට්, බිෙ’ෂාප් ආදී පාසල් තියෙන්න බැහැ. කන්නන්ගර නිදහස් අධ්‍යාපනයේ අරමුණ වූයේ නැති බැරි අයට මුදල් නොගෙවා (ඉංගිරිසි මාධ්‍ය) අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම මිස හැකි අයකුට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව නැති කිරීම නො වෙයි.



කෙසේ වෙතත් කන්නන්ගර මහතා ද අධ්‍යාපනයේ නිදහස ලබා දුන්නේ නැහැ. එය ඒ මහතාගේ වරදක් නො වෙයි. එදත් අදත් ඇත්තේ බටහිර අධ්‍යාපන ආධිපත්‍යයයි. අවුරුදු විසිපහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ව සිටි ජී එල්  පීරිස් මගෙන් ජාතික චින්තනය උගන්වන්නේ දැයි ඇසුවේ මා ඒ ආධිපත්‍යයට යට නොවූ බැවින්. ප්‍රාඥයකු, බුද්ධිමතකු නොවූ  මට බටහිර අධ්‍යාපන ආධිපත්‍යයට යට නොවී සිටීමට හැකි වුණා. එහෙත් විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණා. අදත් පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වෙන්නේ විජාතික දැනුමක්. අපට ජාතික දැනුමක් ඉගෙනීමට ඉගැන්වීමට නිදහසක් නැහැ. පෙරටුගාමීන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් හුදු අනුකාරකයන් ම  පමණක් වෙනවා. සිංහල වෙදකම ගැන ඔවුන් කතා කරන්නේ නැහැ.



සිංහල වෙදකම අද ආයුර්වේදයේ නොවැදගත් පොඩි කොටසක් වෙලා. බටහිර අච්චුවේ අධ්‍යාපන ක්‍රමයක සිංහල වෙදකම උගන්වන්න පුළුවන් ද? සිංහල වෙදකම ඉගැන්වීම වෙනුවෙන් අන්තරේ පෙළපාලි යන්නේ නැහැ, උද්ඝෝෂණ කරන්නේ නැහැ. අන්තරේ හාමුදුරුවරුනුත් බටහිර වෙදකම වෙනුවෙන් කඳුළු ගැස් වළඳනවා, අධි පීඩන ජලය ස්නානය කරනවා. අපේ ඇතැම් හාමුදුරුවරුන් ද සුද්දට කොතරම් හොඳින් සලකනව ද? උන්වහන්සේලා කියාවි මේ ජනතාව වෙනුවෙන් පාරමී දම් පිරීමක් කියා. ඒත් ඒ අතර සිංහල වෙදකම ගැනත් මොනවා හරි පිරුවා නම් නරක ද? අද නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් පෙළපාලි යන ඊනියා පෙරටුගාමීන් අධ්‍යාපනයේ නිදහස ගැන කතා කිරීමේ දී පසුගාමීන් වන්නේ ඇයි?









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                           

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 23