History

Tuesday, 14 March 2017

දහතුනේ ප්‍රශ්නය


දහතුනේ ප්‍රශ්නය



තමන් සේවය කරන්නේ යැයි කියන ජනතාවට කරදර කරමින් පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණ පෙළපාලි, හාමුදුරුවරුන්ගේ පහරදීම් හා සෘද්ධිවීම්, පොලිසියේ ද දරුවන් වෙනුවෙන් අන්තරේ දරුවන් පොලීසියට කරන තර්ජන ආදිය රූපවාහිනී නාළිකාවලින් බලන විට මේ උද්ඝෝෂකයන් පිටුපස සිටින පෙරටුගාමීන් මතක් නොවන්නේ නම් පුදුමයක්. පෙරටුගාමීන්ගේ නායකයා කුමාර් ගුණරත්නම්. ඔහු තම ඕස්ත්‍රේලියානු පුරවැසිකම ආපසු දී ලංකාවේ පුරවැසිකම ලබා ගත්තා ද නැද්ද කියන එක තවම වාර්තා වෙලා නැහැ.  ඔහු ජාතිකවාදියකු කියලා පුබුදු ජාගොඩවත් කියන එකක් නැහැ. එහෙත් කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් ලංකාවේ ආසියාතික කියුබාවක් බිහිකිරීම වියත්මග වෙනුවෙන් පෙනී සිටින දයාන් ජයතිලකගේ  (මාර්තු 13 දි අයිලන්ඩ් බලන්න) ප්‍රාර්ථනයයි. ගෝඨාභය රාජපක්‍ෂ හා වියත්මගවත් මහින්ද රාජපක්‍ෂවත් දයාන්ගේ ප්‍රාර්ථනය වෙනුවෙන් බාරහාර වෙනවා කියා සිතන්න බැහැ.




කොහොමටත් මේ කුමාර් ගුණරත්නම්ගෙ ගැටවුන් හා ගැටිස්සියන් ව්‍යවස්ථාවක් ඇති කිරීමට විරුද්ධව පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි කියලා දයාන්ට හරි වෙන කාට හරි කියලා දෙන්න පුළුවන් ද? අර සෘද්ධියෙන් තාප්ප උඩින් වැඩම කරන හාමුදුරුවරුන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පෙළපාලි වඩින්නෙවත් පෙළහර පාන්නෙවත් නැත්තෙ බුදුහාමුදුරුවන් එහෙම දේශනා කරළා නැති නිසා ද කුමාර් ගුණරත්නම්ගෙ දයලෙක්තිකයට ඒක අහුවෙන්නෙ නැති නිසා ද? කුමාර් ගුණරත්නම් ආසියාවෙ කියුබාව බිහිකළා ම කම්කරු පංති ආඥාදායකත්වය පිහිටෙවුව ම දහතුන අහෝසි වෙයි ද?



කුමාර් ගුණරත්නම්ට ජාතිකත්වයක් නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එයා  පංති සටන්කාමියෙක්. ඒ පංතිය මාක්ස්ගෙ කම්කරු පංතිය ද එහෙම නැත්නම් විජේවීරගෙ නිර්ධන පංතිය ද? අර පංති පහට වැඩම කර ඇති රතන හාමුදුරුවන්ට ඒ ගැන මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්න පුළුවන් වෙයි ද? ජාතිකත්වයක් ගැන කතාකරන ජාතිකවාදීන් ඉහත සඳහන් කරුණු ගැන තම අවධානය යොමු කළ යුත්තේ මෙරට සංස්කෘතිය නොහඳුනන්නන්ට වැදගත්කමක් දී අවසානයේ දී අනාථවීමෙන් වැළකී සිටීමටයි.



අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සයිටම්වත්, බැඳුම්කරයවත්, වැට් බද්දවත්, මහින්දගේ ණයවත් නොව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ ප්‍රශ්නයකට දුන් විසඳුමක් නො වෙයි. නැති ප්‍රශ්නයකට දුන් ඊනියා විසඳුමක්. බටහිරයන් මේ ආණ්ඩුව පත්කර ගත්තේ ම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුගමනය කරමින් තවත් ඉදිරියට ගොස් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. වෙනත් වචනවලින් කියනවා නම් අද පවත්නා සරල සංධීය (ෆෙඩරල්) රාජ්‍යය වෙනුවට රට බෙදීමට මග සලසන සහසංධීය (කොන්ෆෙඩරේෂන්) රාජ්‍යයක් ඇති කිරීමටයි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන් ම නව ව්‍යවස්ථාවත් ඊනියා සංහිඳියාවක් සඳහා දෙමළ ජනතාවගේ ඊනියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරෙන්නක්. අද සූදානම් වන්නේ සංධීය රාජ්‍යයක් බිහිකිරීමට නොව රාජ්‍යයේ සංධීයභාවය තව තවත් තර කිරීමටයි.



මෙය නවත්වන්නේ කෙසේ ද? මෙය නැවැත්වීමට කටයුතු කරන්නේ කවු ද? අප මේ සම්බන්ධයෙන් ලියා ඇති ලිපි සංඛ්‍යාව සිය ගණනක්. පවත්වා ඇති සම්මන්ත්‍රණත් රාශියක්. 1987 සිට ම ඒ ගැන කතා කරනවා, ලියනවා. 1987 කාලය සඟරාව (වෙබ් අඩවිය නොවෙයි) පටන් ගත්තේ ම ඉන්දු ලංකා ගිවිසුමට හා සංධීය රාජ්‍යයක් ඇති කිරීමට විරුද්ධව. චන්ද්‍රිකාගේ පැකේජය ගෙනාවේත් සංධීය රාජ්‍යය තවත් තර කිරීමට. දැන් ඉන්න තරුණ තරුණියන් දන්නේ නැති වුවත් පැකේජයට විරුද්ධව කළුතර සිට කතරගමට ගිය පාගමන්, රිය පෙරහැර පමණක් නොව මුහුදින් කිරින්දට සංවිධානය කෙරුණු බෝට්ටු චාරිකාත්  රටවටා ගොස් පැවැත්වූ සම්මන්ත්‍රණ ගැනත් සඳහන් කළ යුතුයි. අද ස්මාට් දේශප්‍රේමයක් ගැන කියන්නන් එදා වර්ධරාජපෙරුමාල්ගේ උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඇමතිකම් දැරුවේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් නො වෙයි.



ඉන්පසු දේශපාලනඥයන් මෙන් ම ඊනියා දේශපාලන විද්‍යාඥයන් ද ප්‍රභාකරන් අනභිබවනීය යැයි කියද්දී දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳීම සඳහා සාකච්ඡා මගින් දේශපාලන විසඳුමක් (ඒ අන් කිසිවක් නොව තව තවත් සංධීය) දිය යුතු යැයි පවසද්දී ඊනියා දේශපාලන විද්‍යාඥයන්ගේ රාජ්‍ය නොවන පඬියන්ගේ සිවල් සාමාජිකයන්ගේ අවඥාවට ලක්වෙමින් කොටි සංවිධානය පරාජය කළ යුතු බව හා කළ හැකි බව අප පැවසුවා. අනූවේ දශකයේ මුල අප කිහිප දෙනකු තිලක් කරුණාරත්න සමග ආරම්භ කළ ලක්මිණ පුවත්පතෙහි අප කොටි පරාජය කළ යුතු යැයි කියද්දී එයට ලිපි සැපයූ ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, චම්පක රණවක මෙන්ම නිල කතෘ ලෙස කටයුතු කළ අය එයට විරුද්ධ වුණා. ඔවුන් සියළු දෙනා එකතු වී මා හා ගෙවිඳු කුමාරතුංගත් තවත් කිහිප දෙනකුත් පුවත්පතෙන් නෙරපා දැමුවා. ගෙවිඳු අද ඊයේ නොව අසූවේ දශකයේ සිට ම සංධීය විරෝධියෙක්.



අප ඊනියා දේශපාලන විසඳුමකට විරුද්ධ වූයේ ජී එල් පීරිස්ලා ඩලස් අලහප්පෙරුමලා මංගල සමරවීර සමග පැකේජය වෙනුවෙන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් යද්දී. ජනවාරි අටවැනි දා මහින්ද පැරදීමෙන් පසු මාස දෙකක් පමණ යන තුරු ජී එල් හා ඩලස් සිටියේ කොහේ ද කියා මහින්ද දැන් කියන එකක් නැහැ. එහෙත් ඒ දිනවල නම් මහින්දට ඔවුන් දුරකථනයටවත් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූවා. මා මේ කරුණු කියන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රශ්න ඇති කිරීමට නොව සංධීය රාජ්‍යයට විරුද්ධ කවු ද පක්‍ෂ කවු ද යන්න දැන ගැනීමටයි. අද ඒකාබද්ධ විපක්‍ෂයේ බලය ඇත්තේ කාහට ද බලය ලබාගන්න උත්සාහ කරන්නේ කවුද කියන ප්‍රශ්න මතුකරන්න වෙනවා. සංධීය රාජ්‍යය පරාජය කිරීමට ඒ සියල්ල දැන සිටිය යුතුයි.



අප අදත් අපට හැකි අන්දමට සංධීය රාජ්‍යයට විරුද්ධව සම්මන්ත්‍රණ පවත්වනවා.  මේ වෙබ් අඩවියේ ලිපි පළ කරනවා. එහෙත් ජනමාධ්‍යවල ඉන්න ප්‍රබුද්ධයන් අපට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. පසුගිය සෙනසුරාදා බෙලිඅත්තේ පැවති සම්මන්ත්‍රණයක් වාර්තා කිරීමට පැමිණි සියලු මාධ්‍යවේදීන් මගේ කතාව පටන්ගැනීමට ඔන්න මෙන්න කියා තිබිය දී පිට වී ගියා. ඒ ඒ ජනමාධ්‍ය ඒ ඒ අයට ප්‍රචාරය දෙනවා. ජමාධ්‍යවලට අනුව අප අප්‍රබුද්ධයන්. බොහෝ ජාතික සංවධාන අපට දේශනයකට ආරාධනා කරන්නේ නැහැ. ඒ කුමක් වුවත් පඬියන් ඊනියා දේශපාලන විද්‍යාඥයන් බොරු කරමින් මහින්ද ගෝඨභයගේ උපකාරයෙන් කොටි පරාජය කිරීමට නායත්වය දුන්නා. ඒ අප පෞද්ගලිකවත් ලබා ගත් ජයග්‍රහණයක්.



දහතුනෙන් හෝ නව ව්‍යවස්ථාවකින් හෝ විසඳන්න ප්‍රශ්නයක් මේ රටේ නැහැ. ප්‍රශ්නයක් තිබේ යැයි කියන අය අවසාන විග්‍රහයෙහි දී සංධීය රාජ්‍යයකට පක්‍ෂ වෙනවා. අද තිබෙන්නේත් සරල නමුත් සංධීය රාජ්‍යයක්. දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙනවා යැයි කියන අය ප්‍රශ්නය කුමක් දැයි කියනවා ද? (මතු සම්බන්ධයි)





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org                            

නලින් ද සිල්වා

2017 මාර්තු 14