History

Monday, 24 April 2017

බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ  


බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ



ඇතැමුන්ට අනුව බුදුදහමෙහි දැනුම ලබා ගැනීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සංජානනය. අනෙක අනුමානය. මේ දෙකම බටහිරයන් දුටු බුදුදහමක් සිංහලට පරිවර්තනය කිරීමේ දී යොදා ගත්  වචන. ඉංගිරිසියෙන් මේවා පර්සෙප්ෂන් හා ඉන්ෆරන්ස්. සංජානන කියන්නේ බාහිර වස්තුවලින් අපේ පංචෙන්ද්‍රියවලට ලැබෙන ඊනියා වාස්තවික ගුණ නිසා හටගන්නා දේ. මේ සංජානන සංකල්පවලින් තොරව හටගන්නා බවයි බටහිර දැනුමේ කියැවෙන්නේ. බර්ට්‍රන්ඩ් රසල් මේ සංජානන සංකල්පවලින් තොරව පවතින බව විශ්වාස කළා. ඔහු නිල් බව යන්න එවැනි වාස්තවික ගුණයක් ලෙස හැඳින්වුවා.




ඒහෙත් නිල් බව යන්න සංකල්පයකින් තොරව පවතින්නේ නැහැ. බටහිර භෞතික විද්‍යාව අනුව බැලුවත් නිල් බව යන්න නිරීක්‍ෂකයාට සාපේක්‍ෂයි. අද බටහිර විශ්වවේදය අනුව ඈත ඈත තිබෙන මන්දාකිණිවලින් අප වෙත ලැබෙන විද්‍යුත් චුම්බක කිරණ රක්ත වික්‍ෂිප්තයකට බඳුන් වෙනවා. වෙනත් වචනවලින් කිවහොත් ඈත ඈත මන්දාකිණියෙකින් එහි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව නිකුත් වන නිල් ආලෝකය අප වෙත ළඟා වීමේ දී රතු ආලෝකය ලෙස දිස්වන්න පුළුවන්. ආලෝකය රතු පැත්තට වෙනස් වෙලා. මේ සංසිද්ධිය රක්ත වික්‍ෂිප්තය (රෙඩ් ෂිෆ්ට්) ලෙස හැඳින්වෙනවා. එය විශ්වයේ ප්‍රසාරණය නිසා ඇතිවන්නක් ලෙසයි බටහිර විශ්වවේදයේ ඉගැන්වෙන්නේ. මෙය එහෙට නිල් අපට රතු ලෙස සරලව කියන්න පුළුවන්. එවිට නිල් බව තියෙන්නේ කොහේ ද? නිරීක්‍ෂකයාගෙන් තොර නිල් බවක් නැහැ. මා මේ යමක් පෙන්වීමට බටහිර විද්‍යාව යොදා ගන්නවා නොවෙයි. බටහිර දැනුමේ ම ඇති පරස්පර පෙන්වනවා පමණයි. 

.
මේ සංජානනය යන්න අපට නුහුරු සංකල්පයක්. සංජානන ඇති වෙන්න නම් බටහිර දර්ශනයට අනුව පළමුවෙන් අපෙන් තොර ලෝකයක් පවතින්න ඕන. ඒ ලෝකයෙන් (වස්තුවලින්)  අපට සංඥා ලැබෙන්න ඕන. මෙය පටිච්චසමුප්දාය සමග ගලප්පන්නේ කෙසේ ද? අපට ඇත්තේ පසක් නැත්නම් ප්‍රත්‍යක්‍ෂය. අපේ සංකල්ප බටහිර සංකල්පවලින් විස්තර කිරීමේ දී පැන නගින ප්‍රශ්න මෙහි දී ද ඇති වෙනවා. ප්‍රත්‍යක්‍ෂය සංජානන මෙන් නොව මනස සමග සම්බන්ධයි. මනසක් නැතිව පසක් නැහැ කියලා අපට එය සරලව කියන්න පුළුවන්.



පසක් කිරීමට මනස තිබිය යුතුයි. නිවන පසක් කිරීම මෙයින් ඔබ්බෙහි ඇත්තක්. මා මෙහි දී සඳහන් කරන්නේ නිවන හැරෙන්න පසක් කිරීම්. පංචෙන්ද්‍රියවලට පමණක් පසක් කරන්න බැහැ. එයට මනස අවශ්‍යමයි. මනසෙන් හදන සංකල්ප නැතිව පංචෙන්ද්‍රියන්ට ඊනියා සංජානන ඇති කරගන්න බැහැ. බටහිරයන්ට හා ඔවුන්ගෙන් ඉගෙන ගන්නා අනුකාරකයන්ට තේරෙන විධියට කියනවා නම් සංකල්ප නැතිව සංජානන නැහැ. රසල්ගේ නිල් බව යන්න රසල්ගේ මනසෙහි පහළ වූ එකක් පමණයි. බටහිර විශ්වවේදයට අනුව වුවත් එවැනි නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ වාස්තවික නිල් බවක් තියෙන්න බැහැ.  



පසක් කිරීමට මනස අනිවාර්යයි. එහෙත් පංචෙන්ද්‍රිය අනිවාර්ය නැහැ. පංචෙන්ද්‍රිය නැතිව මනසට පමණක් වුවත් ඇතැම් පසක් කිරීම් තිබෙන්න පුළුවන්. අපට ඇතැම් දේ හිතෙන් මවා ගන්න පුළුවන්. එනම් හිතෙන් පමණක් මවා ගත හැකි දේ ගැන හිතන්න පුළුවන්. ඒවාත් පසක් කිරීම්. එපමණක් නොවෙයි. හිතෙන් මවා ගන්න බැරි දේ ගැනත් හිතන්න පුළුවන්. සරල රේඛාව ඒ සඳහා වූ සරල ම උදාහරණය. අනන්තය තවත් උදාහරණයක්. සරල රේඛාවත් අනන්ත දිගකින් යුක්ත වෙනවා. අප බොහෝ විට සරල රේඛා කියලා කියන්නෙ සරල රේඛා ඛණ්ඩවලට. අප සරල රේඛා ගැන හිතන්නේ පංචෙන්ද්‍රිය පැත්තකට දාලා. සරල රේඛාවක් පංචෙන්ද්‍රියවලට හසු වන්නේ නැහැ. එයත් ගුරුත්වාකර්ෂණය වගේ.



ඉහත සඳහන් කරුණු බටහිරයන්ගේ බසින් කියනවා නම් අපට කියන්න වෙන්නෙ සංජානන සංකල්පවලින් ස්වායත්ත වෙන්නෙ නැති නමුත් සංකල්ප සංජානනවලින් ස්වායත්ත වෙන්න පුළුවන් කියන එක. අපේ බසෙන් කියනවා නම් පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ මනසින් තොරව පවතින්නෙ නැහැ. එහෙත් මනසට පමණක් ගෝචර ප්‍රත්‍යක්‍ෂ තියෙනවා. අප මනස ද ඉන්ද්‍රියක් ලෙස සලකනවා. සංකල්ප හදන්නේ මනසින්. මනසට පංචෙන්ද්‍රිය ඇතිව හෝ නැතිව හෝ සංකල්ප හදන්න පුළුවන්. කොහොමත් සිංහල බෞද්ධයන්ට ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ පමණයි.



අපට අනුමාන නැහැ. ෂෙබාර්ට්ස්කි නම් රුසියන් පඬිවරයා තම බුඩිස්ට් ලොජික් පොතෙහි බුදුදහමෙහි අනුමානත් තියෙනවා කියනවා. චන්දිම විජේබණ්ඩාර හා මොරටුවගමත් එසේ කියනවා. තවත් අයත් කියනවා. එහෙත් අනුමාන (ඉන්ෆරන්ස්) කියන්නෙ යම් න්‍යායක් මත බොහෝ විට ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වෙලා අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගෙන නිගමනවලට පැමිණීම. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් එසේ නිගමනවලට පැමිණීම බැහැර කරලා තියෙනවා. ඇතාගෙ වසුරුවලින් හරි ඇතා ගස්වල පිට අතුල්ලපු බවට ඇති ලකුණුවලින් හරි ඇතකු ගිය බවට නිගමනය කරන්න එපා කියලා තියෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් ප්‍රවාද හෙවත් කතන්දර උපයෝගී කර ගෙන නිගමනවලට පැමිණෙන්න එපා කියලා තියෙනවා. ඇතා දැකලා ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඇතා ඉන්න බව පසක් කරන්නයි සිංහල බෞද්ධයනට මිහිඳු මහා රහතන් වහන්සෙ අනුශාසනා කෙළේ. ඒත් දැන් ඉන්න සිංහල බෞද්ධයන්ට අනුශාසනා කරන්නෙ ෂෙබාර්ට්ස්කිි හා බටහිර විද්‍යාඥයන්. කාළාම සූත්‍රයෙන් කියැවෙන්නෙත් වෙනත් දේ අතර න්‍යායානුකූල වූ නිසා ම පිළිගන්න එපා කියලා. ඒත් අද ඉන්න පඬියන්ගෙ කාළාම සූත්‍රයෙහි එහෙම නැතිව ඇති.



කොහොමටත් අනුමාන නීති හැදුනෙ කොහොමද? ඒවා ඊනියා වාස්තවික ද? ඇතකු ගියොත් පිට කැසීමේ සලකුණු ගස්වල තියෙන්න පුළුවන්. වසුරු තියෙන්න පුළුවන් ආදී ප්‍රකාශවලින් වසුරු ඇත්නම් ඇතකු ගොස් ඇත කියා නිගමනය කරන්නෙ කොහොම ද? යම් කරුණකින් දෙවැනි කරුණක් ගම්‍ය වුවත් ඒ දෙවැනි කරුණ නිසා පළමුවැනි කරුණ ගම්‍ය වන බව කියන්නේ කොහොම ද?  ඒ සඳහා ඇති අනුමාන නීතිය කුමක් ද? එය නිෂේධය මත පදනම් වෙනවා. ඇතකු ගියහොත් වසුරු තිබිය හැකි ය. ඇතකු නොගියහොත් වසුරු තිබිය නොහැකි ය. එහෙත් වසුරු ඇත. එබැවින් ඇතකු ගොස් ඇත. මෙය පදනම් වන්නේ යම් කරුණක නිෂේධයෙහි නිෂේධය ඒ පළමු කරුණ වන්නේ ය යන්න මත. එය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය මත පදනම් වෙනවා. යමක් සත්‍ය නම් එහි නිෂේධය අසත්‍ය වේ, යමක් අසත්‍ය නම් එහි නිෂේධය සත්‍ය වේ යන්න මෙහි පදනමයි.



එහෙත් එවැනි අනුමාන නීතියක් ලබා ගන්නේ කෙසේ ද? එය හුදෙක් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග බැඳී තිබෙනවා. අනෙක් අතට යමක නිෂේධය යන්න අනන්‍ය වන්නේ නැහැ. නිෂේධය කිහිප ආකාරයකින් සිදුවන්න පුළුවන්. මේ ඊනියා අනුමාන නීතිය  ඇතැම් පඬියන් දේශපාලනයෙහි දී පණ්ඩිතමානීව යොදා ගනු දැකිය හැකියි. මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා වැනි බොළඳ කතා පිටරට ප්‍රසිද්ධ දේශපාලනඥයන් කියා ඇති බව පඬියන් කියනවා. අපේ සතුරු ප්‍රභාකරන්ගේ සතුරා වූ ඉන්දියාව අපේ මිතුරකු ද?  නිෂේධයෙහි නිෂේධය පළමු දෙය ම විය යුතු නැහැ. සිංහල බෞද්ධයන්ට දැනුම ලබා ගැනීමේ දී (නිර්මාණය කිරීමේ දී) අනුමාන නැහැ. ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ පමණයි. පඬියන් බටහිර සංකල්පවලින් බුදුදහම විස්තර කිරීමට ගොස් පඹ ගාලක පැටලිලා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.  


නලින් ද සිල්වා

2017 අප්‍රේල් 24