History

Monday, 10 April 2017

නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද  


නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද



අද බක් පුූර පසළොස්වක දිනය. බොහෝ පන්සල්වල බණට අද බුදුන් වහන්සේ ලක්දිවට දෙවැනි වරට වැඩම කළ දිනය ලෙස සඳහන් කරාවි. පුවත්පත්වල ද ඒ බව සඳහන් වේවි. රූපවාහිනි නාළිකාවල ප්‍රවෘත්ති ප්‍රචාරවල ද ඒ බව කියැවේවි. එහෙත් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කෙළේ බක් මස අමාවක දිනයේ බවයි මහාවංසයේ සඳහන් වෙන්නේ. මේ කරුණ අවුරුදු දහසයකට පෙර සිංහල අවුරුද්ද  කෘතියට මා ලියූ පෙරවදනෙහි සඳහන් කර ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් වූ බවක් පෙනෙන්නේ නැහැ. මේ ලිපියටත් එවැනි ම ඉරණමක් අත්වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි.




බුදුන් වහන්සේ අනෙක් දෙවතාවෙහි ම ලක්දිවට වැඩම කර ඇත්තේ පුර පසළොස්වක දිනවල. එබැවින් බක් මාසයේත් වැඩම කෙළේ පුර පසළොස්වක දිනයක කියා සිතීමට පෙළඹීම සාමාන්‍ය දෙයක් වන්නට පුළුවන්. එහෙත් මහාවංසය බක් අමාවක ගැන ලියා ඇත්තේ ඇයි? මේ කරුණු කියවපු විගස ඇතැමකු මට බැණ වැදී ලිපි එවන්න පුළුවන් බුදුන් වහන්සේ වැඩ සිටියේ මෙරට බව මා තවම දන්නේ නැත් ද කියා. තවත් සමහරු මුහුණුපොතේ විවිධ ප්‍රතිචාර දක්වාවි.



මුහුණුපොත ඉතා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිසිවකුට කියන්න පුළුවන්. එහි ඕනෑම අයකුට ඕනෑම ප්‍රතිචාරයක් දැක්විය හැකියි. එහෙත් ප්‍රතිචාර දක්වන්නේ කල්පනා කිරීමෙන් පසුව නො වෙයි. තමා දන්නේ යැයි සිතන කරුණක් අනෙක් අයට හැකි ඉක්මණින් දැනගන්නට සැලැස්වීමට මුහුණුපොත යොදා ගන්න පුළුවන්. මුහුණුපොතේ තරුණයන් කල්පනා නොකර ප්‍රතිචාර දක්වනවා. උගතුන් යැයි කියන අය කල්පනා කරන බවක් පෙන්වා කල්පනා කරන්නේ නැහැ. කල්පනා නොකර ම කල්පනා කළ දේ උගතුන්ගේ ලිපිවල දැකගන්න පුළුවන්. 



බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කෙළේ අමාවක දිනක ද පුර පසළොස්වක දිනක ද යන්න එතරම් වැදගත් කරුණක් නොවන බව ඇතැමුන් කියන්න පුළුවන්. සයිටම් ප්‍රශ්නය, බැඳුම්කර ප්‍රශ්නය, වැට් ප්‍රශ්නය, ජීවන වියදම් ප්‍රශ්නය ආදිය සමග සංසන්දනය කරද්දී නාගදීපයට කවදා වැඩිය ම මොකද කියලා අහන්නත් ඉඩ තියෙනවා. එදා චූලෝදර මහෝදරගේ ප්‍රශ්නයකට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය නම් අද වගේ කාලෙක නම් බුදුන් වහන්සේට හැමදාමත් මේ රටේ වැඩ විසීමට සිදු වේවි. මා අවධාරණය කළ යුතුයි බුදුන් වහන්සේ මෙරට වැඩ සිටියේ ය යන්න නිගමනය කිරීමට මට සාධක නැති නමුත් උන්වහන්සේ දඹදිව අසවල් අසවල් තැන්වල බුද්ධත්වය ලැබූ බව, පිරිනිවන් පෑ බව ආදිය කීම සඳහා අශෝක රජු ඉදි කර ඇති ලිපි පිළිගැනීමත් පරස්පරවලින් තොරව කළ නොහැකි බවත්.



මේ දිනවල සූර්යයා ඉන්නේ රේවති නැකතෙයි. තව ටික දිනකින් අස්විද නැකතට යනවා. අමාවක දිනවල නම් සූර්යයා ඉන්න ඇත්තේ උත්‍රපටුප නැකතෙයි. ඊට කලින් පුවපුටුප නැකතෙ. මේ පුව උත්තර සහිත නැකැත් කිහිපයක් තියෙනවා. පුවසල, උත්‍රසල, පුවපල්, උත්‍රපල්, සහ පුවපුටුප, උත්‍රපටුප. අවසානයේ නැකැත්වල පමණක් පුටුප පටුප වෙලා තියෙනවා. ඉතිරි නැකැත්වල එහෙම වෙනසක් දකින්නට නැහැ. මේ පුව උත්‍ර කතා ඉරේ ගමන එක්ක සම්බන්ධයි.



අපේ මාස (මා යනු හඳට නමකි) චන්ද්‍රයා සමග සම්බන්ධ වුවත් (ඉංගිරිසි මන්ත් යන්න ද මූන් සමග සම්බන්ධය) අපට ඉර අමතක වූයේ නැහැ. ඉර හඳ දෙක ම අපේ සංකේත. පොළොවට සාපේක්‍ෂව ඉර යන ගමනේ උත්තරායනය සිදු වන්නේ දෙසැම්බර් විසි එක. ඒ තෛපොංගල්වලට කලින්. තෛපොංගල් ඇත්තේ ජනවාරි දහහතර ඒ තමයි අද හින්දු දින දර්ශනයේ පළමු මාසය. අප්‍රේල් දහහතර කියන්නෙ හතරවැනි මාසය ලබන දිනය. එහි ඇති අවුරුද්දක් නැහැ. දෙමළ ජනයා සිංහලයන් මෙන් අවුරුද්ද පවත්වන්නේ නැති බව යාපනයට නොවෙයි වැල්ලවත්තට ගියත් දැකගන්න පුළුවන්.



පුන්‍යකාලය කියන එක සිංහල සංකල්පයක්. එය යාපන දෙමළ ජනයා අතර පුන්‍යකාලම් කියා යම්තමට තිබුණත් තමිල්නාඩුවේ පුන්‍යකාලමක් නැහැ. යාපනයේත් පුන්‍යකාලම් ඇත්තේ සිංහල ආභාසයෙන්. ඔවුන්ට එය සිංහලයන්ට තරම් වැදගත් නැහැ. අපට සිතීමට පුරුදු කර ඇත්තේ අප බටහිරයන් පැමිණීමට පෙර සියල්ල වෛදිකයන්ගෙන් ගත් බව. එහෙත් අපෙන් වෛදිකයන් ගත් දේ ගැන අප සිතන්නේ නැහැ. වෛදිකයන්ට මේ කිසිවක් ගැන එතරම් දැනීමක් නොතිබූ බව පැහැදිලියි. එහෙත් මුල සිංහලයන් ඒ පිලිබඳ දැන සිටි බවට අපේ නැකැත් පද්ධතිය ම ප්‍රබල සාධකයක්. දෙසැම්බර් විසිඑක ඉර ඇත්තේ මුල නැකතේ. උත්තරායනය මුල නැකතේ සිදුවීම කෙතරම් අපූරු ද?



ඉරේ ගමනේ තවත් වැදගත් දිනයක් වූ මාර්තු විසිඑක ඉර ඇත්තේ උත්‍රපටුප නැකතෙහි. සැප්තැම්බර් විසි එක ඉර ඇත්තේ උත්‍රපල් නැකතෙහි. මේ දින දෙක ඉර සමකය පසුකර පිළිවෙළින් උතුරට හා දකුණට යන දවස්. අප මේ කරුණු ගැන එතරම් සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉර යනවා ද පිස්සු ද කියා ඇසීම නම් පිස්සු වැඩක් වෙන්න පුළුවන්.



ඒ කොහොම වුණත් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම බක් මස අමාවක දිනයක සිදුවීම වැදගත්. මා ඉරිදා රිවිර ලිපියෙහි ද සිංහල අවුරුද්දට ලියූ පෙරවදනෙහි ද රොබෙයිරෝගේ කියමනක් ගැන සඳහන් කළා. ඔහු කියන්නේ බුදුන් වහන්සේ් නාගදීපයට වැඩම කිරීම සම්බන්ධවයි. අපට නකත් හෙවත් නැකැත් ලබා දුන්නේ  නක හෙවත් නාගයන්. අදත් අප නකතියන් ගැන කතා කරනවා. සිංහල මාස පටන්ගන්නේ අමාවකින් මිස පසළොස්වකින් නො වෙයි. සිංහල අවුරුද්ද ඇරඹෙන්නේ ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීමත් සමග. මෙතන කල්පනා කරන්න පුළුවන් අයකුට කල්පනා කරන්න බොහෝ දේ තිබෙනවා. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 10