History

Friday, 3 February 2017

කලින් පැමිණියේ සිංහලයන් ද  දෙමළ ජනයා ද


කලින් පැමිණියේ සිංහලයන් ද  දෙමළ ජනයා ද



අවුරුදු හතළිස් හතකට පමණ පෙර සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ පශ්චාත් උපාධිය සඳහා කටයුතු කරද්දී එහි සිටි තවත් පශ්චාත් උපාධි ශිෂ්‍යයකු වූ ජෝන් වීලර් මගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඔහු වාමාංශික අදහස් දැරුවෙක්. මා ඒ දිනවල බිරිතානි කම්කරු පක්‍ෂයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ශාඛාවේ වැඩවලටත් සහභාගි වූවා. ඒ ශාඛාවේ දේශපාලනය මෙහෙයවනු ලැබුයේ ඊනියා හතරවැනි ජාත්‍යන්තරයේ ටෙඩ් ග්‍රාන්ට්ගේ අනුගාමිකයකු වූ ඇලන් වුඩ්ස් විසින්. ජෝන්ටත් ඇලන් ඇතුලු සසෙක්ස්හි ඇතැම් කම්කරු පක්‍ෂ ක්‍රියාකාරීන්ටත් තිබූ ප්‍රශ්නයක් වූයේ ලංකාවට වඩාත් සමීප වූ වත්මන් තමිල්නාඩුවේ සිට දෙමළ ජනයා පැමීණීමට පෙර ඈතින් වූ බෙංගාලයේ සිට සිංහලයන් පැමිණියේ කෙසේ ද යන්නයි. ජෝන් පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු ලෙස සේවයට ගියා. අවාසනාවකට ඔහු අකාලයේ මිය ගියා. ඇලන් වෙනිසියුලාවේ වාමාංශික චාවේස් ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වූවා. ටෙඩ් ග්‍රාන්ට් නව සමසමාජ පක්‍ෂයේ සම්මේලනයකට පැමිණ වීසා කාලය ද ඉක්මවා ටික දිනක් අපේ ගෙදර රැඳී සිටියා. මා මේ සියල්ල සඳහන් කෙළේ මගේ මාක්ස්වාදී අතීතයත් සාමාන්‍යයෙන් වාමාංශිකයන් සිතන ආකාරයත් ගැන කීමටයි.




මගෙන් ඇසූ ප්‍රශ්නයට මට එකල පිළිතුරක් තිබුණේ නැහැ. දැනුත් ඒ ප්‍රශ්නය සමහරු අසනවා. එය වැදගත් යැයි පෙනෙන ප්‍රශ්නයක්. ඒත් ඒක වැරදි ප්‍රශ්නයක්. සිංහලයන් පැමිණියේ බෙංගාලයෙන් (වංගයෙන්) නො වෙයි. ලංකාවට පැමිණෙන්න  සිංහලයන් බෙංගාලයේ හිටියේ නැහැ. කිසි දිනෙක සිට නැහැ. අදත් නැහැ. බෙංගාලයේ සිංහලයන් නොව සිංහල කතාකරන ජනයාවත් කිසි දිනෙක සිටියේ නැහැ. විජය කියා තැනැත්තෙක් වංගයේ හෝ ලාට රටේ හෝ සිට මෙහි පැමිණෙන්න ඇති. ඔහු සමග පිරිසක් ද එන්න ඇති. ඒත් ඔහු සිංහලයෙක් නො වෙයි. ඔහුවත් ඔහුගෙ පිරිසෙ කවුරුන්වත් සිංහල කතා කළේ නැහැ. සිංහල කතා කරන්න ඔවුන් දැන සිටි සිංහලක් නැහැ.



විජය හා පිරිස මේ රටට එනකොට මෙරට සිටියේ යක්‍ෂ නාග රාක්‍ෂස ව්‍යාධ ආදී ජනයා. යක්‍ෂ නාග ජනතාව හෙළ කියලා හඳුන්වන්න පුළුවන්. මේ අය කතා කෙළෙ හෙළ බස. එය මූල සිංහලය කියලා හඳුන්වන්නත් පුළුවන්. විජය හා පිරිස විතරක් නොවෙයි තවත් අය පසු කලෙක වංගයෙන් විතරක් නොවෙයි කාලිංගයෙන් ලාට රටෙන් පාණ්ඩ්‍ය දේශයෙන්, චේර දේශයෙන් හා තවත් ප්‍රදේශවලින්  මෙරටට පැමිණ තිබෙනවා. ඉතිහාසයේ සඳහන් නූනත් බොහෝ විට එයට පෙරත් එන්න ඇති. පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලයෙ මේ සියල්ලන් එකතු කර අනුරාධපුරයේ සිංහල ජාතිය ගොඩ නැගීම ඇරඹුනා. ඒ අතර මාගමත් යම් යම් දේ සිදු වුනා. නාග රජවරුන් වූ කාවන්තිස්ස රජු වැන්නන් අර්ධ නාගයන් වූ විහාර මහා දේවි, ඒ වගේ ම ශාක්‍යයන් ඇතුලු අය මිශ්‍ර වී මාගම සිංහල ජාතියක් ගොඩ නැගීම ඇරඹුනා. මේ රාජ්‍යය එසේ ගොඩ නැගෙන අතර අනුරාධපුර බොහෝ දේ සිදුවුනා. සේන ගුත්තික අශ්ව වෙළෙන්දන් නගරය අල්ලා ගත්තා. ඔවුන් දෙමළවත් ද්‍රවිඩවත් නො වෙයි. අශ්ව වෙළෙඳාමක් එකල වත්මන් තමිල්නාඩුවේත් කේරළයේවත් තිබුණේ නැහැ. අදත් එහි අශ්වයන් නැහැ.



මුටසීව රජුගෙන් පසු  දේවානම්පිය තිස්ස රජවුනා. එහෙත් ඔහු මුටසීව රජුගේ දෙටු පුතා නො වෙයි. ඔහුට අශෝක රජු සමග සම්බන්ධයක් තිබුණා. මිහිඳු හිමියන්ගෙන් පසු මෙරටට අශෝක සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවා. පසුව එළාර නම් අයකු අනුරාධ පුරයේ රජවුනා. ඔහු ද්‍රවිඩ නො වෙයි. ඔහු ක්‍ෂත්‍රියයෙක්. ඔහුට බොහෝ විට පර්සියානු සම්භවයක් තියෙන්න ඇති. පර්සියාව වත්මනයේ හැඳින්වෙන්නේ ඉරානය කියායි. එදා පර්සියාව මුස්ලිම් නො වෙයි. එකල මහමත්තුමා ඉපදිලාවත් නැහැ. වත්මන් ඉරානය නම් මුස්ලිම්. ද්‍රවිඩ ක්‍ෂත්‍රියයන් හිටියේ නැහැ. බ්‍රාහ්මණ සංස්කෘතියේ ද්‍රවිඩයන් සැලකුණේ ශුද්‍රයන් ලෙසයි. අදත් එසේමයි. මෙරටට ගෙන ආ වෙල්ලාලයන් ද සැලකෙන්නේ ශුද්‍රයන් ලෙස.



ගැමුණු කුමරු එළාරට විරුද්ධව සේනා සංවිධානය කළා. ඔහුට පණ්ඩුකාභය රජතුමාට මෙන් ම යක්‍ෂ ජනතාවගෙන් සහාය ලැබුණා. වාළමුඛී හා කොත්මලේ සිද්ධි සලකන්න. එළාර තිස්ස කුමරුට ආධාර කළ බව හෝ ඔහු නොමග යැවූ බව හෝ පෙනෙන්ත තියෙනවා. ගැමුණු දුටුගැමුණු වූයේත් තිස්ස සද්ධාතිස්ස වූයේත් එළාරගේ මෙහෙයවීමෙන් වෙන්න පුළුවන්. මහින්ද හොරා වන්නේත් රනිල් ක්ලීන් වන්නේත් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ බලපෑමෙන්. ගැමුණු කුමරුට පළමුව තිස්සට විරුද්ධව සටන් කරන්න සිද්ධ වුනා. පසුව ගැමුණු රජු එළාර පරාජය කරල මාගම හා අනුරාධපුරය එකතු කරල පළමු වරට රට එක්සේසත් කළා. අපේ ඒකීය රාජ්‍යය වෙනත් අරුතකින් නමුත් එදා පටන් ගත්තා. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටෙවුවා. ඒ රාජ්‍යය 1815 වන තුරු විවිධ නගර අගනුවර කර ගනිමින් පැවතුණා. ඒ තමයි ඉතා කෙටියෙන් සිංහලයන්ගෙ කතාව. සිංහල ජාතිය මෙරට ම ඇතිවූවක්. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ම බිහිවූවක්. විජය සිංහල නො වෙයි. කුවේණි නම් මූල සිංහල. ලංකාව සිංහලයන්ගෙ නිජභූමිය.



මෙරටට පාණ්ඩ්‍ය හා චේරයන් නම් කලක සිට පැමිණ තිබෙනවා. ඔවුන් මෙරට බින්න බැස්සා නම් ඒ සිංහල වීමෙන්. පසු කලෙක සොළින් ද පැමිණ තිබෙනවා. ඒ ආක්‍රමණිකයන් ලෙස. ඔවුනුත් දෙමළ නො වෙයි. ඔවුන් දෙමළ කතාකළ ජනතාවක් මිස දෙමළ ජනවර්ගයක් නො වෙයි. සොළී කියන වාංශික රජවරුන් ඇතිවුනේ දෙවැනි සියවසෙන් පසුව. වත්මන් ඉන්දියාවේ දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් ඇති වුනේ දහනවවැනි සියවසේ මුල් භාගයේ. එබැවින් මෙරට සිංහල ජාතිය ඇතිවීමට පෙර දෙමළ ජනයා මෙරටට ඒමට හැකියාවක් නැහැ. ජෝන්ගේ ප්‍රශ්නයට පිළිතුර එයයි. එහෙත් එකල මා ඒ පිළිතුර දැන සිටියේ නැහැ. දැනගැනීමට වුවමනාවක් තිබුණෙත් නැහැ. මා එකල මාක්ස්වාදියෙක්.



ජෝන් වැන්නන්ගේ ප්‍රශ්නවලට හේතුව සිංහලයන් විජයගෙන් පැවතෙන්නන් ලෙසට ඇති මතයයි. එය මුළුමනින් ම වැරදියි. අපේ ඉතිහාසයේ යක්‍ෂ නාග, විශේෂයෙන් ම යක්‍ෂ ජනතාවට දිය යුතු වැදගත්කම දී නැහැ. යක්‍ෂ ඉතිහාසය අමතක කරවීමට අදත් ඇතැමුන් උත්සාහ ගන්නවා. ඔවුන් එමගින් ඉන්දියාවට නැති තැනක් දෙනවා. රනිල් තපස්සු භල්ලුක ගැන කියෙවුවත් තවමත් විජය ගැන කිවුවේ නැහැ. ඔහු තමන්ට ම ආවේණික වූ තර්ක යොදා ගනිමින් කියන්න බැරි නැහැ එට්කා ගිවිසුමට විරුද්ධ නම් අප ඉන්දියාවෙන් පැමිණි සිංහලයන්ට ද විරුද්ධ විය යුතු ය කියා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

  

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 03